අගමැති පුටුව සහ දේශපාලන චූලෝදර – මහෝදර සටන!

309

ලංකාවේ දේශපාලනය සරදම් සහිතව ගලා බසින ගංඟාවක් යැයි අපට සිතෙන්නේ 69 ලක්‍ෂයක ජනවරමකින් හා 20 වැනි සංශෝධනය මගින් සුපිරි බලයක්ද ලබාදුන් ජනාධිපතිවරයකුට මෙන්ම පාර්ලිමේන්තුවේ 2/3කට නො අඩු බලයක් සහිත ආණ්ඩුවකට මහ මැතිවරණයකින් පරාජයට පත්ව ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරම් ලද එක් ආසනයක් පමණක් හිමි මන්ත්‍රීවරයකුට රටේ අගමැති ධුරය ලබාදීමට සිදු වූ ආකාරය දෙස බලන විටය. මේ අනුව සුපිරි බලැති ගෝඨාභය ජනාධිපතිවරයාත් පාර්ලිමේන්තුවේ අගමැති ධුරයෙන් විසිවී ගිය මහින්ද රාජපක්‍ෂත් එජාප නායක රනිල් වික්‍රමසිංහට රටේ ආර්ථිකය බල ගැන්වීමේ ජාතික වගකීම පැවරීම උත්ප්‍රාසය දනවන දේශපාලන නාටකයක් ද වේ. කුමක් වුවත් අගමැති රනිල් සිය දේශපාලන වාර්තා පොත ද අලුත් කරගෙන සිය ක්‍රියාන්විතය ආරම්භ කර තිබේ. විපක්‍ෂ නායක සජිත් වටේ කැරකෙමින් සිටි අගමැති ඔටුන්න තබා ගත් ඇතා අන්තිමේදී රනිල් ඉදිරිපිට දණගැසූ ආකාරය ද ශෝකීය නාටකයක් වැන්න. රනිල්ට මෙබඳු පිනක් කඩා වැටෙනු ඇතැයි රාජකීය ජ්‍යොතිෂ උපදේශිකාවක් යැයි හැඳින්වෙන අනුරාධපුරයේ ඥානක්කාවත් දැන සිටියේ ද යන්න අපි නො දනිමු. ඇයට තබා මේ රටේ කිසිදු නැකැත්කරුවකුට හෝ රනිල්ගේ මේ අහම්බ අගමැති යෝගය පෙනී ගිය බවක් ද වාර්තා වී නැත.

අගමැති පුටුව සහ දේශපාලන චූලෝදර - මහෝදර සටන!

කෙසේ හෝ දැන් මේ රටේ ජනතාව පමණක් නොව, ජාත්‍යන්තරය ද බලා සිටින්නේ අගමැති රනිල් දෙසය. එසේම ඔහුට එරෙහිව නැඟුණු දේශපාලන හා පෞද්ගලික විවේචනද දෝෂාරෝපණ ද බොහෝ විය. එහෙත් අගමැති ලෙස පාර්ලිමේන්තුවට ගොස් ජනාධිපතිවරයා ළඟ තිබෙන දෙවැනි අසුනේ හිඳගත් ඔහු අවධාරණය කළේ අද තිබෙන පාර්ලිමේන්තු සංස්කෘතිය වහාම වෙනස් විය යුතු බවය. තමන් පාවාදීමක් නොකළ බවත් කිසිවකු ආරක්‍ෂා කරදීම හෝ තම අරමුණ නොවන බවත් ඔහු පවසා සිටියේය. රටේ ආර්ථිකය ගොඩනැඟීම සඳහා තමන් ඉදිරිපත් වූ බවත් අගමැති රනිල් පැවසීය. සිය ආර්ථික සැලැස්මේ පළමු පියවර ලෙස පාර්ලිමේන්තුව තුළ දේශපාලන මණ්ඩලයක් හෝ ජාතික සභාවක් ඇති කළ යුතු බව ද ඔහු යෝජනා කළේය. අගමැති රනිල් ඊට පෙර ජාතිය අමතමින් කළ ප්‍රකාශයෙහි (16 වැනිදා) හරය වූයේ ද අදට වඩා දුෂ්කර කාලයක් හෙට එළැඹෙන බවය. එහි විශේෂත්වයක් නැති වුවද රටේ අගමැතිවරයකු ලෙස ජනතාව ඉදිරිපිට එබඳු ප්‍රකාශයක් සිදු වූ පළමු අවස්ථාව ද එය බව කිව යුතුය. මෙරටේ ජනතාවට අලුතින් විඳිය යුතු දුකක් නැත. ඇත්ත වශයෙන්ම ඔවුන් සිටින්නේ පැදුරෙත් නොව බිමය. ඔවුන් පීඩාවට පත් කළ කිසිදු ප්‍රශ්නයකට යම් පමණක හෝ සහනයක් දීමට පොහොට්ටුවේ සිටි කිසිදු ඇමතිවරයකුට හෝ නොහැකි විය. එදා ආණ්ඩුවේ නායකයෝ ඒ සත්‍යය සැඟවූහ. මොළ හතක් ඇතැයි උඩ දැමූ පොහොට්ටුවේ මුදල් ඇමැතිවරයාට මෙන්ම ඔහු සමග සිටි මහ බැංකු අධිපතිවරයාට ද ආර්ථිකය පිළිබඳ සාමාන්‍ය දැනුමක්වත් නොවූ බව දැන් රට ම දනී. පසුගිය දිනක රූපවාහිනී නාලිකාවක සංවාදාත්මක වැඩසටහනකට එක්වෙමින් හිටපු ඇමැතිවරයකු ද වූ ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්‍ෂ මන්ත්‍රීවරයා මේ දෙදෙනාට ඉදිරිපත් කළේ බරපතළ චෝදනා පත්‍රයකි. රාජපක්‍ෂවරුන්ගේ දේශපාලනය පමණක් නොව, රටේ ආර්ථිකය හා දේශපාලන සංස්කෘතියද විනාශ කිරීමේ වගඋත්තරකරුවකු ලෙස ද ඔහු හැඳින් වූයේ හිටපු මුදල් ඇමැති බැසිල් ය. ඔහුම අනුබල දුන් මහ බැංකු අධිපතිවරයාට ද බරපතළ චෝදනා පත්‍රයක් ඉදිරිපත් විය. එයින් තහවුරු වන්නේ ද පොහොට්ටුවේ ආණ්ඩුවට මෙ රටේ ආර්ථිකය වර්ධනය කිරීමට කිසිදු සැලැස්මක් නොවූ බවය.

රටේ ආර්ථිකය පිළිබඳව අගමැති රනිල්ගේ අනාවරණයන්හි වැඩිපුරම වූයේ බිඳවැටීගිය ආර්ථිකයේ නිධාන කතාව ය. ඒ අතීත කතාව වර්තමානයට ගළපා එමගින් පීඩාවට පත් ජන ජීවිතවලට සුවයක්, සහනයක් ලබාදීම ඔහුගෙන් ජනතාව අපේක්‍ෂා කරන එකම දෙයයි. එහෙත් ඒ ආර්ථික පිම්ම පැනීමේ අවදානම ගැන ද ඔහු දනී. ඔහු තමන් මුහුණ දී සිටින අභියෝගය ගැන විස්තර කිරීමට බර්ටෝල් බ්‍රෙෂ්ට්ගේ හුණුවටයේ කතාව ද යොදා ගත්තේය.එම නාටකය නිෂ්පාදනය කළ හෙන්රි ජයසේන බ්‍රෙෂ්ට්ගේ “ද කොකේෂියන් චෝක් සර්කල්” ඒ සඳහා සිංහලට නැඟීය. මේ පුවත උම්මග්ග ජාතකයේ එන දාරක ප්‍රශ්නයයි. එහි ගෲෂා කුණාටු සුළං සහිත වාතාවරණයක වැල්පාලමක යන්නී අනුන්ගේ දරුවකු සුරැකීමට ය. අගමැති රනිල් අතට ගන්නේ ද අනුන්ගේ ආර්ථික දරුවෙකි. ඔහු වැල්පාලමින් යන්නේ ද දේශපාලන අවලා ද කුණාටු ගල් මුල් එල්ලවන පසුබිමක ය. ඒ මදිවාට වැල්පාලම ද දුබලය. අනාරක්‍ෂිතය. ඔහුගේ දෙපා හිර වී ඇත්තේ උල්කටු ඇනෙන පාවහන් යුගලකය. රටක ආර්ථිකයක් අවම වශයෙන් ආහාර සුරක්‍ෂිතතාව බලශක්ති හා සෞඛ්‍ය සුරක්‍ෂිතතාව යන කරුණු මත රඳා පවතී. එහෙත් භාණ්ඩාගාරය හිස්ය. ණය ඔරොත්තු නොදෙන ප්‍රමාණයට ඉහළ ගොසින්ය. එසේ වුවද ණය ගැනීම හැර වෙනත් විකල්පයක් ද නැත. මේ සියල්ලට ම පාර්ලිමේන්තුවේ හා විපක්‍ෂවල සහභාගිත්වය ලබාගත යුතු බව රනිල්ගේ අදහසයි.

දැන් අපි මේ ආර්ථිකය හා බැඳුණු දේශපාලන අර්බුදය පිළිබඳව ද සැකෙවින් හෝ විමසා බැලිය යුතුය. මක්නිසා ද යත් අද මේ රට ම ගැට ගැසී තිබෙන්නේ ඒ දේශපාලන අර්බුදය සමගය. අගමැති රනිල් පාර්ලිමේන්තුවේදී සඳහන් කළ අලුත් දේශපාලන සංස්කෘතිය පිළිබඳ අදහස සම්බන්ධ වන්නේ ද මේ අර්බුදයට ය. පාර්ලිම්න්තුවේ අද තිබෙන සංස්කෘතිය සමග අපට ඉදිරියට යා නොහැකි බව ඔහු පවසන්නේ මේ අනතුර දුටු අයකු ලෙසය. එහෙත් තවමත් එහි සිටින බොහෝ දෙනකුට ඒ ගැන වගේ වගක් නැත. ඉකුත් 17 වැනිදා පාර්ලිමේන්තුවේ තිබුණු නියෝජ්‍ය කථානයක තෝරා ගැනීමේ ඡන්දය මහජනතාවට කිසිදු වටිනාකමක් නැත. විපක්‍ෂ නායකවරයා කම්පා වී සිටියේ තමන් යෝජනා කළ ස්ත්‍රී නියෝජනය පරාජය වීම ගැනය. ඇයට එම පදවිය හිමි වූයේ නම් එය මෙරටේ අසාමාන්‍ය ස්ත්‍රී ජයග්‍රහණයක් වන්නේ ද? මේ වර්ගයේ නිසරු ක්‍රියාකාරකම් සඳහා මහජන මුදල් කොපමණ නාස්ති කර තිබේ ද?පාර්ලිමේන්තුවේ 225දෙනා ම ගෙදර යා යුතු යැයි උද්ඝෝෂණ කරන සමාජ දේශපාලනයක මන්ත්‍රීවරුන්ගේ ඇවතුම් පැවතුම් මීට වඩා ප්‍රබුද්ධ විය යුතු බව කීම නම් වැරදි නැත.

කෙසේ හෝ පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවත් විපක්‍ෂයත් තවමත් හිර වී සිටින්නේ සම්ප්‍රදායානුකූල රාමුවකය. එය බිඳ දමා අලුත් චිත්‍රයක් රටට ලබාදීමට ඔව්හු අසමත්ව සිටිති. අගමැති රනිල් පුන පුනා කියන්නේ ද ඒ වෙනස නොකළොත් තමන් කිසිවකුට ගැළවීමක් නැති බවය. එය සැබෑවකි. අද උද්ගතව තිබෙන මේ සමාජ ආර්ථික දේශපාලන අර්බුදය මේ ආණ්ඩුවේ කර හිටට ම දැමීම සාධාරණ නැත. එය දශක කීපයක් එනම් 1977න් පසුව ඇරඹුණු දේශපාලන විකෘතියක ඵලයකි. එහෙත් අද වනතෙක් එය ප්‍රකෘති තත්ත්වයට පත්කර ගත නොහැකි විය. දහසක් බලාපොරොත්තු ජනතාවට දෙමින් යළි බලය ලබාගත් රාජපක්‍ෂවරුන්ට ද ඒ සඳහා සාධනීය වැඩ පිළිවෙළක් නොවීය. මේ ආණ්ඩුව ගැන මුළු රටේ ම ඇත්තේ දැඩි විවේචනයකි. ජනාධිපතිවරයාට හෝ දේශපාලන වශයෙන් පරිණත නායකයකු වූ හිටපු අගමැති මහින්දට හෝ රටේ ප්‍රශ්නවල දීමට පිළිතුරක් ද නොවීය. දැන් මාස ගණනක් තිස්සේ ජනතාව පෝලිම්වල කඹුරන්නේ ද ආණ්ඩුවේ හපන්කම් නිසා බව පමණක් කියමු. රටට අත නොපා ජනතාවට ම බත සැපයූ ගොවියෝ අද අසරණව සිටිති. ඒ ජනාධිපතිවරයා ඇතුළු කෘෂිකර්ම ඇමතිගේ ක්‍රියා කාරකම් නිසාය. රසායන පොහොර භාවිතයට එරෙහිව දියත් කළ ව්‍යාපෘතිය මුළු ගොවිතැනම පාළු කළ ආකාරය රහසක් නොවේ. දේශපාලන කයිවාරුවලින් කුඹුරු ගොවිතැන් කළ නොහැකි බව ආණ්ඩුව තේරුම් ගත්තේ දහස් ගණන් ගොවීන් සරණාගතයන් බවට පත් කරමින්ය.

අද මෙරටේ උද්ගත වී තිබෙන සමාජ – ආර්ථික හා දේශපාලන ආර්බුදය මෙන්ම එයට එරෙහිව නැඟුණු තරුණ විරෝධතාව කෙබඳුදැයි මේ ආණ්ඩුවේ නායකයෝ නිවැරදිව තේරුම් ගෙන සිටිත්දැයි අපට පැහැදිලි නැත. රට තුළ තවමත් දේශපාලන ස්ථාවරත්වයක් ගොඩනැඟී නැත. පාර්ලිමේන්තුව ඇතුළත පොහොට්ටුවට ඇතැම් යෝජනාවක් දෙකක් පරාජය කරගත හැකි වූ බව සැබෑය. එහෙත් ආණ්ඩුවේ බලය හා නියෝග ජනතාව එතරම් බැරෑරුම් ලෙස ගණන් නොගන්නා බවක් ද පෙනී යයි. ඇඳිරි නීතියට දක්වන ප්‍රතිචාරය එක් නිදසුනකි. පොලිසියට ජනතාව පාලනය කිරීම ද අසීරු වී තිබේ. අප අනුමත නොකළත් පසුගියදා රට වෙළාගත් ප්‍රචණ්ඩත්වය පාලනය කිරීමට පොලිසියට නොහැකි වූ බව රහසක් නොවේ. අරලියගහ මන්දිරයෙන් මුදාහළ දේශපාලන ප්‍රචණ්ඩත්වය ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට හා ඔවුන්ගේම ප්‍රාදේශීය දේශපාලන චණ්ඩීන්ට ද බරපතළ හානි සිදු කර තිබේ. එය විෂම චක්‍රයකි. මංකොල්ලකෑම් කඩසාප්පු විනාශ කිරීම් ඒ ප්‍රචණ්ඩත්වය තුළ සිදු වූ තවත් භයානක දේවල්ය. රාජපක්‍ෂ පවුලේ බලය ගිලිහී යමින් තිබුණත් තවම ගාලු මුවදොර විරෝධතාකරුවන්ගේ ප්‍රතිචාරද ප්‍රබලව නැඟෙයි. ඇත්ත වශයෙන්ම රනිල්ගේ නායකත්වයෙන් ඉදිරියට යන ආණ්ඩුවේ න්‍යාය පත්‍රය කුමක්දැයි මෙතෙක් ප්‍රකාශයට පත් වී නැත. නීතිඥ සංගමය, වෙනත් සිවිල් සංවිධාන මෙන්ම, ආණ්ඩුවෙන් ස්වාධීන වූ අය විසින් ද ඉදිරිපත් කරන ලද කෙටිකාලීන ප්‍රතිසංස්කරණ යෝජනා මාලාවන් කීපයක් ද වේ. ආර්ථිකය ජයගැනීමට අවශ්‍ය දේශපාලන ස්ථාවරත්වය ගොඩනඟා ගත හැක්කේ ද 20 සංශෝධනය අහෝසි කිරීම ඇතුළු ව්‍යවස්ථාදායකය හා අධිකරණය වඩාත් බලගැන්වීමේ පියවරකින්ය. පොලිසිය පත්ව තිබෙන නිවට ස්වරූපයට වහාම පිළියම් යෙදිය යුතුය.

දේශපාලනීකරණය කළ කොඳු නාරටිය බිඳ දැමූ පොලිස් සේවය ගැන එල්ල වූ විවෙචන සුලුපටු නැත. ඒවා පොහොට්ටුවේ හිටපු ඇමැතිවරුන් පළකළ අදහස් වීම ද විශේෂත්වයකි. විමල් වීරවංශගේ නිර්දය විවේචනයට අනුව නම් ගාලු මුවදොර විරෝධතා ප්‍රහාරය වළක්වා ගත නොහැකි වී ඇත්තේ ද අයියා, මල්ලිලාගේ ප්‍රශ්නයකට පොලිසිය මැදිහත් නොවී අහක බලාගෙන සිටීම නිසාය. නැත්නම් පොලිසිය අනුගමනය කළ “ෂේප් න්‍යාය” හෙවත් අහක බලා ගෙන සිටීමේ ක්‍රමය නිසාය. බෞද්ධ ඉතිහාසයේ සඳහන් වන චූලෝදර – මහෝදර සටන ද අයියා සහ මල්ලී අතර ය. ඒ සටනට හේතු වූයේ මැණික් පුටුවක ආරවුලකි. ඒ සටන නැවැත්වීමට බුදුන් වහන්සේ ලංකාවට වැඩම කළ බව ද සඳහන් වේ. එහෙත් නූතන දේශපාලන චූලෝදර මහෝදර සටන ඇති වූයේ අගමැති පුටුව අරබයා බව පෙනී යයි. බුදුන් වහන්සේගේ සසුන භාරව සිටින මහනාහිමිවරුන්ටවත් මැදිහත් වී මේ සටන නැවැත්විය හැකි වූයේ නම් මෙබඳු විනාශයක් ද සිදු නොවනු ඇත. නිසැකයෙන්ම එසේ වී නම් පොහොට්ටුවේ ගව සම්පත කුලප්පු කිරීමට හේතුවක් ද නොවනු ඇත.2022 මැයි 09 වැනිදා ගාලු මුවදොර විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරය ලංකාවේ මෑත ඉතිහාසය තුළ අප දුටු නිර්ලජ්ජිත, චිරශ්චීන, මෘග ක්‍රියාන්විතයකි.

රාජ්‍ය ත්‍රස්තවාදය ලෙස නම් කළ හැකි ඒ ප්‍රහාරය රූපවාහිනී නාලිකාවලින් දුටු සමහරුන්ට ඇතැම් විට දකුණු ඉන්දියානු කසිකබල් දෙමළ චිත්‍රපට සිහිවීමට ද බැරිනැත. නිරායුධ තරුණ තරුණියන්ට ඉවත් බවක් නැතිව පහර දුන් ඒ මැරයන්ගේ දර්ශන, ඡායාරූප මාධ්‍යවල ද පළවිය. එහෙත් හාස්‍ය ජනක කරුණ නම් පොලිසිය ඔවුන් හඳුනාගැනීමට මහජන සහාය පැතීමය. මේ වනවිට පොහොට්ටුවේ ත්‍රාඪචරිත කීපයක් අල්ලා ගත්ත ද ඒ අත්අඩංගුවට ගැනීම් සිදුවන්නේ එපා වාහෙට හොදි බෙදීමේ ක්‍රමයට යැයි පොලිසියට චෝදනාවක් ද තිබේ. පාර්ලිමේන්තුවේදීත් මැති ඇමැතිවරුන්ට හා දේශපාලඥයන්ට එල්ල වූ ප්‍රහාර ගැන දැඩි විවේචන සිදුවුව ද මෙම ගාලු මුවදොර විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාර ගැන ලැබුණේ ඇල්මැරුණු ප්‍රතිචාර බවද ගාලු මුවදොර භූමියේදී පැවැත්වුණු මාධ්‍ය හමුවකදී ප්‍රකාශ විය. ඇත්ත වශයෙන්ම අද දේශපාලනයෙන් ධනය උපයා ගන්නා බවත්, නොයෙක් දූෂණ, කොමිස් ගැහිලි සිදුවන බවත් ජනතාවගේද විශ්වාසයකි. ඒනිසා පොහොට්ටුවේ දේශපාලනඥයන්ට එල්ල වූ ප්‍රහාර ගැන ජනතාව තුළ විශාල කම්පනයක් ද නොවීය. එහෙත් පසුව හෙළි වූයේ ඒ බොහෝ ප්‍රහාර නිර්දෝෂී හා වෛරයේ ප්‍රතිචාර බවය. කුමක් වුවත් කවර පදනමක් යටතේ වුවද එබඳු ප්‍රචණ්ඩ ක්‍රියාවලට කිසිදු පුරවැසියෙක් ලක්විය යුතු නැති බව අපගේ ද දැඩි අවධාරණයයි.කෙසේ වුවද මෙම තරුණ විරෝධතාව සාමකාමී හා යුක්ති සහගත එකක් බවත් එයට රාජ්‍ය ත්‍රස්තවාදය මැදිහත් කරවීමත් මේ ආණ්ඩුව කළ ඓතිහාසික වරදකි. මෙතෙක් හෙළි වූ කරුණු අනුව ද එය අහඹු ප්‍රහාරයක් නොව, සැලසුම්ගත ක්‍රියාදාමයක මුග්ධ ඵලයකි.

පොහොට්ටුවේම ඇතැමුන් ප්‍රකාශ කරන පරිදි එය අයියා – මලෝ දෙදෙනා අතර වූ ගැටුමක අනිටු ඵලයක් ද? කුමක් වුවත් මහින්ද අගමැති ධුරයෙන් බැහැර වූයේ අපේ ජනවහරේ එන යන යකා කොරහත් බිඳගෙන ගිය ආකාරයට ය. අරලියගහ මන්දිරයෙන් තමන්ට තිබෙන ජනබලය කෙබඳුදැයි ජනාධිපති මන්දිරයට පෙන්වා දීමේ වුවමනාවක් නොවූයේ නම් එබඳු පොහොට්ටු සමුළුවක් කැඳවීමට ද අවශ්‍ය නැත. මොනවා වුවත් එහි ප්‍රතිඵල ඉතා බිහිසුණු විය. රාජපක්‍ෂ පවුලේ බල අධිකාරිය ද දෙදරා ගිය අතර, ඔවුන්ගේ දේපළවලට ද ප්‍රහාර එල්ල විය. බලයේ සිටින ජනාධිපතිවරයකුට එබඳු ජනතා ප්‍රතිචාරයක් ලැබීම ද විශ්මිතය.රාජපක්‍ෂ පවුලට එල්ල වී තිබෙන ජනතා විරෝධය ජනාධිපතිවරයාට ද දැනී තිබෙන්නකි. එහෙත් තම සහෝදරයන්ගේ (මහින්ද – බැසිල් දෙදෙනාගේම) දේශපාලන මුග්ධ ක්‍රියාකාරකම්වලට ඔහුට ද වන්දි ගෙවීමට සිදුව ඇති බව ඔහු තේරුම් ගෙන සිටියි. එහෙත් දැන් බෙහෙවින් ප්‍රමාදය. පොහොට්ටුවෙන් බලයට පැමිණියත් ගෝඨාභයට මේ රටේ 69 ලක්‍ෂයක් බලය දුන්නේ ඔහු සුවිශේෂ චරිතයක් ලෙස ජනතාව කල්පනා කළ හෙයිනි. එහෙත් ජනතාව අපේක්‍ෂා කළ රට ගොඩනැඟීමට ඔහු අසමත් විය. ‘සර් ෆේල්’ යැයි ඔහුගේම අනුගාමිකයන්ට පිළිගැනීමට සිදුවිය. කුමක් වුවත්, වරද කොතැනක වුවත් අවසානයේ දී හතර ඝාතෙන් වැටුණු රාජපක්‍ෂවරුන්ට සිදුව ඇත්තේ රනිල් නමැති දේශපාලන පිදුරු ගසේ එල්ලීමටය. එහෙත් ඔහුට හොරුගෝගම, නෝඩීල්ගම,
ගෝඨාගෝගම යන ප්‍රබල සංකේතාර්ථ දනවන තාරුණයන්ගේ සටන්කාමී අපේක්‍ෂාවන්ට උඩින් පැන ගිය හැකිද?

ගාමිණී සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment