අකුරල තෙත්බිම ඉවර කිරීමට පෙර සංවේදී කලාපයක් ලෙස සංරක්ෂණය කරන්න

167

ගාල්ල දිස්ත‍්‍රික්කයේ හික්කඩුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි සුවිශේෂම තෙත්බිම් කලාපයක් වන අකුරල තෙත්බිම නැවතත් දරුණු ලෙස වනසමින් පවතී. ශ‍්‍රී ලංකාවේ කුඩා ඉඩක් තුළ වැඩිම ජෛව විවිධත්වයක් පවතින බිමක් වන මෙහි මෙතෙක් හඳුනාගත් ශාක විශේෂ ප‍්‍රමාණය 138ක් වන අතර වාර්තා වන පක්ෂි විශේෂ ගණන 110 කි.

 අක්කර 500 ක කුඩා වපසරියක විහිදී ඇති මෙම තෙත්බිම 2011 වසරෙදී පාරිසරික සංවේදී කලාපයක් ලෙස ගැසට් කිරීමට නියමිතව තිබුණද එය අභයභූමියක් ලෙස ගැසට් කිරීමට වනජීවි සංරක්ෂණ දෙපර්තමේන්තුවට පවරා වගකීමෙන් නිදහස් වීමට මධ්‍යම පරීසර අධිකාරිය ක‍්‍රියා කළේය. නමුත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ‘‘අකුරල වනජීවි අභය” භූමිය ලෙස. ගැසට් කිරීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය ගැනීමට 2017.01.11 දින සමත්වූ නමුත් සංචාරක අමාත්‍යාංශයේ මැදිහත්වීම මත අදාළ ගැසට් කිරීම වැළකී ඇත. ඔවුන් විසින් මෙය සංචාරක කටයුතු සඳහා අවශ්‍ය බිමක් ලෙස ගැසට් කිරීමට ලක්කෙරිණි.

Akurala Thethbima2

මේ වනවිට සංචාරක අමාත්‍යාංශය හෝ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෝ මෙම වටිනා තෙත්බිම පිළිබඳව සොයා නොබලන අතර මධ්‍යම පරිසර අධිකාරිය පවා මෙම වටිනා පරිසර පද්ධතිය ජාතික පාරිසරික පනතේ නීති රෙගුලාසි යටතේ හෝ රැුකගැනීම අතහැරදමා ඇත.

 මේ දිනවල මහා පරිමාණයෙන් තෙත්බිම් කලාප කැළිකසළ යොදා පුරවා ඒ මත පස් යොදා සකස්කොට ගොඩනැගිලි ඉදිකරන අතරම, ඉදිකිරිම් සියල්ල නීති විරෝධී බවත් ඒ සඳහා නීතිය ක‍්‍රියත්ම කරන ලෙස රත්ගම ප‍්‍රාදේශීය සභාව වෙත අප විසින් ඉල්ලීම් කර ඇතත් එම ඉල්ලීම් කිසිවක් ක‍්‍රියාත්මක නොවන අතර අදාළ ප‍්‍රාදේශීය දේශපාලන අනුග‍්‍රහය මත එම ඉදිකිරීම් පුළුල් කොට තව තවත් ජලාශ කොටස් පුරවමින් ක‍්‍රියාත්මක වන අතර සෑම සති අන්තයකම කඩොලාන කලාප වනසා ගිනිබත් කර පස් පුරවනු ලබයි.

 මෙම විනාශයන් පිළිබඳව අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ පරිසර අංශයන්ට සිදුකළ පැමිණිලි වලට අදාළව ඇතැම් ගොඩකිරීම් පිළිබඳව සොයාබලා නවතා දැමුවත් නැවතත් එම විනාශයන් ආරම්භකොට ඇත්තේද මෙම ප‍්‍රාදේශීය දේශපාලන මැදිහත්වීම් මතය. මේ පිළිබඳව මහජන ආරක්‍ෂක අමාත්‍යතුමාගේ අවධානය යොමුවීම මත වාර්තාවක් මීටියාගොඩ සහ අම්බලන්ගොඩ පොලිස් ස්ථාන වලින් ඉල්ලා සිටි අතර එම පොලිස් ස්ථාන මගින් ලබාදී ඇති වාර්තාද මෙම විනාශය සිදුකරන පිරිස් වෙත පනින රිළවුන්ට ඉනිමන් බැඳීමක් බවට පත්කොට ඇත.

 මේ පිළිබඳව බලධාරීන් නිද්‍රාශීලි ක‍්‍රියාමාර්ගයක් ගත්තද මධ්‍යම පරිසර අධිකාරියේ දකුණු පළාත් කාර්යාලය විසින් මෙහි ගොඩකිරීම් ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නීතිමය ප‍්‍රතිපාදන වලට යටත් කොට ඇතත් මේ කිසිවක් ක‍්‍රියාත්මක නොවන පසුබිමක දකුණු පළාතේ දේශපාලන චරිතයකට පහත්බිම් සංවර්ධනය කිරීමේ සහ වෙරළ සංරක්ෂණ රාජ්‍ය ඇමැති ධුරය  ලැබීමත් සමග මේ විනාශය නවතා ගැනීමට හැකිවේද යන්න පිළිබඳව අපි බලා හිඳින්නෙමු. මේ සියල්ල මැද වැවිලි අමාත්‍යාංශය සහ මාදම්පාගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව තෙත්බිම පුරා පොල් සහ කුරුඳු  වගාකිරීමට කටයුතු කරමින් පවතින අතර එයට සහයක් ලබාදීමට බොහෝ පිරිස් විසින් තෙත්බිමේ වටිනා ජලජ ශාක සම්පූර්ණයෙන් වනසා දමමින් සිටිති.

 මේ අනුව බලනවිට අකුරල පරිසර පද්ධතිය  බේරාගැනීමට නම් වහාම ජාතික පරිසරික පනතේ නීතිමය ප‍්‍රතිපාදන මත සංචාරක අමාත්‍යාංශයේද කටයුතුවලට හානි නොවන පරිදි පරිසර ඇමැතිවරයා විසින් සීමිත නීතිරාමුවක් යටතේ හෝ පරිසරික සංවේදී කලාපයක් ඇති කළ යුතු අතර, එසේ නොවුවහොත් අකුරලට කිලෝමීටර් 3 ක් ඈතින් ඇති තෙල්වත්ත අභය භූමිය සේම මේ වටිනා තෙත්බිමද මිහිමතින් අතුගෑවී යනු ඇත.

 නදීර කොඩිකාර
 සම ලේකම්
 තෙත්බිම් උරුමය

advertistmentadvertistment
advertistmentadvertistment