අක‍්‍රීයත්වය හරහා ක‍්‍රියාකාරී වන තා ඕහි ස්වභාවික දර්ශනය

256

චීන සභ්‍යත්වය සකස් වීමෙහිලා බලපෑ ප‍්‍රධාන චින්තන ධාරාවන් කිහිපයක්ම චීනය මූලික කරගත් ඈත පෙරදිග දර්ශන ඉතිහාසය තුළ පැහැදිලිව පෙනේ. එනම්,

 1. කොන්ෆියුසියානු දර්ශනය

 2. මෝහිවාදී දර්ශනය

 3. නීතිවාදී දර්ශනය

 4. තා ඕවාදී දර්ශනය යන දර්ශනවාදයන් ය.

මේවාට චීන සභ්‍යත්වය තුළ දීර්ඝ ඉතිහාසයක් හිමි අතර ඒ අතරිනුදු තා ඕවාදය චීන සභ්‍යත්වය තුළ වඩාත් ප‍්‍රචලිත හා පැරණි  දර්ශනවාදයක් සේ බොහෝ දෙනා සලකනු ලැබේ. තා ඕ යන යෙදුම දාර්ශනික හා ආගමික සංකල්ප රාශියකින් සම්පූර්ණ වූවකි. සාමාන්‍යයෙන් තා ඕ යන්න ඉංග‍්‍රීසි බසින් පරිවර්තනය වී ඇත්තේ “Way” හෙවත් ”මාර්ගය’’ යනුවෙන් වුවත් එහි ගැඹුරු අර්ථය වන්නේ, ”අවබෝධ කර ගත යුතු ධර්මය’’ යන අරුතින් ගැනෙන ”ධර්මය’’ යන්න හෝ ඊට සමාන යෙදුමක් මිස ”මාර්ගය’’ යන්න නො වේ. තා ඕවාදයේ එන මෙම ගැඹුරු ධර්මය අවබෝධ කර ගැනීමේ ක‍්‍රමවේදය අක‍්‍රියත්වය යි. තා ඕ හි මෙම අදහස “Wú – Wéi” (වූ – වෙයි) ලෙස හැ`දින් වේ. මෙම අදහස ද ඉංග‍්‍රීසි බසට පරිවර්තනය වී ඇත්තේ “Inaction” හෝ “Non – Action” යනුවෙන් වුවත් මේ සඳහා වඩාත් සමීප අදහස වන්නේ “Effortless action” යන්නයි. එහි අදහස ”ප‍්‍රයත්නයෙන් තොර ක‍්‍රියාව’’ යන්නයි. කෙසේ වෙතත් මෙම වූ – වෙයි සංකල්පය හරහා තා ඕ දර්ශනයේ ඉතා සුවිශේෂී පැහැදිලි කිරීමක් සිදු කරයි. එය තේරුම් ගැනීමට ”කුං’’ (කොන්ෆි්‍යුසියස්) ගුරුතුමා හා සම්බන්ධ නිදසුන් කතාවක් මෙසේ ය.

දිනක් කුං ගුරුතුමා තම ශිෂ්‍යයන් පිරිසක් සමග ගංගා ඉවුරක් දිගේ ගමන් කරමින් සිටියහ. මෙසේ ගමන් කරමින් සිටින විට ඔහුට එක්තරා මහළු මිනිසෙක් ගෙ`ග් පිහිනමින් සිටිනු දක්නට ලැබිණ. මද වේලාවකින් එකවරම පැමිණි විශාල දිය සුළියක් ඒ මහළු මිනිසා ගිල ගනිමින් ඔහුව ග`ග පත්ලේ අතුරුදන් කළේ ය. මෙම අනතුර දුටු කුං ගුරුතුමා තම ගෝලයන් පිරිස සමග මහත් කලබලයට පත් විය. ඔවුන් කලබලයෙන් ග`ග දිගේ එහා මෙහා යමින් සිටියේ එම මහළු මිනිසා බේරාගත හැකි ක‍්‍රමයක් ඇත්දැයි සොයමිනි. නමුත් මද වේලාවකට පසු දිය සුළිය පහව ගිය කල්හි එම මහළු මිනිසා සිනහසෙමින් ගොඩට එනු දුටු කුං ගුරුතුමා ඔහු ළ`ගට දිව ගොස්, ”ඔබ බේරුණේ කෙසේ ද?’’ යි විමැසුවේ ය. එවිට මහළු මිනිසා පිළිතුරු දුන්නේ ”මම තා ඕ දන්නවා’’ යනුවෙනි. ඔහු තවදුරටත් කුං ගුරුතුමාට මෙසේ පැහැදිලි කළේ ය.

”ඔබට දිය සුළිය සමග යා හැකි නම් එය සමග පොර බැදීමට අවශ්‍ය නැත. දිය සුළිය කැරකෙන ආකාරය තේරුම් ගෙන ඒ සමග යන්න. එවිට දිය සුළිය සමගින් යටට ගොස් සුළිය සමග ම ගොඩ ආ හැකියි’’.

විශේෂයෙන්ම තා ඕ දහම චීන සභ්‍යත්වය තුළ බොහෝ ක්ෂේත‍්‍ර සඳහා යෙදී ඇත. සටන් කලාව, ව්‍යාපාර, දේශපාලනය, අලංකරණය, වැනි බොහෝ අංශයකම පාහේ මෙම ඉලැන්වීම් දැකිය හැකි ය. වූ – වෙයි සංකල්පය ද එසේ බොහෝතන්හි භාවිත කේන්ද්‍රීය සංකල්පයක් සේ දැකිය හැකි ය. සටන් කලාවේ තා ඕ (වූ-වෙයි) දන්නා තැනැත්තා වැඩි මහන්සියකින් තොරව සිය සතුරා බිම හෙලයි. ඔහු ඒ සඳහා ශක්තිය වැය නොකරයි. සතුරාගේ ප‍්‍රහාරයට මුහුණ දෙන ආකාරයට එය කළ හැකිය. එහි දී සතුරා බිම පතිත වන්නේ ඔහුට තමාගේම ශක්තිය පාලනය කර ගත නොහැකි වීම නිසා ය. සුප‍්‍රකට සටන් ශිල්පියෙක් වූ බෲස් ලී විසින් මෙසේ සඳහන් කර ඇත.

”මිත‍්‍රය, ඔබ ජලය මෙන් වන්න. ජලය මෙන් ගලා යෑමට ඉඩ හරින්න. මන්ද ජලයට නිශ්චිත හැඩයක් නොමැති නිසා ය’’.

බොහෝ දෙනා ක‍්‍රිකට් ක‍්‍රීඩාව ගැන දනී. දක්‍ෂ පන්දු යවන්නෙක් හා දක්‍ෂ පිතිකරුවෙක් ගනිමු. මොවුන් දෙදෙනාටම පන්දුවට පහර දීමට අවස්ථාවක් ලබා දෙන්නේ නම් පළමුව දක්‍ෂ පිතිකරුවා පන්දුව පතිත වන ස්ථානය හොඳින් නිරීක්‍ෂණය කොට හයේ පහරක් හෝ හතරේ පහරක් එල්ල කරන ආකාරය හොඳින් දනී. ඒ සඳහා වන තාක්‍ෂණය හරහා නිරායාසයෙන්ම හෙවත් ප‍්‍රයත්නයෙන් තොර ක‍්‍රියාකාරීත්වයෙන් ඔහු පහර එල්ල කරයි. නමුත් පන්දු යවන්නා පන්දුවට පහර දෙන විට ඔහු එහි තා ඕව නො දනී. තම උපරිම වීර්ය යොදවා පහර එල්ල කළ ද ඉන් ප‍්‍රතිඵලයක් නො ලැබේ. මේ ආකාරයට ගසකට නැ`ගීමක් හෝ වාහනයක් පැදවීමක දී හෝ වෙනත් ඕනෑම ක‍්‍රියාවක දී වූ – වෙයි අන්තර්ගත වේ. ඒ ඒ කරුණේ දී තා ඕ දන්නා පුද්ගලයා එම කටයුතුවල දී උත්සාහයෙන් තොරව ක‍්‍රියාකාරී වේ. වූ – වෙයි සංකල්පයෙන් සරලව අදහස් වන්නේ මෙම අදහසයි. එනම්, ”තා ඕව කිසිවක් කරන්නේ නැත. එහෙත් එමගින් කිසිවක් නොකර අත්හැරෙන්නේ ද නැත’’.

කෙසේ වෙතත් මෙම සංකල්පය හරහා මතුවන ගැටලූවක් ද ඇත. එනම්, වූ – වෙයි යනු කිසියම් අකිරියවාදයක් ද යන ගැටලූවයි. අකිරියවාදය මගින් කියැවෙන්නේ කර්තෘගේ භූමිකාව ඝාතනය වීමයි. එහිදී සියල්ල දෛවවාදයකින් හෝ පරමභාග්‍යවාදයකින් හෝ පූර්ව නිශ්චයවාදයකින් සිදුවන්නේ යැයි සිතීමට පොළඹවනු ලබයි. නමුත් අකිරියවාදයක ලක්‍ෂණ වන්නේ පුද්ගලයාට කළ යුතු හෝ නො කළ යුතු දෙයක් සම්බන්ධයෙන් කැමැත්තක් හෝ ඡුන්දයක් හෝ වීර්යයක් ඇති නොවීමත් ක‍්‍රියාවේ ප‍්‍රතිඵලයක් නිශේධනීය ලෙස (ප‍්‍රතිඵලයක් තිබුණ ද නො තිබුණ ද) එය ප‍්‍රතික්‍ෂේප කිරීම මිස යමක් නො කර සිටීමට මෙහෙය වන නාස්තිකවාදයක් නො වේ. මේ අනුව වූ – වෙයි තුළ ද දැකිය හැක්කේ අකිරියවාදයක් නොවන නමුත් අනවශ්‍ය ප‍්‍රයත්නයකට අවකාශ නො දෙන කිසියම් අන්දමක සියුම් මානසික පේ‍්‍රරණයකි. තව දුරටත් එයින් අර්ථවත් කරන්නේ අනවශ්‍ය ලෙස සොබාදහමේ හෝ ජීවිතයේ සිදුවන සංසිද්ධීන් සමග නො ගැටී සිටීමට මග පෙන්වන වැදගත් සංකල්පයක් බව කිව යුතුය. තා ඕවාදීන්ට අනුව පුද්ගලයා ලෝකය සමග අනවශ්‍ය ලෙස සම්බන්ධ වන්නේ මෙම ගැටීමේ ප‍්‍රතිඵලයක් නිසා ය. එය ලා ඕත්සු නමැති තා ඕවාදියාගේ පහත ප‍්‍රකාශයෙන් පෙනේ.

”ලෝකය වෙත සිය බලය යොදා ඉන් ප‍්‍රයෝජන ගැනීමට සිතන අයට සාර්ථකත්වය ලබාගත නොහැකි බව මට පෙනේ. ලෝකය යනු ශුද්ධ භාජනයකි. මිනිසාගේ මැදිහත් වීමෙන් එය හැඩගැස්විය නො හැකි ය’’.

ඔහු මෙහිදී යොදා ගන්නේ බලය යන වචනය යි. බලය යන්න පුද්ගලයාට පරිබාහිරින් අමුතු ආකාරයට යෙදවිය හැකි ශක්තියකි. නමුත් මෙම බලය යෙදීම නිසා සිදුවන්නේ අනවශ්‍ය ලෙස යොදන බලය, පෙරළා තමා වෙතම ආධිපත්‍යයක් හෙලන බව ය. එබැවින් මිනිසා සොබාදහමට විරුද්ධව යොදන බලය වෙනුවට සොබාදහමට එක`ග වන අක‍්‍රියාකාරී බවම දැක්විය යුතු වේ. බෞද්ධ දර්ශනයේ මීට කදිම නිදසුනක් පෙනේ. එනම්, ”නහි වේරෙන වේරානි – සම්මන්තීධ කුදාචනං’’ යන්න යි. එහි අර්ථය වෛරය වෛරය මගින් ම සන්සි`දිය නොහැකි බවත් වෛරයේ අක‍්‍රියාකාරී ස්වභාවය වන මෛත‍්‍රිය සමග සංගත විය යුතු බවත් ඉන් ප‍්‍රකාශ වේ. මීට සමානම අදහසක් තේ – චිං කෘතියේ දී මෙසේ දැක් වේ.

”යටහත් වන්න, එවිට ඔබ පූර්ණ වනු ඇත. නැමෙන්න, එවිට ඔබ පිරී යනු ඇත. හිස් වන්න, එවිට ඔබ පිරී යනු ඇත. පරණ වන්න, එවිට ඔබ අලූත් වනු ඇත. ස්වල්පයක් තබා ගන්න, එවිට රාශියක් ලැබෙනු ඇත. එවිට ඔබ අවුලට පත් නොවනු ඇත’’.

මෙයින් පැහැදිලි වන්නේ ලෝකය සමග, ස්වභාවය සමග ප‍්‍රතිචාර දැක්වීම වෙනුවට එකී ස්වභාවයට අදාළ නිෂ්කී‍්‍රය ස්වභාවය දැක්වීම පෙරළා තමාට සක‍්‍රිය බව ලබා දිය හැකි මූලධර්මය වන බව යි. තේ-චිං කෘතියේ පහත පරිදි සටන් ආචාර්යවරයකුගේ ප‍්‍රකාශයක් ඉදිරිපත් වේ.

”මට ගෙහිමියා වන්නට අවශ්‍ය නම් මා පටන් ගන්නේ ගෙදරට එන අමුත්තෙකු ලෙස ය. මට ආක‍්‍රමණය කරන්නට අවශ්‍ය නම් මා පටන් ගන්නේ ආක‍්‍රමණයට යටත් වන්නා ලෙස ය’’.

”යහපත් සොල්දාදුවා කිසිදිනෙක ආවේගශීලී බවට පත් නො වේ. යහපත් සටන්කරුවා කිසිදිනෙක කේන්ති නො ගනී. සතුරෙකු ජයගත හැක්කේ ඔහු හා සටන් නො කිරීමෙනි’’.

මේ සියලූ තැනකම යටින් ඇත්තේ වූ – වෙයි සංකල්පය යි. ස්වභාව ධර්මය සමග අනායාසික ක‍්‍රියාකාරීත්වයක් දැක්වීමට මග පෙන්වීම තුළින් ගම්‍ය වන්නේ ආභ්‍යන්තරික ක‍්‍රියාකාරීත්වයකි. එසේනම් තා ඕ තුළ හුදු අක‍්‍රියාකාරී බවක් පවතී යැයි කිව නො හැකි ය.

එමෙන්ම තා ඕ තුළ සාපේක්ෂකත්වයක් මෙන්ම ශුන්‍යතාවක් ද අන්තර්ගත බව පෙනේ. බාහිර ලෝකයේ ශූන්‍යත්වය අවබෝධ කර දීමට තා ඕ දාර්ශනිකයා උත්සාහ ගන්නේ සාපේක්ෂතාවාදී සංකල්පය ඇසුරිනි. බාහිර ලෝකය, ඇගයුම් මත ගොඩන`ගා ගන්නා ලද එකක් බවත් මෙම ඇගැයුම් අතර ඇත්තේ සාපේක්ෂ බවක් ය, යන්නත් එමගින් කියවෙන මූලික අදහස යි. බාහිර ලෝකය සම්බන්ධයෙන් පුද්ගලයා ගොඩන`ගා ගනු ලබන කිසිදු ඇගයුමක් නිරපේක්ෂ හා වාස්තවික බවක් නො ගනී. ස්ත‍්‍රී – පුරුෂ, දිවා – රෑ, ලස්සන -අවලස්සන ආදි සෑම ප‍්‍රතිවිරුද්ධ ඇගයීමක් අතරම ඇත්තේ සාපේක්ෂ බවකි. කිසිදු සංකල්පයක් තනිව ගත් විට අර්ථවත් වන්නේ නැත. නිදසුනකට පහත උද්ධෘතය සලකා බැලිය හැකි ය.

”මුළු ලෝකයම සුන්දර යැයි හඳුනාගත් විට අසුන්දර යැයි හඳුනා ගැනීම ද ඉන් සිදු වේ. මුළු ලෝකයම යහපත් යැයි හඳුනා ගත්විට අයහපත් යැයි හඳුනා ගැනීම ද එයින් ම සිදු වේ’’.

මෙමගින් ගම්‍ය වන්නේ පුද්ගලයා ලෝකය ඥානනය කිරීමේ දී හඳුනා ගනු ලබන මෙවැනි සාපේක්ෂක ධර්මතා නිසා සිදුවන ලෝකය සමග ගැටීම සමස්ත අර්බුදවලට හේතු වන බවයි. ශුන්‍යත්වය සම්බන්ධයෙන් ද තා ඕ දහම විශේෂ අවධානයක් යොමු කරනු පෙනේ. ලෝකය ද්විත්වමය වශයෙන් සාපේක්ෂමය ස්වරූපයක් උසුලනු ලබන විට එහි ඇත්තේ ප‍්‍රත්‍යුත්පන්න බවකි. මෙම අන්‍යොන්‍ය ප‍්‍රතිධර්ම අන්තර් හේතුවකින් බැඳී පවතී. එම හේතූන්ගේ අභාවය මගින් සිදු වන්නේ ඉන් සමුද්භව ඵලය ද අහෝසි වී යෑම යි. මෙයින් උපදින්නේ ශුන්‍යතාවාදයකි.

”මැටි පිඩෙන් සැදුණු බඳුනෙහි (මුට්ටියෙහි) ප‍්‍රයෝජනය රඳා පවතින්නේ එහි නො පැවැත්ම හෙවත් එය තුළ ඇති හිස් කුහරය මත ය. කාමරයක බිත්තියෙහි ජනේලයක් සඳහා කුහරයක් සෑදූවිට එහි ප‍්‍රයෝජනය රඳා පවතින්නේ එහි ඇති හිස් අවකාශය තුළ ය’’.

තා ඕවාදයට අනුව ඇස පිරිසිදු වීමෙන් පෙනීම පිරිසිදු වේ. කන හිස් වූ විට ශ‍්‍රවණය හොඳින් සිදු වේ. නැහැය හිස් වූ විට ආශ්වාස ප‍්‍රශ්වාසය මනාව සිදු වේ. මේ අනුව අප සතු ඉන්ද්‍රියයන්ට පැවරී ඇති කාර්යය මැනවින් ඉටු වන්නේ එ්වායෙහි හිස් අවකාශ ඇති විට දී ය. මනස ද එබඳු ඉන්ද්‍රියකි. එහි ක‍්‍රියාවලිය වන්නේ ඊට අදාළ ද්‍රව්‍ය වෙන් කර බෙදා හඳුනා ගැනීමයි. එය විවිධ සංකල්ප හා දෘෂ්ටීන්ගෙන් පිරී ඇති විට මනාව ක‍්‍රියාත්මක වන්නේ නැත. මනසේ සංකූලතා මතු වන්නේ එහි අවකාශ මඳ වූ විට ය. තා ඕ දර්ශනයට අනුව ගෙදර ඉඩ මදි වූ විට නැන්දම්මා හා ලේලි අතර ආරවුල් ඇති වේ. මනස ද විවිධ සංකූලතාවලින් පිරී ඇති කල්හි එසේම සිදු වේ. එය හිස් බවට හෙවත් ශූන්‍ය බවට පත් වීම ගැටලූවලට විසඳුමයි. මේ අනුව පෙනී යන කරුණ නම් තා ඕ හුදු අක‍්‍රියත්වයම ප‍්‍රකාශ කරන දර්ශනයක් නොවන බවයි.

මීට අමතරව ත ඕ ජීවන කලාව වෙත අවධානය යොමු කිරීමෙන් ද එ් බව සනාථ කරගත හැකි ය. ස්වභාව ධර්මයේ ක‍්‍රියාකාරීත්වය අවබෝධ කොටගෙන එ් අනුව ජීවත් වීම වූ කලී නිදහසේ ස්වභාව ධර්මයේ මාර්ගයට ක‍්‍රියාත්මක වීමට ඉඩහැරීමකි. වූ – වෙයි යන්න සමග මෙම ජීවන කලාව ද බැඳී ඇත.

”ප‍්‍රඥාවන්තයා සියලූ කාර්ය කිසිදු කාර්යයක් නො කර කර ගනී. වචනවලින් තොරව ධර්මය දේශනා කරයි. අක‍්‍රීයව සවන් දීම තුළින් ක‍්‍රියාත්මක ක‍්‍රියාකාරීත්වයට පත් වේ’’.

මේ අනුව ත ඕ ජීවන සැපයුම උදෙසා ආධ්‍යාත්මික එ්කීයත්වය ළඟා කර ගැනීම සඳහා තමාම මෙහෙය වේ. කිසිදු ශාස්තෘවරයකුට නො පැවරීම ද එය පුද්ගලයාට කෙතරම් සමීප ක‍්‍රියාකාරී බවක් ද යන්න ඕනෑම අයකුට පැහැදිලි වේ. මේවා හැරුණු විට තා ඕහි ජීවන කලාවට සම්බන්ධ තවත් බොහෝ ලක්ෂණ පරීක්ෂා කර බැලීමෙන් පැහැදිලි වන්නේ ද තා ඕ හුදු අක‍්‍රියාකාරීත්වයම ප‍්‍රකට නො කරන බවයි. මේවා අතර භාවනාව, ආහාර පාලනය, ශාරීරික අභ්‍යාස, ආනාපානසතිය ආදී දෑ සම්බන්ධයෙන් තා ඕහි අවධානය යොමු කර ඇත. මේවා හරහා ගොඩන`ගන කායික මානසික සංහිඳියාව තුළින් ජීවිතය සැබැවින්ම කලාවක් මෙන් මිනිස් සිත් සතන් සුවපත් කරන බව පැහැදිළි ය.

තා ඕහි එන ජීවන කලාවට අයත් ලක්ෂණයක් වන්නේ ආහාර කලාවයි. එමගින් ද පෙනී යන්නේ තා ඕ හුදු අක‍්‍රියාකාරීත්වයම ඉගැන්වෙන දර්ශනයක් නො වන බවයි. තා ඕහි ආහාර ක‍්‍රමය ප‍්‍රධාන කොටස් තුනකි.

 1. සාමාන්‍ය කෑම වර්ග

 2. ඖෂධීය ආහාර

 3. ශක්ති ජනක ආහාර

මේ කරුණු අනුව සමස්තයක් වශයෙන් මිනිසා යනු තා ඕ ප‍්‍රකට වීමක් වූ ස්වභාවික නිර්මාණයකි. ඔහු ස්වභාව ධර්මයේ ක‍්‍රියා පිළිවෙල තුළ තමාට හිමි ස්ථානය සොයා ගත යුතුය. මිනිසා මුහුණ දෙන සෑම අර්බුදයක්ම තා ඕ හඳුනා නොගැනීම නිසාම උද්ගත වන අර්බුදයන් වේ. මේ ස්වභාව ධර්මයේ කටයුතු සියල්ල සංවර්ධනය කිරීමට හා වෙනස් කිරීමට මිනිසා ගන්නා ආයාසයන් සියල්ලම අවසානයේ ඔහුව විනාශය කරාම රැුගෙන යේ. මනුෂ්‍යයාගේ හැසිරීම විය යුත්තේ තා ඕ අනුගමනය කිරීම ය. ස්වභාවිකත්වය පිළිගැනීමේ චර්යාව ඉතා ප‍්‍රශස්තම මාර්ගය යි. මිනිසා තමා අවට විවිධ දෑවලට කෘතිම අගයන් ආරෝපණය නො කරන තාක් සොරකම් සිදු නොවේ. තා ඕ අනුගමනය කරන පුද්ගලයා තෘෂ්ණාධික නො වූ, ආචාරශීලී, විනීත අයෙකි. තා ඕ ජීවන කලාව එයයි. සියල්ල හුදු අක‍්‍රියත්වයම නොවන බවට එය ඉතාම කදිම නිදසුනයි. මේ බව වඩාත් හොඳින් තේරුම් ගැනීම් සඳහා උපමා කීපයක් තේ – චිං කෘතියේ සඳහන් වේ.

 1. ජලය බවට පත්වීම

 2. ස්ත‍්‍රිත්වයට නැඹුරුවීම

 3. නිම්නය බවට පත් වීම

 4. ළදරුවකු බවට පත් වීම

එයින් එකක් ලෙස ජලය පිළිබඳ දැක්වීමේ ජලය වනාහි ආකෘති රහිත (Formless) ව්‍යුහ රහිත (Structureless) කාල අවකාශයට සාපේක්ෂ, එසේම විටෙක ජලය තරම් දුර්වල තවත් විටෙක ජලය තරම් ශක්තිමත් දෙයක් තවත් නොමැති තරම් ය. ඕනෑම දෙයක් ඝනීභූත (Fix) කිරීමට ද ඕනෑම දෙයක් දීමට බිඳීමට හැකි වීම ද ජලයේ විශේෂ ලක්ෂණය යි. ජලය හුදෙක් ක‍්‍රියාකාරී දෙයක් යැයි පැවසිය හැකි ද ? එසේ පැවසිය හැකි නො වේ. නිසල දිය ගැඹුරු යැයි අප අතර කියමනක් ද පවතී. එමෙන්ම 2004 වසරේ දී මහා ඛේදවාචකයක් කළේ ජලයේ ප‍්‍රබල ක‍්‍රියාකාරීත්වය යි.

එසේම ළදරුවෙක් ගත් විට ස්වභාවයෙන්ම සියුමැලි වේ. ඔහුට ද අපට මෙන් ඉන්ද්‍රියන් පිහිටා ඇත. නමුත් පරිණත පුද්ගලයෙක් මෙන් එ්වා ක‍්‍රියාත්මක වන්නේ නැත. දිනයක් පුරාවට ළදරුවා හැ`ඞීමක් කළ ද ඉන් ඔහුට කිසිදු හානියක් වන්නේ නැත. මින් පෙනෙන්නේ ළදරුවා අක‍්‍රිය වස්තුවක් බව නො වේ. ළදරුවා ක‍්‍රියාකාරී ය. නමුත් ළදරුවාගේ ක‍්‍රියාකාරීත්වය සොබාදහමට එකඟ ය. වැඩිහිටියකුගේ ක‍්‍රියාකාරීත්වය හා ළදරුවෙකුගේ ක‍්‍රියාකාරීත්වය අතර විශාල වෙනසක් ඇති බැවින්, පරිණත මිනිසාට උපදෙස් දෙන්නේ ළදරුවා මෙන් ක‍්‍රියාකාරී වීමට ය. මින් පෙනෙන්නේ පුද්ගලයා ක‍්‍රියාකාරී වීමට මඟ පෑදීමක් නො ව සොබාදහම සමග එක් වන ක‍්‍රියාකාරීත්වයක් වෙත පුද්ගලයා යොමු විය යුතු බවයි. මේ අනුව තා ඕ මගින් දක්වන ක‍්‍රියාකාරීත්ව ස්වභාවය,

 1. ප‍්‍රායෝගිකව ජීවන කලාව

 2. ෙසෙද්ධාන්තිකව වූ – වෙයි

යන ක‍්‍රම දෙකම හරහා ප‍්‍රකාශයට පත් වන බවයි. එය හුදු අක‍්‍රීයත්වයට ප‍්‍රකාශ කරන්නක් නො වේ. මේ නිසා අප තා ඕහි අන්තර්ගත අක‍්‍රියත්වය හෝ උත්සාහයක් නොමැති ක‍්‍රියාව යන්න වටහාගත යුත්තේ එදිනෙදා ක‍්‍රියාවන් සඳහා ද උපයුක්තමය වටිනාකමක් සහිත සංකල්පයක් වශයෙනි. මෙම නිෂ්ක‍්‍රීය තා ඕ පුද්ගල ආධ්‍යාත්මය හැඩගැස්වීමට ද මහෝපකාරී වේ. ඔහු, ස්වභාව ධර්මයට අවතීර්ණ වීම තුළ තෘප්තිමත්, සරල, ලද පමණින් තුටු වන, බාහිර ද්‍රව්‍ය ලෝකය සමග අනවශ්‍ය පරිදි ආසක්ත නොවන තැනැත්තෙක් බවට පත් කරයි. ද්‍රව්‍ය හා ආත්මය (Yin – Yan) සමබර වීම නිසා විශ්වයේ පරිපූර්ණතාව ගොඩනැගේ. පුද්ගලයාට බලපාන්නේ ද මෙම නිහඬ ක‍්‍රියාකාරීත්වය යි. තා ඕහි තපස, භාවනාව හා නිශ්ශබ්දතාව ප‍්‍රගුණ කිරීම අක‍්‍රීයත්වයේ ප‍්‍රායෝගික අංශය යි. අවබෝධය පිණිස ස්වභාවධර්මය සමග පෙරළා ප‍්‍රතික‍්‍රියා කළ යුතු නැත. බුදුන් වහන්සේ මනසින් අක‍්‍රීයව සිටි පෘථග්ජනයාට සෑමවිටම ලබා දුන්නේ වූ – වෙයි සංකල්පයකට අදාළ කමටහන් ය. සුදු රෙදිකඩක් පිරිමැදීමට උපදෙස් ලබා දීම, නො මළ ගෙයකින් අබ මිටක් සොයාගෙන එ්මට ඉඩ හැරීම, මේ සඳහා නිදසුන් ය. සමස්තයක් වශයෙන් මේ අනුව ප‍්‍රයාසයකින් තොර ක‍්‍රියාව හුදු අක‍්‍රියත්වයම ප‍්‍රකාශ කරන්නක් නොවන බව පැහැදිළි ය. නූතන චින්තකයන් වූ -වෙයි සංකල්පය නිෂ්ක‍්‍රිය පුද්ගලයෙක් බිහි වීම සඳහා කරන ඉගැන්වීමක් වශයෙන් හඳුනාගෙන ඇත. නමුත් තා ඕවාදීන්ට අනුව, පුද්ගලයා ස්වභාව ධර්මයට එරෙහිව ක‍්‍රියාත්මක වීම යනු ක‍්‍රියාකාරීත්වයක් නොව විනාශකාරී දෙයකි. එබැවින් ප‍්‍රඥා ගෝචර වීම යනු අක‍්‍රියත්වය හරහා ක‍්‍රියාකාරී වෙමින්, මල නො තලා රොන් ගන්නා බඹරෙක් මෙන් ස්වභාව ධර්මය ඉදිරියේ ක‍්‍රියාකාරී විය යුතු බව තා ඕවාදයේ එන මෙම වූ – වෙයි සංකල්පය හරහා වටහා ගත යුත්තයි.

පූජ්‍ය කැප්පෙටිපොල ඤාණවිමල හිමි
දර්ශන අධ්‍යයනාංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, පේරාදෙණිය.

advertistmentadvertistment
advertistmentadvertistment