මම මේක තියා ගත්තේ ආශාවට
‘අවි’ ළඟ තබාගෙන සිටි පුද්ගලයා කියයි
මාස 6 කට කලින් ඉතාලියේ ඉඳන් ඇවිල්ලා
ගාල්ල අක්මීමන ප්‍රදේශයේ නිවසක ගිනිඅවි, කඩු, ජීව උණ්ඩ ඇතුළු ආයුධ තොගයක් සඟවා ගෙන සිටි 72 හැවිරිදි පුද්ගලයෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (14දා) පෙරවරුවේ අත්අඩංගුවට ගන්නා ලදී.
එම කොට්ඨාසයේ අධ්යක්ෂ පොලිස් අධිකාරි ජයපද්ම මහතාට ලැබුණු තොරතුරකට අනුව ඒ ගැන බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතා දැනුවත් කර ඇත. පසුව නියෝජ්‍ය පොලිස්පති මාරපන මහතා මේ ගැන පොලිස්පතිවරයා දැනුවත් කර එම ස්ථානය වැටලීමට අවසර ලබාගෙන තිබේ. පසුව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය අදාළ ස්ථානය ගැන ආවේක්ෂණ පරීක්ෂණයක් සිදුකර එම ස්ථානයේ ගිනිඅවි ඇති බවට තහවුරු කරගෙන එම ස්ථානය වැටලීමට ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් සෝදිසි වරෙන්තුවක් ලබාගෙන තිබේ.
ඒ අනුව එම අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහ, පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු අදාළ නිවස ඊයේ පෙරවරු 10.00 ට වැටලූහ.
එහිදී රිවෝල්වර 2ක් ද, පිස්තෝලයක් ද, ෂොට්ගන් 4ක් ද, තියුණු කඩු 4ක් ද, උල් පිහියක් ද, ගිනි අවිවලට යොදන ජීව උණ්ඩ 49ක් ද ඇතුළු ආයුධ තොගයක් සොයාගනු ලැබූ බව එම කොට්ඨාසය කියයි.
ගිනි අවි සූක්ෂම ලෙස එස්ලෝන් බටයක සඟවා තිබූ බවද එම කොට්ඨාසය පවසයි.
අදාළ නිවසේ සැකකරු සමග ඔහුගේ බිරිඳ පදිංචිව සිටි බවද එම කොට්ඨාසය කියයි.
මෙම සැකකරු වසර ගණනාවක්ම ඉතාලියේ නෞකාවක රැකියාව කර ඇති බවත්, මීට මාස 6 කට උඩදී ඔහු ලංකාවට පැමිණ ඇති බවත් හෙළි විනැයි ද එම කොට්ඨාසය කීය.
තමන් මෙම ගිනි අවි මෙරටට පැමිණෙන අවස්ථාවේ රැගෙන ආ බවත්, තමන් මේවා ආශාවට ළඟ තබාගත් බවත් ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී පැවැසූ බවද එම කොට්ඨාසය පවසයි.
මෙම ගිනි අවි ළඟතබා ගැනීමට ඔහුට බලපත්‍ර පවා නොතිබූ බව හෙළිවිනැයි ද එම කොට්ඨාසය කියයි.
කෙසේ වෙතත් මෙම ගිනි අවි භාවිතා කරමින් මොහු අපරාධ සිදුකර ඇත්ද? පාතාල කල්ලිවලට මොහු ගිනිඅවි කුලියට ලබාදී ඇත්ද? යන්න සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකරන බවද එම කොට්ඨාසය පවසයි.
අත්අඩංගුවට පත් සැකකරු ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
ආයුධ ගබඩාවක් සේ පවත්වාගෙන ගිය මෙම ස්ථානයට තවත් බාහිර පුද්ගලයන්ගේ සම්බන්ධයක් ඇත්ද යන්න සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කෙරේ.
බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ අධීක්ෂණය යටතේ බස්නාහිර දකණ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ පොලිස් අධිකාරි ජයපද්ම මහතාගේ උපදෙස් මත එම අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර, පොලිස් සැරයන්වරුන් වන ප්‍රසන්න (56958), ප්‍රසන්න (40248), ලලන්ත (72338), වසන්ත (60161), චමින්ද (72979), ලක්ෂ්මන් (95432), සිසිර (14530), පොලිස් කොස්තාපල්වරුන් වන සේනානායක (19363), කේසර (104675), ප්‍රනාන්දු (20532), සමරනායක (69188), විජේවර්ධන (20563), රණතුංග (95939) ඇතුළු නිලධාරීහු 15 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් මෙම වැටලීම සඳහා සහභාගි වූහ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා