අකලංක දෝහා හිදී ශ්‍රී ලංකා වාර්තාවක් තබයි

171

2024 ලෝක ජල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී පිරිමි මීටර් 50 පසුපස ආර ඉසව්වෙන් නව ජාතික වාර්තාවක් පිහිටුවීමට අකලංක පීරිස් සමත් වූයේය.

එම තරඟයේදී 22 වැනි ස්ථානය දිනාගත් අකලංක ඒ සඳහා ගතකළ කාලය තත්පර 25.86 ක් වූයේය.

ඒ අනුව එතෙක් පැවති පිරිමි මීටර් 50 පසුපස ආර ඉසව්වේ ජාතික වාර්තාව තත්පර 0.15කින් ඉහළ දැමීමට අකලංක සමත්ව සිටියේය.

පසුගිය 02 දා දෝහා හිදී ආරම්භ වූ ලෝක ජල ක්‍රීඩා ශූරතා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනෙකු සහභාගි වූ අතර, ඒ අතුරින් වාර්තා වූ හොඳම දක්ෂතාවය වාර්තා කිරීමටද අකලංක සමත් විය.

කයිල් අබේසිංහ, ගංගා සෙනෙවිරත්න, හිරුකි ද සිල්වා, දුලාංජන් ප්‍රනාන්දු සහ දිලංක පීරිස් අකලංකට අමතරව මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වෙති.

මීටර් 50 පසුපස ආර ඉසව්වට අමතරව, මීටර් 100 පසුපස ආර ඉසව්වට ද සහභාගී වූ අකලංක එහි දී තත්පර 57.52ක කාලයක් සමගින් 40 වැනි ස්ථානයට පත් වූයේය.

කයිල් අබේසිංහ පිරිමි මීටර් 100 සහ 50 නිදහස් ආර ඉසව් සඳහා සහභාගී වූ අතර ඒවායේ දී ඔහු පිළිවෙළින් 41 සහ 48 යන ස්ථානවලට තරග අවසන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment