අඛණ්ඩව ඉහළ යන ගෝලීය උණුසුම

334

ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම නිසා අද ඔබට, මට, අප සැමට විඳින්නට සිදුව තිබෙන බලපෑම සුළුපටු නොවේ. ඒ නිසාම අද දවසේ ඔබගේ අවධානය මේ පාරිසරික අර්බුදය කෙරෙහි යොමු කරලීම අපගේ අරමුණයි. පෘථිවිය මතුපිට උෂ්ණත්වය අඛණ්ඩව ඉහළ යෑම ගෝලීය උණුසුම ලෙස සරලව අර්ථ දැක්විය හැකිය. සූර්ය විකිරණ වායුගෝලය මතට වැටී එය පෘථිවි තලය දක්වා පැමිණ ඉන් කොටසක් අවශෝෂණය කරන අතර ඉතිරි කොටස පරාවර්තනය කෙරේ. එහෙත් ඉහළ වායුගෝලයේ ඇති වළා වැස්ම පෘථිවි තලයට පැමිණෙන කෙටි තරංග අවශෝෂණය වී දිගු තරංග ලෙස පිටකර හැරීම අවහිර කරයි.

පිටතට විකිරණය වී නොයන මේ තාප ශක්තිය වායුගෝලය තුළම පැවතීම නිසා එහි උෂ්ණත්වය වැඩි වේ. පෘථිවි වායුගෝලීය සංයුතිය ස්වභාවිකව පවතින විට ඇතිවන්නේ ස්වභාවික ගිම්හල් ඵලයකි. එය ස්වභාව ධර්මය විසින්ම පාලනය කරනු ලබයි. නමුත් වර්තමානයේ වායුගෝලයේ කෘතීමව ඇති වූ ගිම්හල් ඵලයක් ඇත. එය දිගින් දිගටම තීව්‍ර වෙමින් පවතී. මෙම ගිම්හල් ඵලය ඇති වීම කෙරෙහි බලපා ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම් ය. මිනිසා විසින් කරනු ලබන කැලෑ කැපීම, ගිනි තැබීම, ඉන්ධන දහනය මගින් වායුගෝලයට එක් කරන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩිකර ඇත. මේ හැර කාර්මික හා කෘෂිකාර්මික කටයුතු නිසා වායුගෝලයේ මීතේන් සාන්ද්‍රණය ද වැඩි වී තිබේ. මිනිස් කටයුතු මගින් වායුගෝලයට එක් කළ ක්ලෝරා ෆ්ලූවරා කාබන් (CFC) ප්‍රමාණය ද ඕසෝන් ස්ථරය විනාශ කර ඇත. එය පාරජම්බුල කිරණ පෘථිවි ගෝලය කරා පැමිණීමටත්, එහි උෂ්ණත්වය වැඩි කිරීමටත් බලපා ඇත. එමෙන්ම වායුගෝලයේ වැඩියෙන් ඇති කාබන්ඩයොක්සයිඩ් (CO2),, නයිට්‍රස් ඔක්සයිඩ් (N2O),, මීතේන් (CH4) වැනි වායු වර්ග හා හයිඩ්‍රජන්වල විවිධ ඔක්සයිඩ් වර්ග අධෝරක්ත කිරණ අවශෝෂණය කරයි. මින් වායුගෝලය වැඩි වැඩියෙන් තාපවත් වේ. අන්තර්ජාතික දේශගුණ විපර්යාස කමිටුව පවසන ලද්දේ වසර 1900 සිට 2100 දක්වා කාලය තුළ ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.4 සිට 5.8 දක්වා වැඩිවිය හැකි බවයි.

පර්යේෂකයන් පවසන ආකාරයට 2023 වසරේ සිට 2027 වසර දක්වා කාලය තුළ සෙල්සියස් අංශක 1.5 ක් ලෙස පවතින ගෝලීය උෂ්ණත්ව මට්ටම පසු කර යෑමට 66%ක සම්භාවිතාවක් පවතී. එයට හේතුව මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන වායු විමෝචනය, වසර අගදී ඇතිවිය හැකි එල්නිනෝ (El Nino) කාලගුණ රටාව හේතුවෙන් ඊට ඇති ඉඩකඩ ඉහළ යමින් පවතී. එල්නිනෝ යනු පැසිෆික් සාගරයේ මතුපිට ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම හේතුවෙන් ඇතිවන ක්‍රියාවලියකි. ඒ වගේම 2024 වර්ෂය තුළ ගෝලීය වශයෙන් මුහුදු මතුපිට සාමාන්‍ය උෂ්ණත්වය පෙබරවාරි මාසයේදී සෙල්සියස් අංශක 21.06ක් ලෙස දැක්වුණු අතර එය වසර 2000කට පසු ගෝලීය මුහුදු මතුපිට වාර්තා වූ වැඩිම උෂ්ණත්වය බව ජාත්‍යන්තර විශේෂඥයන් පෙන්වා දෙයි. ඒ අනුව සාගර උෂ්ණත්වය ඉහළ යෑම තුළ සැලකිය යුතු බලපෑමක් සමුද්‍රීය කලාපවලටද එල්ල වී තිබේ. ඉන් ජලජ ජීවීන්ට මෙන්ම ගොඩබිමේ පැවැත්මට ද එල්ල වන්නේ දැඩි බලපෑමකි. ලංකාවෙහි මුහුදුබඩ ප්‍රදේශ වර්තමානයේ පවා විශාල වශයෙන් ඛාදනයට ලක්ව තිබෙන්නේ මෙම ගෝලීය උණුසුම ඉහළ යෑමේ ප්‍රතිඵලයක් වශයෙනි. මෙම කාලවකවානුව තුළ පෙර නොවූ ලෙස ශ්‍රී ලංකාවෙහි උෂ්ණත්වය ද ඉහළ ගොස් පවතී. ලංකාව හරහා නිශ්චිත වායු ධාරාවක් ගමන් නොකිරීම, වායු ගෝලයේ ජල වාෂ්ප අඩු වීම, ඉන්දියන් සාගරයේ උෂ්ණත්වය අඩු වැඩි වීම මේ සඳහා බලපා ඇත.

ශ්‍රී ලංකාවෙහි කුරුණෑගල, කොළඹ, අම්පාර, අනුරාධපුර, මොනරාගල, රත්නපුර වැනි දිස්ත්‍රික්කයන් හි මේ දිනවල දෛනික උෂ්ණත්වය ඉහළ ගොස් පවතින අතර මේ තුළින් ජනතාවගේ දෛනික වැඩකටයුතුවලටද සෘජු බලපෑමක් සිදුව ඇත. හිසරදය, ක්ලන්තය, ඇඟපත රිදීම, ආහාර අරුචිය, නින්ද නොයෑම වැනි රෝග ලක්ෂණ මෙන්ම දරුවන් අතර විජලන තත්ත්වයන් හා සමේ රෝග ඉහළ යෑම මෙම අධික උෂ්ණත්වයත් සමග ඇතිවේ. එබැවින් හැකිතරම් හිරු එළියට නිරාවරණය නොවීම, ජලය සහ ස්වභාවික දියර ආහාර වැඩි වශයෙන් පානය කිරීම සුදුසු ය.

2015 දෙසැම්බර් 12 වැනි දින පැරිස් දේශගුණික විපර්යාස සමුළුවේදී සම්මත කරන ලද දේශගුණික විපර්යාස ගිවිසුමක් වන පැරිස් ගිවිසුම 2020න් පසු දේශගුණ විපර්යාස පිළිබඳ ගෝලීය ක්‍රියාමාර්ග සඳහා විධි විධාන සලසා ඇත. මෙම සම්මුතයේ දිගුකාලීන ඉලක්කය වන්නේ පූර්ව කාර්මික කාලපරිච්ජේදය හා සසඳන විට ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2ක් ඇතුළත පාලනය කිරීම හා උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් අංශක 1.5ක් තුළ සීමා කිරීමයි. කෙසේ වෙතත් මෙම ගෝලීය උණුසුම අවම කර ගැනීම සඳහා අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග ලෙස වායු විමෝචනය බොහෝ අවම කිරීම, ජීව වායු භාවිතය දිරිමත් කිරීම, කාර්මික වෙළෙඳ විදුලි බල නිෂ්පාදනය හා ගෘහමය අංශ හා ඉතා අඩුවෙන් හරිතාගාර වායු පිට කරන බලශක්ති භාවිතය, හරිතාගාර වායු පිට කිරීම පිළිබඳ සම්මත සීමා දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම, මීතේන් හා නයිට්‍රස් ඔක්සයිඩ් අවම කළ හැකි කෘෂි පොහොර වර්ග හඳුන්වා දීම, CO2 වායුව වැඩිපුර යොදාගත හැකි බෝග වර්ග බෝ කිරීමේ වැදගත්කම හඳුන්වා දීම වැනි යෝජනා ක්‍රම ඉදිරිපත් කළ හැකිය. මේවා ක්‍රියාත්මක කිරීම අප සැමගේ කාර්යභාරය බව අවසානයේ දී සනිටුහන් කරමු.

ඩබ්ලිව්. ඒ. ඩී. ශිවන්තිකා මධුෂානි ගුණසේකර,
පාරිසරික කළමනාකරණ අධ්‍යයනාංශය,
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය.
සංස්කරණය – වසන්ත ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment