අකුසල් සංස්කාරයෝ හෘද සාක්ෂියටත් අකීකරුය

111

පිංවත් ඔබ, මම ඔයාට ආදරෙයි කියලා, කාටහරි කියලා තිබෙනවාද. ආදරය කියන වචනය බොහෝම ලෙන්ගතු වචනයක් වුණත්, ආදරය කියන අර්ථය තුළ, මුළු ලෝකයම තිබෙනවා. මුළු ලෝකයම කියලා කියන්නේ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ කියන ධර්මථාවයන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ලෝකය කියන්නේ, කැඩෙන, බිඳෙන, විසිරෙන ස්වභාවයයි කියලා. පිංවත් ඔබ කැඩෙන, බිඳෙන, විසිරෙන දේවල් හොඳ සිහිනුවණින් පරිහරණය කරන්න ඕනේ. සංස්කාරයෝ පුංචි හෝ සෙලවීමකට ලක්වුණොත්, ආදර ලෝකයම කැඞී, බිඳී, විසිරී යන්න පුළුවන්. වර්තමාන සමාජයේ විඳීම් කෙරෙහි තෘෂ්ණාව වැඩි නිසාම, සංස්කාරයෝ මහපාර හරහා එල්ලපු සුදු කොඩියක් වගේ, හැම සුළං රැල්ලකටම එහා මෙහා වැනෙනවා. පිංවත් ඔබ විඳීම් ඉදිරියේ උපේක්ෂාසහගත වෙන්න, එවිට සමාජයේ ආදරයේ නාමයෙන් සිදුවෙන බලාපොරොත්තු බිඳවැටීම්, ටිකක් හෝ අඩුවේවි.

වර්තමාන සමාජයේ පවුල් ජීවිත බිඳවැටීම් සහ දික්කසාදයන් හුඟාක් වැඩියි. අකුසලය ජීවිතයෙන් දික්කසාද කළ යුතුව තිබියදි, ඔබ ඇයගෙන් දික්කසාදවීම හරිම අවාසනාවක්. නමුත් මේ සෑම අවාසනාවක් තුළම, සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මථාවය බැසගෙන තිබෙනවා. පිංවත් ඔබ තුළ සකස්වෙන එක සිතුවිල්ලක් තුළ, දුකෙන් පිරි මුළු ලෝකයම තිබෙනවා. එක සිතුවිල්ලක ස්වභාවය එසේ නම්, එම එක සිතුවිල්ල නැවත නැවත් විතර්ක කළොත්, සැපයට සිද්ධවෙන්නේ දුකේ මෙහෙකාරකම් කිරීමට පමණක්මයි. පිංවත් ඔබ මගතොටේ යන එන කොට දකිනවා නේද, අවිද්‍යා මරනින්දේදී දකින, සුන්දර සිහින විකුණන, මාරයාගේ සල්පිල් පාරාදීසය. මේ සල්පිල් පාරාදීසයේ සම්බාහන ආයතන නැති තැනක් නැහැ. හැම තැනකම දැන් වැහි වැහැලා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යහපත් පාලකයෙක්, ඒ කියන්නේ සම්මා දිට්ඨිය තම ජීවිතයට එකතුකොටගත් පාලකයෙක්, තම රටේ ජීවත්වෙන අද දවසේ උපන් ළදැරියගේ පටන්, වයෝවෘද්ධ කාන්තාවන් දක්වා ආරක්ෂාකාරීව සදාචාරාත්මකව පෝෂණය කළ යුතුයි කියලා. කාන්තාවගේ ආත්මගරුත්වය රැකිය යුතුයි කියලා. පිරිමි පක්ෂය ගැන බුදුරජාණන් වහන්සේ ඉහත කාරණය දේශනා කරලා නැහැ. කාන්තාවගේ සුරක්ෂිතභාවය, විනාශකොට දමන සමාජය, සියල්ලම විනාශකොට ගත්තා වෙනවා. හෙට දවසේ මාතෘත්වය ඔබයි, ඒ මාතෘත්වයටයි බුදුරජාණන් වහන්සේ මහා බ‍්‍රහ්මයා යැයි, දේශනාකොට තිබෙන්නේ. අනාගත මහා බ‍්‍රහ්මයෝ මග තොටේ සල්පිල්වල, ලේ, මස්, කඳුළු, පහස විකුණද්දී වර්තමාන පිංවත් පාලකයෝ තම මව්තුමිය නමැති මහාබ‍්‍රහ්මයාගෙන් උරා බිව් මව්කිරිවලට කෙසේ නම් කෘතවේදී වෙන්නද. භික්ෂුව මේ සටහන තබන මොහොතේදීත්, භික්ෂුව තම මවගෙන් බිව් මවුකිරිවලට කෘතවේදීභාවය දැක්වූවා වෙනවා. භික්ෂුවගේ අම්මා මැරිලා අවුරුදු පහළොවකට වැඩි වුණත්, මේ මොහොතේදීත් ඒ මාතෘත්වයට කෘතවේදී වෙන්න භික්ෂුවට පුළුවන්. මෙවන් සුන්දර ධර්මයක් අපිට තිබෙද්දී, දෙවිහාමුදුරුවනේ, අපි බීපු මව්කිරි අපිම වමාරනවා. පිංවත් පාලක පිංවතුන්ලා උතුම් ධර්මය ජීවිතවලට මුහුකොට නොගන්නවා නම්, අපි ජනතාවට ධර්මය දේශනා කරන එකේ ඵලයක් නැහැ. අපි ජනප‍්‍රිය වෙනවා පමණක්මයි. මේ ජනප‍්‍රිය භාවයන් හිස් දෙයක්මයි.

අපි ඉදිරියේ තිබෙන්නේ මුදල් පස්සේ දුවන ලෝකයක්. අපි ඉදිරියේ තිබෙන්නේ අසීමිත ලෙස මුදල් වියදම් කරන ලෝකයක්. අපි ඉදිරියේ තිබෙන්නේ මුදල් නිසාම විනාශ වී යන ලෝකයක්.

අකුසල් සංස්කාරයෝ හෘද සාක්ෂියටත් අකීකරුය

භික්ෂුවට දැන් වස් දහහතරක් වෙනවා. මේ උපසම්පදා භික්ෂු ජීවිතය තුළ භික්ෂුව ශත පහක මුදලක් ළඟ තබාගෙන නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මුදල් කියන්නේ සර්පයාය කියලා. පිංවත, ඔබේ පොකැට්ටුවේ මේ මොහොතේ සර්පයෝ කීදෙනෙක් සිටිනවාද. පරිස්සමින් සර්පයින් ඔබට දෂ්ට කරාවි. සර්පයින්ගේ කාමච්ඡුන්ද විෂ විදීමේ නහරගත වුණොත්, සංස්කාරයෝ සිහිමුර්ජා වේවි. එවිට ඉතිං විඤ්ඤාණයට මැජික් තමයි. එවිට මගතොටේ අවිද්‍යා සල්පිල් පාරාදීසයේ තව තව මැජික්කඩ අතොරක් නැතිව බිහිවේවි. පිංවත ඉක්මන් කරන්න, ඔබව අකුසලයෙන්ම ගිලගන්න රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ, මාරයින් පස්දෙනෙක්, ඔබේම ඵස්සය අසල, මේ නිමේෂයේදිත් සැඟවී බලා සිටිනවා. පිංවත් මනුෂ්‍ය ජීවිතවල ඇලීම් සහ ගැටීම් වේදනාවෝ අධිවේගී වුණොත්, අකුසල් සංස්කාරයෝ ඔබගේ හෘද සාක්ෂියටත් අකීකරුවෙනවා. එවිට ඔබේම ජීවිතයෙන් ඔබට පළිගන්න හිතෙන්නත් පුළුවන්. ඔබේම දෙතිකුණුපයන් සහ අනුනගේ දෙතිකුණුපයන් රුපියල් ශත, ඉල්ලීම් හැටියට දකින්නත් පුළුවන්. මේ ඉල්ලම් විකුණන සල්පිල් කඩ සාප්පු, රටේ පන්සල්, පල්ලි, කෝවිල්වලට වඩා බිහිවෙන්නත් පුළුවන්. අකුසලයේ අවාසනාවෝ දෝරෙගලා යද්දී මධ්‍යම ප‍්‍රතිපදාව වඳබහින, කාමච්ඡුන්දයන්ගේ මළගෙදරක් බවට මනුෂ්‍ය ජීවිත පත්වෙද්දී, මේවාට වගකිව යුතු බලධාරීන්ට, තමන් ගන්නා වැටුපට, තමන් ලබනා වරප‍්‍රසාදයන්ට, සංසාරයේ බර අදින සතුන්වෙලා හෝ ණය ගෙවන්න සිදුවෙනවාය කියන කාරණය ධර්මානුකූලව ඇත්තක් වෙන්න පුළුවන්. භික්ෂුව, මේ වරද පටවන්නේ, පිංවත් ඔබට නොව, ඔබේ ශක්තිමත් වෙන අවිද්‍යාවටයි. පිංවත් ඔබ තුළ සකස් වෙන ගැටෙන හෝ ඇලෙන සිත තව තව විතර්ක නොකර, කරුණාකර, සකස් වූ සිතුවිල්ල තුළ බැසගෙන තිබෙන, අවිද්‍යාව දෙසම සිහිනුවණින් බලන්න.

භික්ෂුව වැඩසිටින කුටියට පැමිණි තරුණ ස්වාමින් වහන්සේ නමක්, භික්ෂුවට කියනවා, ස්වාමින් වහන්ස මේ කුටි පරිසරය හරිම පිං පාටයි කියලා. එවිට භික්ෂුව එම ස්වාමින් වහන්සේගෙන් ඇසුවා, පිනේ පාට කුමක්ද කියලා. උන්වහන්සේ පිළිතුරක් දුන්නේ නැහැ. සත්‍යකින්ම පිනේ පාටක් තිබෙනවා. පිනේ පාට තමයි ප‍්‍රීතිය සහ ඵස්සද්ධිය. යම් විනයානුකූලව හැසිරෙන රූපයක් දැකලා, පූජණීය බිම්කඩක් දැකලා, ඔබ තුළ ප‍්‍රීතියක් සහ ඵස්සද්ධියක් ඇතිවෙනවා නම්, එයට තමයි පිං පාටයි කියලා කියන්නේ. පිංවත් ඔබ, යම් රූපයක් දැකලා, යම් බිම්කඩක් දැකලා, ඔබ තුළ විසිරුණු සිතක් සහිත පංචනීවරණයන් ඇතිවෙනවා නම්, එයට තමයි පාපයේ පාට කියන්නේ. පිංවත් ඔබ හොඳින් දෑස් විවරකොට බලන්න, සමාජය තුළ පිං පාටද, පව් පාටද වැඩි කියලා. පිංවත් ඔබත් දක්ෂවෙන්න, ඔබේ සංවර හැසිරීමෙන්, කතාවෙන්, ඇඳුම් පැළඳුම්වලින්, ඉරියව් පැවැත්මෙන්, අනුන් තුළ ප‍්‍රීතියක්, ඵස්සද්ධියක්ම ඇතිකොට දෙන්න. එවිට ඔබත් පිං පාට වේවි.

භික්ෂුව වැඩසිටින ප‍්‍රදේශයට මේ දවස්වල වැස්ස පටන් අරගෙන. ගොවි ජනතාව ඇළවේලි සුද්ද කරනවා, කුඹුරු වපුරන්න. අනේ පිංවත් ගොවි මහත්වරුනේ, පවතින පොහොර ප‍්‍රශ්නය නිසා, වී අස්වනුවලට වඩා, අකුසලයේ අස්වැන්න නම් වැඩි කරගන්න එපා. වර්තමානයේ සමාජගතවී තිබෙන කොම්පෝස්ට් පොහොර පමණයි කියන දැක්ම, ධර්මානුකූලව අයිති වෙන්නේ, තෘෂ්ණා පච්චයා උපාදානං කියන ධර්මතාවයට. තෘෂ්ණාව නිසාම සකස්කොට ගන්නා, බැඳීම්, මතවාද, දෘෂ්ටිවල සිරකරුවන් බවට අපි පත්වෙනවා. අපගේ අකීකරු දෘෂ්ටීන්, තෘෂ්ණාව හේතුවෙන් සකස්වෙන උපාදානයන් ලෙස දකින්නේ නැහැ. උපාදානයන් සක්කාය දිට්ටියෙන්ම ගන්නවා. නිත්‍ය, සැප, ස්ථිර වශයෙන්ම ගන්නවා. මධ්‍යම ප‍්‍රතිපදාවට අදාළව ප‍්‍රශ්නය ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ විසිරුවා දකින්නේ නැහැ. ඒ නිසාම උපේක්ෂාව පෑල දොරින් පලා යද්දී, ඇලීම් සහ ගැටීම්වලින් රජගෙදරත්, මහපාරත් අකුසලයෙන්ම ගිනිගන්නවා.

නිරෝගීභාවය කෙරෙහි සක්කායදිට්ඨිය ඇති පිංවතා කොම්පෝස්ට් පොහොරවලට කැමතියි. මුදල් කෙරෙහි සක්කාය දිට්ඨිය ඇති පිංවතා රසායනික පොහොරවලට කැමතියි. මේ දෙයාකාරයේ කැමැත්ත තුළ බැසගෙන සිටින එකම සතුරා සක්කාය දිට්ඨියයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සක්කාය දිට්ඨිය නිරෝධය නොකළ සෑම පිංවතෙක්ම කිනම් හෝ මානසික ව්‍යාධියකින් පෙලෙනවාය කියලා. මේ මානසික ව්‍යාධිය තමයි, උපේක්ෂාවට පයින් ගසා, ඇලීම් සහ ගැටීම සමග හාදවීම. පිංවත් ඔබ පිළිගත්තත්, පිළිනොගත්තත්, මේ උපේක්ෂාවට අකීකරු සක්කාය දිට්ඨිය තුනී කරන එකම මාර්ගය උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.

ගෞරවනීය පිංවත, තෘෂ්ණාව වැඩි තැන දුකයි වැඩිවෙන්නේ. ජරා, ව්‍යාධි, මරණ, ශෝක පරිදේව, දුක් ගොඩ අපේම දෑස්වලට පෙනි පෙනී දෝරෙගලා යන සමාජයක, රාජ්‍ය සොරකම වැඩිවී පංති විෂමතාවයන් වැඩිවෙන සමාජයක්, හෙටක් ගැන භික්ෂුවට තිබෙන්නේ, බොහෝම පැහැදිලි ධර්මානුකූල චිත‍්‍රයක්. ඒ චිත‍්‍රය සුන්දර චිත‍්‍රයක් නම් නොවේ. රටේ රාජ්‍ය නායකතුමා සොරකම් නොකළත්, රටේ ජාතික ආරක්ෂාවට කැපවුණත්, අවංක වුණත් එතුමා ජාත්‍යන්තරය, පාර්ලිමේන්තු කණ්ඩායම, තම පක්ෂය කියන ගිරයන් තුනට මැදිවූ පුවක්ගෙඩියක් බවට පත්වෙලයි සිටින්නේ. පින විසින් සකස්කොට දෙන වර්ණය, සැපය, බලයේ දුර්වලතාවයන් නිසාම ඉහත අභියෝගයන් ජයගෙන නැඟීසිටීමේ ශක්තිය දුර්වලවෙලා තිබෙනවා. මමත්වයේ දැඩිභාවය ප‍්‍රශ්නය දෙස සිහිනුවණින් දකින්න ඉඩදෙන්නේ නැහැ.

පිංවත, රටේ රාජ්‍ය නායකතුමාගේ තත්ත්වය එසේ වුවත්, මේ මාතෘභූමියේ සම්මා සම්බුද්ධ ශාසනයේ හිමිකරු ඔබයි. රජතුමා යනු එහි භාරකරුවායි. අපි හැමෝගේම අකුසල් නිසා රටේ භාරකරුවා අභියෝගයන්ට මැදිවෙද්දී, මාතෘභුමියේ හිමිකරුවන් වන ජනතාව, ධර්මයේ ඇසෙන්මයි මතුවෙන ප‍්‍රශ්න දෙස බැලිය යුත්තේ. පාලක පිංවතුන්ලා විසින් ජනතාවට ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පූර්වාදර්ශයන් නොදීමේ පාපකාරී ක‍්‍රියාවෙන්, වර්තමානයේ විපකයට පැමිණෙන මේ අනතුරු, මමත්වයේ දැඩිභාවය මොහොතක් බිමින් තබා, බහුතරයක් ජනතාවගේ කැමැත්තට අදාළව තේරුම්ගන්න රාජ්‍ය නායකතුමා නිහතමානී විය යුතුයි. එවිටයි ඔබතුමා සතු විනයගරුකභාවයට, අවංකභාවයට ඔබතුමාම කෘතවේදී වුණා වෙන්නේ. එය එසේ නොවුණොත්, සංස්කාර අකුසල් මාරයා විසින්, විනයගරුකභාවය, අවංකභාවය සමාජය තුළින් හාස්‍යයට ලක්කොට ඔබවත් විනාශකොට, මේ මාතෘභූමිය අනාගත සොරකමේම පාරාදීසයක් බවට පත්කරාවි.

පූජ්‍ය රාජගිරියේ
අරියඥාන ස්වාමින්වහන්සේ

advertistmentadvertistment
advertistmentadvertistment