අංගම් සටන් ශිල්පය නගා සිටුවීමට ඇමැතිගෙන් යෝජනාවක්!

231

දේශීය අංගම්පොර සටන් කලාව සඳහා යටත්විජිත යුගයේ පටන් පනවා තිබෙන තහනම ගැසට් පත්‍රයකින් ඉවත්කොට එය ජාතික ක්‍රීඩාවක් ලෙස දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. ක්‍රීඩාවේ ඉදිරි ගමන් මඟ හා ක්‍රීඩා ආර්ථිකයට දායක විය හැකි ක්‍රීඩාවන් හඳුනාගැනීම සඳහා පසුගිය දා අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවක් අතරතුර දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

ප්‍රධාන ගුරුකුල කිහිපයක් යටතේ මෙරට විවිධ ප්‍රදේශ කේන්ද්‍ර කොට ක්‍රියාත්මක වූ අංගම්පොර සටන් කලාව ඉංග්‍රීසි යටත් විජිත පාලන සමයේ තහනමට ලක් කර තිබිණි. ඉන් පසු එවකට සිටි අංගම් සටන් ශිල්පීන් මෙම කලාව නර්තන අංගයක් ලෙස පෙන්වමින් රහසිගතව ඉදිරියට පවත්වා ගෙන ඇති බවත්, පරම්පරාගතව ශිල්පය උරුම වී ඇති බවත් මේ පිළිබඳ ඉතිහාසය අධ්‍යයනයේ දී පෙනී යයි.

ක්‍රීඩා ආර්ථිකයක් මෙන්ම ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැංවීමේ වත්මන් රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ දේශීය සාම්ප්‍රදායික ක්‍රීඩා ප්‍රවර්ධනය සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීම මෙන්ම මෙරට පැවති සාම්ප්‍රදායික ක්‍රීඩා අතුරින් ක්‍රීඩාවක්, සටන් කලාවක් මෙන්ම සංස්කෘතික උරුමයක් ද වශයෙන් වැදගත් වන අංගම් සටන් කලාව මේ යටතේ ප්‍රවර්ධනය කිරීමට තෝරාගෙන තිබේ.

ක්‍රීඩාවක් සහ ශාරීරික ව්‍යායාමයක් වශයෙන් අංගම් සටන් ශිල්පයේ ඇති කොටස් යොදා ගැනීමටත්, ඒ හරහා මෙකී වටිනා සාම්ප්‍රදායික ශිල්පය ආරක්ෂා කර ජනගත කිරීමත් කෙරෙහි මෙම සාකච්ඡාවෙන් අනතුරුව අවධානය යොමු වී තිබේ. ඒ අනුව අංගම් සටන් කලාවට අදාළ පසුබිම, ඉතිහාසය ආදී තොරතුරු පිළිබඳ පර්යේෂණ පැවැත්වීම, පර්යේෂණ පරිසංවාද සංවිධානය කිරීම හා එම තොරතුරු මුද්‍රිත හා ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය හරහා ප්‍රකාශයට පත් කිරීම, දැනට අංගම් සටන් කලාවේ යෙදෙන ශිල්පීන් සඳහා අවශ්‍ය වන පහසුකම් සැපයීම, සංචාරක ක්ෂේත්‍රය ඉලක්ක කර සංචාරක ආකර්ෂණය ඇතිවන පරිදි අදාළ සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් සංදර්ශනාත්මක ප්‍රසංග සංවිධානය කිරීම, ශාරීරික අධ්‍යාපන විෂයය තුළට මෙම අංගම් සටන් කලාවේ සුදුසු කොටස් එක්කිරීම සඳහා අදාළ ආයතන සමග එක්ව කටයුතු කිරීම යන ක්‍රියාමාර්ග ඔස්සේ අංගම් සටන් ශිල්පය ව්‍යාප්ත කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment