අකුරැස්සේ කුණුහරුප බැංකුව

2990

මීට අවුරුදු 1600 කට පෙර කිත්සිරි මෙවන් රජ්ජුරුවන් රට පාලනය කරන සමයේදී මේ රටේ බැංකු සංකල්පය මුල්වරට ඇතිවිය. වව්නියා දිස්ත්‍රික්කයේ ඇති තෝනිගල සෙල්ලිපියේ මේ ගැන විස්තරයක් සඳහන් වේ. ඒ අනුව කිත්සිරි මෙවන් රජතුමාගේ ඇමැතිවරයෙක් බැංකුවක වී තැන්පත් කර එහි පොලියෙන් භික්‍ෂූන් වහන්සේට බත් සපයන ලෙස (Standing Order) ඕඩරයක් දී ඇත. එකල සිටි ජනයා මුදල් වෙනුවට ධාන්‍ය වර්ග බැංකුවේ තැන්පත් කළ බව මේ අනුව පැහැදිලි වන්නේය. එසේ තැන්පත් කරන ධාන්‍ය වෙනත් අයට ණයට දීම එම බැංකු මගින් සිදුකළ අතර ධාන්‍ය ණයට ගත් අය ධාන්‍ය වලින්ම පොලියත් ගෙවන ලද බැවින් බැංකුවේ ගබඩා ධාන්‍ය වලින් පිරී ඉතිරී ගියේය. මේ වනවිට ලංකාවේ බැංකු පාලනය කරන්නේ එකල මෙන් රජතුමා නොව ශ්‍රී ලංකා මහබැංකුවය. එම බැංකුව මගින් පහත සඳහන් බලපත්‍ර තුන් වර්ගය යටතේ බැංකු සහ ෆිනෑන්ස් කම්පැනි පවත්වාගෙන යෑමට ඉඩදී තිබේ. එනම්,

  1. බලපත්‍රලාභී වාණිජ බැංකු
  2. ලියාපදිංචි මූල්‍ය සමාගම්
  3. බලපත්‍රලාභී විශේෂිත බැංකු

මාතර අකුරැස්සේ සමෘද්ධි බැංකුව ඉහත සඳහන් විධිවිධාන තුළින් කවර විධිවිධානයක් යටතේ පිහිටුවන ලද්දක්ද යන්න දැනගැනීමට අපි කැමැත්තෙමු. පසුගියදා එම බැංකුවෙන් මුදල් ලබාගැනීමට පැමිණි තැන්පත්කරුවන්ට එම බැංකුවේ නිලධාරීන් විසින් තිත්ත කුණුහරුපයෙන් බණිනු ලද ඇත. විශේෂයෙන් එම බැංකුවේ කළමනාකාරිනිය යැයි කියන තැනැත්තිය තැන්පතුකරුවන් පලවා හැරීමේදී කුණුහරුප වර්ෂා වැස්ස වූ බව දැනගන්නට ඇත. අපට ආරංචි පරිදි මාතර අකුරැස්සේ සමෘද්ධි බැංකුවේ සල්ලි ඉවරය. එබැවින් මුදල් තැන්පත් කළ අය ආපසු සල්ලි ඉල්ලන විට ඔවුන්ට කුණුහරුපයෙන් බැන එළවා දැමීම හැර වෙන දෙයක් ඉතිරිව නැත. අකුරැස්සේ සමෘද්ධි බැංකුවේ සල්ලි කා දැමුවේ කවුද? එහි කළමනාකාරතුමිය ඉතා දරුණු කුණුහරුප ඉගෙන ගත්තේ කොහෙන්ද? මෙහි මුදල් තැන්පත් කළ අයගේ සල්ලි කා දමා ඇත්නම් ඒ පාඩුව ප්‍රතිපූරණය කරන්නේ කවුද? අකුරැස්ස සමෘද්ධි බැංකුව යනු මේ රටේ ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතන කර්මාන්තයේ, එනම් පොඩි පොඩි තැන්පතු භාරගනිමින් පොඩි පොඩි ණය දෙන ආයතන කර්මාන්තයේ සාම්පලයක් පමණි. මේ පුංචි සාම්පලයට අමතරව ලොකු සාම්පල්ද මේ රටේ ජනයා අත්විඳ තිබේ. මීට අවුරුදු 25 කට පමණ පෙර ප්‍රමුඛ බැංකුව යනුවෙන් ඉතිරි කිරීමේ බැංකුවක් කොළඹදී ආරම්භ කරන ලදී. අවුරුදු පහකට පමණ පසු දිනෙක තැන්පත්කරුවන් ගනුදෙනු සඳහා බැංකුවට යන විට එය වසා දමා තිබූ අතර බැංකුවේ සභාපතිතුමා සියලු මුදල් සුද්ධකරගෙන ඒවා ඩොලර් බවට පරිවර්තනය කර එංගලන්තයට පැනගොස් ඇති බව දැනගන්නට ලැබිණ. මේ සභාපතිතුමා අදටත් එංගලන්තයේ ඉතා සැපවත් ජීවිතයක් ගතකරන බව දැනගන්නට තිබේ. එම බැංකුවේ තැන්පත්කරුවෝ ඉතා දුෂ්කර තත්ත්වයකට පත්වූහ. ඔවුන්ගෙන් සමහරු වස පානය කළ අතර තවත් සමහරු එල්ලී මියගියහ. එසේ මියගිය ඇතැමුන් තම ජීවිත කාලය පුරා උපයාගත් එකම ධනය වූ සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභය එම බැංකුවේ තැන්පත් කර තිබුණ. තවත් සමහරු තමන් සතු ඉඩම් විකුණා එම මුදල් බැංකුවේ තැන්පත් කර තිබිණි.

මීට අමතරව බැංකු තරම් විශාල ෆිනෑන්ස් කොම්පැණි කිහිපයක්ද පසුගිය කාලයේදී බිමට ඇදවැටෙනු අප විසින් දක්නා ලදී. මින් පළමු වැන්න වන්නේ ද ෆිනෑන්ස් සමාගමය. තැන්පත්කරුවන්ගෙන් එකතුකරගන්නා ලද බිලියන ගණන් මුදල් ‘ෆන් වැඩ’ වලටත් සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ ඉහළ නිලධාරීන්ගේ ‘ගසා කෑම්’වලටත් වැයවී තිබිණි. මේ නිසා තැන්පතුකරුවෝ නන්නත්තාර වූහ. එවරද එම ප්‍රශ්නය 10% ක් පමණ විසඳාගන්නා ලද්දේ තැන්පතුකරුවන් සිය දිවි නසාගැනීමෙනි. ජීවත්වීම නමැති ප්‍රශ්නය මරණය නමැති උත්තරයෙන් විසඳාගැනීමට පෘථග්ජනයා පුරුදුව සිටිති. අසාධාරණයට ලක්වූ එකා ජීවත්ව සිට සටන් කරන අය වෙනුවට සියදිවි නසාගැනීමෙන් ඔවුන් එම ඉරණමට පත්කළ එකාට විශාල සහනයක් ලැබේ. ද ෆිනෑන්ස් සමාගමේ අනුබද්ධ ආයතන වූ ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගම සහ ෆිනෑන්ස් ඇන්ඩ් ගැරන්ට් යන සමාගම් දෙකද ජනතාවගේ තැන්පතු භාරගෙන ඒවායින් ආතල් ලබා සල්ලි ටික වැයකර දැමූහ. අන්තිමේදී තම තැන්පතු අහිමිවීම නිසා තැන්පත්කරුවන්ගෙන් ඇතැමෙක් මරණයේ පිහිට පැතූහ. ඊ ඒ පී එදිරිසිංහ සමාගමද මෙවැනිම ගේම් එකක් ගැසූ සමාගමකි. එම සමාගම් සමූහයට අයත් ඊ ඒ පී ෆිනෑන්ස් ආයතනය ජනතාවගේ තැන්පතු ලබාගෙන ඒවා වියදම් කර විනාශ කළේය. සමහරුන්ගේ මතය වන්නේ ඔවුන් එම මුදල් පිටරටට ගෙන ගිය බවකි. අන්තිමේදී සිදුවූයේ ශ්‍රී ලංකාවේ සියදිවි නසාගැනීමේ මරණ අනුපාතය ඉහළ යෑමය.

සමෘද්ධි බැංකුව වැනි ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතන දහස් ගණනක් ලංකාවේ තිබේ. එක ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතනයක් කඩා වැටුණු විට බියට පත්වන ජනතාව තමන් මුදල් තැන්පත් කර ඇති සෙසු මූල්‍ය ආයතන වලින් තැන්පතු ඉවත් කරගැනීමට පටන්ගන්නා අතර එමගින් එම ආයතනද කඩා වැටේ. මෙහිදී අපි මූල්‍ය ආයතන ලෙස පෙනී සිටින පුද්ගලයන් ගැනද විශේෂයෙන් සඳහන් කරමු. දඬුවම් මුදලාලි සහ සක්විති රණසිංහද මෙවැනි ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතන වෙති. තිලිණි පියුමාලි යනු ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතන කර්මාන්තයේ වඩාත් ලාලිත්‍යවත් වූද, සුරූපී වූද ස්වරූපයකි. මේ ලස්සන නිසා කෙළවාගත් අය වෙනුවෙන් අපේ ශෝකය මෙසේ සටහන් කරමු. එසේම අකුරැස්සේ කුණුහරුප සමෘද්ධි බැංකුව ගැන වහාම පියවර ගන්නා ලෙස ආණ්ඩුවෙන් ඉල්ලමු.

advertistmentadvertistment
advertistmentadvertistment