අංශභාගයට භෞත චිකිත්සාව

145

මිනිස් මොළයට සිදුවන හානියක් නිසා සිරුරේ එක් අංශයක් පණ නැතිවී යන අවස්ථා බොහෝවිට ඔබ අසා දැක ඇත. නොයෙකුත් හේතූන් නිසා මොළයට සිදුවන හානියක් හේතුවෙන් ඇතිවන මෙම තත්ත්වය අංශ භාගයයි. අංශ භාගයයි කී විට සිතට බිය දැණුනද කඩිනම් නිවැරදි ප‍්‍රතිකාර ගතහොත් මේ තත්ත්වය බොහෝදුරට සුවකර ගත හැකිය. සුව වීමට ගතවන කාලය හා සුවවන ප‍්‍රමාණය රඳා පවතින්නේ මොළයට සිදුවන හානියේ ප‍්‍රමාණයත් හානිය සිදුවූ මොළයේ ප‍්‍රදේශයත්, මොළයට සිදුවන අනතුරේ ස්වභාවයත්, රෝගියාගේ වයසත් මතය.

අංශභාගය ඇතිවීමට හේතු ලෙස රුධිර වාහිනියක් පිපිරීමෙන් ෙසෙල තුළට රුධිරය වහනය වීමත්, ලේ කැටියක් හිරවීමෙන්, මොළයේ ෙසෙල තුළට ලැබෙන රුධිරය ඇනහිටීමත්, මොළයේ ඇතිවන අර්බුද හෙවත් ගෙඩි නිසාත්, රිය අනතුරු වැනි මොළයට සිදුවන අනතුරුත් පෙන්වා දිය හැකිය.

අංශභාගය නිසා රෝගීන්ගේ එක් පැත්තක අතක් සහ පාදයක් අසාමාන්‍ය ඉරියව්වකට යොමුවේ. මෙහිදී සිදුවන්නේ ඇත්ත වශයෙන්ම තමන්ගේ අනුදැනුම මත කෙරෙන චලන එක් අංශයක පණ නැති වීමය. පණ නැති වන්නේ පේශීන් නොව මොළයේ චලනයන් පිළිබඳ මතකයයි.

එමෙන්ම ආබාධයට ලක්වූ අංශයේ අත හා පය චලනය කරන විටද තද ගතියක් ඇතිවේ. අත යොමුවන අසාමාන්‍ය ඉරියව්ව වන්නේ උරහිසෙන් අත ශරීරයට හේත්තු වී වැලමිටෙන් සන්ධිය නැවී තිබීමය. ආබාධයට ලක්ව ඇති කකුලද දණහිසෙන් දිග හැරී පතුල ප‍්‍රදේශය පහතට කඩා වැටී තිබේ. මෙම රෝගයට ලක්වූ පසුව ඖෂධීය ප‍්‍රතිකාර, ශල්‍ය ප‍්‍රතිකාර සහ භෞත චිකිත්සක ප‍්‍රතිකාර අත්‍යවශ්‍ය වේ. මෙම රෝගයට භෞත චිකිත්සක ප‍්‍රතිකාර ආරම්භ කිරීමට පමා වුවොත්

රෝගියාගේ පෙර කී අසාමාන්‍ය ඉරියව් වර්ධනය වේ.

එබැවින් මෙවැනි රෝගීන්ට ඉහත දැක්වූ ඉරියව්වලට විරුද්ධ ඉරියව් සඳහා යොමු කිරීම අත්‍යවශ්‍යයි. පෙර සඳහන් කළ පරිදි මේ  රෝගීන්ට සිදුවන්නේ අනුදැනුම මත සිදුවන චලන (Voluntary Movements) අමතක වීම බැවින් භෞත චිකිත්සාවේදී කරන්නේ ඒ අමතක වුණු චලන නැවත නැවත කිරීමෙන් යළි මොළය තුළ ස්ථානගත කිරීමයි. මෙය සුදුසුකම්ලත් භෞත චිකිත්සකයෙකුගේ උපදෙස් මත කිරීම ඉතා වැදගත්ය. භෞත චිකිත්සාවේදී මේ ව්‍යායාම P.N.F Patterns නමින් හැඳින්වේ. (Propriorecepto Neuro muscular Fascilitation) ව්‍යායාම මගින් රෝගියාගේ සන්ධිවල ඇති සංවේදක ග‍්‍රාහක සහ ස්නායු උත්තේජනය කර මොළය අවදි කරවීමක් කරයි.

එසේම මුල් කාලයේදී එනම් රෝගියා සිහි නැතිව සිටින අවධියේ සිටම රෝගියා නිවැරදි ඉරියව්වල තැබිය යුතුය. මෙමඟින් රෝගියාට ඉදිරියේදී ඇතිවිය හැකි සන්ධි දරදඬු වීම, පේශී කෙටිවීම, අසාමාන්‍ය ඉරියව් ඇතිවීම වැළැක්විය හැකිය. ඒ වගේම මෙලෙස එක්තැන්වී සිටින

රෝගීන්ට නිතර ශ්වසන ආබාධ, මුත‍්‍රා ආසාදන හා ඇඳ තුවාල ඇතිවිය හැකිය. මෙලෙස ඇතිවන ශ්වසන ආබාධ වැළැක්වීමට භෞත චිකිත්සාවේ යෙදෙන උරස් චිකිත්සක ප‍්‍රතිකාර වැදගත්වේ. සිහි නොමැතිව සිටින අවස්ථාවේ සිටම රෝගියාට මෙම උරස් චිකිත්සක ප‍්‍රතිකාර කෙරනු ලබයි. අවශ්‍ය නම් චූෂණ යන්ත‍්‍ර භාවිතාවෙන් ස‍්‍රාවයන්ද ඉවත් කරයි.

එසේම ඇඳ තුවාල වළක්වා ගැනීමට රෝගියා හා ඇඳ ඇතිරිලි පිරිසිදුව තබා ගත යුතුය. රෝගියා සේදීමෙන් පසු හොඳින් තෙත මාත්තු කළ යුතුය. පැය 1/2 කට වරක්වත් රෝගියා හැරවීමෙන් රෝගියාගේ ශරීරයේ එකම ස්ථානයකට නිතර පීඩනය දැනීම වළක්වා ගත හැකි අතර එමඟින් ඇඳ තුවාල සෑදීම අවම කර ගත හැකිය. රෝගියාගේ සමබරතාව රැක ගැනීමට උදව් දෙන ව්‍යායාම, අංශභාග රෝගීන් සඳහා වන ආවේණික විලාසය බිඳ ගැනීම සඳහා වන ව්‍යායාම සහ මොළයේ ෙසෙල උත්තේජනය කරන ව්‍යායාම මගින් එදිනෙදා දින චර්යාවේ කාර්යයන් නිවැරදිව කිරීමට පුහුණු කරවීමද කළ යුතුය. රෝගියාගේ කථනය දුර්වල නම් කථන චිකිත්සක ක‍්‍රම සඳහා යොමුවිය යුතුය.

තවද සංවේදන ක‍්‍රම නැවත හුරු කිරීම, මානසික තත්ත්වය නඟාසිටුවීම සහ ඇවිදීම පුහුණු කරවීමද භෞත චිකිත්සක ක‍්‍රම මගින් කළ හැකිය.

අංශභාගයට භෞත චිකිත්සාව


ජාලිය උඩුවැල්ල
භෞතචිකිත්සක අධිකාරි
රිජ්වේ ආර්යා ළමා රෝහල, කොළඹ

advertistmentadvertistment
advertistmentadvertistment