අගෝස්තු මාසය ඔබට කෙසේද? – ඔබගේ උපන් ලග්නය අනුව පලාපල

1256

මේෂ ලග්නය
 
 සුබ දින – 19, 20, 21


 ඔබගේ ගෘහ ජීවිතය තරමක් සැනසිලි ස්වභාවයක් ගෙන එන මේ මාසය තුළ දරුවන්ගේ කටයුතු කෙරෙහි විශේෂ සැලකිල්ලක් යොමු කරන බවක් පෙනේ. නමුත් හිටි අඩියේ සිතට මුරණ්ඩු ස්වභාවය ඇතිවීම නම් තවදුරටත් පවතී. මෙතෙක් කරගෙන ගිය රැකියා කටයුතුවල අවහිරතා තවදුරටත් පවතින අතර රැකියා ස්ථානය ආශ්‍රිතව කලකිරීම් සහිත බවක් ද ඇති වේ. මාසයේ 10, 11, 12 යන දිනවල ඒ තත්ත්වය ඉතා තදින් සිතට ඇති වන නිසා අනෙකුත් අය සමග ගැටීම් අවුල් ඇති කර ගන්න එපා. අනෙකුත් අය සමග සුහදව කටයුතු කිරීමට උත්සාහ ගන්න. පවුලේ මංගල කටයුත්තක් සම්බන්ධව තීරණයක් ගැනීමට සුහද හමුවක් නිවසේ සිදු වේ. එහි යම් කිසි ගැටලුකාරී තත්ත්වයක් ද ඇති විය හැක. මාසය මැදදී අතමිට මුදල් ගැවසුනත් අධික වියදම් තත්ත්වයක් ද ඇති වේ. පුණ්‍ය කටයුත්තකට සහභාගි වේ.

වෘෂභ ලග්නය
 
 සුබ දිනය – 15


 ඔබගේ ගෘහ ජීවිතය මේ මාසය තුළ තරමක නොරිස්සුම් ස්වභාවයක් ඇති වන්නේය. බාහිර සමාජමය කටයුතු අධික වීමත් මෙයට හේතු වේ. මේ හේතුව නිසා නිවසේ කටයුතු ප්‍රමාද වේ. රජයේ හෝ පුද්ගලික ආයතනයක රැකියාව කලත් තමන්ට එහි වැඩ කටයුතු අධික වේ. අමතර වගකීම් භාර ගැනීමටත් සිදු වේ. ඒ සමගම රැකියා කටයුතුවල යම් උසස්වීමක් තමන්ට හිමිවන බවක් පෙනේ. ඔබ විවාහ දිවියට පත්වී සිටින අයෙක් නම් මේ මාසයේ 6, 7, 8 යන දිනයන්හි අඹුසැමි සමගිය කඩවීමත් සමග ගැටුමක් ඇති විය හැක. ඔබගේ අනියම් හැසිරීමක් මෙයට හේතු වේ. විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින අයෙක් නම් තිබෙන සබඳතාවය රැක ගන්න. අතමිට නිතර මුදල් ගැවසීම සිදු වේ. ඉතිරි කර ගැනීම නම් අපහසු වේ. අනවශ්‍ය වියදම් සීමා රහිතව සිදු වේ.

මිථුන ලග්නය
 
 සුබ දිනය – 17 දා


 අගෝස්තු මාසය තුළ ඔබගේ ගෘහ ජීවිතය මධ්‍යස්ථ ස්වභාවයකින් සිදු වේ. අටවැන්නේ සෙනසුරුගෙන් යම් යම් බාධා නිවසේ කටයුතුවලට එල්ල වන නමුත් ඒවා එතරම්ම දුරදිග නොයනු ඇත. රැකියා කටයුතු සුපුරුදු පරිදි කර ගැනීමට ඉඩ ලැබෙන අතර හිටි අඩියේ සිදුවන බාධාවන්ට ද මුහුණ දීමට සිදු වේ. ඒවා මැඩ පවත්වාගෙන යෑමේ හැකියාව ඔබට ලැබේ. ඔබ විවාහ වී සිටින අයෙක් නම් අඹුසැමි සමගියට සුළු බාධා හිරිහැර ඇති වන්නේ දෙදෙනාගේ කතාබහේදීය. ඒ නිසා සංවර ලෙස හැසිරෙන්න. විවාහ බලාපොරොත්තු වන අය සබඳතා පවතී නම් ඒවා ආරක්ෂා කර ගන්න. වම් පාදයක වාත රෝග තත්ත්වයක් ඇති වේ. එදිනෙදා වියදමට මුදල් අතමිට ගැවසේ. වියදම ද බොහෝ අධික වේ. මුදලක් සම්බන්ධ අපවාද චෝදනා අසන්නට සිදු වේ. කෙසේ නමුත් අගෝස්තු මාසයේ 21 න් පසුව ඔබට යහපත් කාලයකි.

කටක ලග්නය
 
 සුබ දිනය – 19, 20


 ඔබගේ ගෘහ ජීවිතය මුළු ගැන්වීමේ ස්වභාවය නිතර පවතී. නිවසේ දියුණුව සම්බන්ධ උනන්දුව ද බොහෝදුරට අඩුය. කිසිම තේරුමක් නැති අනවශ්‍ය දෙයට මුදල් වියදම් කරනු ඇත. මාසයේ මුල් දින කීපය තුළ මේ තත්ත්වය තිබුණත් ක්‍රමයෙන් දෙවෙනි සතියේ සිට මෙම තත්ත්වය වෙනස් වෙමින් සුබදායි තත්ත්වයට පත් වේ. ගෙදර දොරේ කටයුතු සඳහා අමුතු උනන්දුවක් ක්‍රමයෙන් ඇති වේ. කරන

 රැකියා කටයුතු බාහිර වශයෙන් වැඩි වීමක් සිදු වේ. ව්‍යාපාරික අංශයේ නම් දුර ප්‍රදේශවල යෑමට සිදු වේ. විවාහ කටයුතු තීරණයන් ප්‍රමාද විය හැක. නව සබඳතාවලට ගැටලු ඇති වේ. අකමැතිවීම් සිදු වේ. දැනට විවාහක අඹුසැමියන් අතරේ ගැටලු ඇති වේ. අගෝස්තු 10 න් පසුව අතමිට මුදල් සරුවේ. ඒ අනුව යම් සැනසීමක් ටික දිනකට හෝ ලැබේ. පුණ්‍ය කටයුත්තක් සඳහා සිත යොදවන කාලයකි.

සිංහ ලග්නය
 
 සුබ දිනය – 29


 සිංහ ලග්නය හිමි ඔබට මෙම අගෝස්තු මාසය ගෘහ ජීවිතය මිශ්‍රපල දායක බව පෙනේ. සාමාන්‍ය පරිදි නිවසේ අත්‍යවශ්‍ය කටයුතු සිදුවෙමින් කාලය ගත වේ.

 රැකියා කටයුතු ද බාධාවකින් තොරව කර ගෙන යනු ඇත. කෙසේ නමුත් මාසයේ අග කොටසේදී රැකියා කටයුතුවලට බාධා එන අසනීප ස්වභාවයක් මතු විය හැක. ඒ නිසා තරමක අපහසුතා ඇති වේ. විවාහ වයසේ සිටින අයෙක් නම් ඒ සම්බන්ධව යම් ගැටලුවක් මතු විය හැක. තමන්ගේ සම්බන්ධතාවකට අකුල් හෙලීමක් නිසාය. 21 දායින් පසුව අතමිට නිතර මුදල් සැරිසරන අතර වියදම ද වැඩි වේ. දරුවකුගේ අසනීප වීමක් මත වියදම් අධික වේ. ඒ ගැන කල්පනාවෙන් සිටින්න. තමන් දැනට කරන රැකියා කටයුතුවලට අමතරව වෙළදාම් කටයුත්තක් කෙරෙහි මගක් නෑදෑයකුගේ මාර්ගයෙන් සිදු වේ.

කන්‍යා ලග්නය
 
 සුබ දිනය – 25 දා
 

 අගෝස්තු මාසයේ ඔබගේ ගෘහ ජීවිතය ද තදබල අසහනයකින් තොරව සාමාන්‍ය පරිදි ගත කිරීමට හැකියාව ඇත. නමුත් සහෝදරයකුගේ මුරණ්ඩු හැසිරීමක් නිසා ඒ සඳහා අත දැමීමට සිදුවීම ඔබට තරමක අසහනයකි. රැකියා කටයුතුවල යම් සහනදායී බවක් මේ මාසයේ සිදු වේ. ඒ අතරම නිතර අතමිට මුදල් ගැවසීම ද මේ මාසයේ මැද සිට සිදුවන අතර වියදම් තත්ත්වය සීමා කරගතහොත් මුදලක් ඉතිරි කර ගැනීමට පුළුවන. ඔබගේ විවාහ ජීවිතය ද මෙම මාසයේ තරමක විමසිලිමත්ව ගත කිරීමට උත්සාහ ගන්න. විශේෂයෙන් 10 දායින් පසුව, ක්‍ෂණිකව ගැටීම් ඇති විය හැක. හදිසි තුවාල පීඩාවක් ඇති වීමට හේතු වන බැවින් වාහන පැදවීම ප්‍රවේශමෙන් සිදුවිය යුතුය. සෙම් රෝග තත්ත්වයක් ද බලපාන බව පෙනේ. විශේෂයෙන් අධික හිසරදයක් මතුවිය හැක.

තුලා ලග්නය
 
 සුබ දිනය – 20


 කේතු ලග්නගතව සිටින බැවින් ගෘහ ජීවිතය නිතර හුදකලා වේ. මුළුගැන්වී සිටීමට බොහෝ අවස්ථාවල සිදු වේ. මධ්‍යස්ථ සුබදායී බවක් මුළු අගෝස්තු මාසයම පවතී. රැකියා කටයුතු ද දුර්වල ස්වභාවයකට පත්වීම තවදුරටත් පවතී. ඒ කේතුගේ ග්‍රහණයට ලක්වීම නිසාය. කෙසේ නමුත් තැන්පත් ධනය තමන්ගේ ඉදිරි දියුණුව සඳහා යම් වැඩකට යොමු කිරීමට සිතෙන මාසයකි. කල්පනාවෙන් එය කළොත් අනාගතය දිනුම්. දැනට විවාහ ජීවිතය ගත කරන අයෙක් නම් මේ මාසය තුළ හැකි තරම් ඉවසිලිවන්තව දෙදෙනා අතර සුහදතාවය රැක ගන්න. විවාහය සඳහා දැනට සබඳතා පවත්වා ගෙන යන අයෙක් නම් එය ආරක්ෂා කර ගන්න. ගුරු රෝගස්ථාන ගතවී සිටින බැවින් මුත්‍රා රෝග ආදියෙන් ප්‍රවේශම් වන්න. වැඩිපුර සීනි මිශ්‍ර ආහාරවලින් වළකින්න.

වෘශ්චික ලග්නය
 
 සුබ දින – 29, 30


 වෘශ්චික ලග්නය හිමි ඔබගේ ගෘහ ජීවිතය අගෝස්තු මාසය තුළ සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යෑමට හැකියාව ඇත. පිනට දහමට සිත ඇදී යන මාසයකි. කරන රැකියා කටයුතුවල කාර්යබහුල වීමක් මාසයේ 17 වැනිදා සිට ඇති වන බව පෙනේ. රැකියාව ආශ්‍රිව යම් මුදලක් මාසික පඩියට අමතරව ලැබෙන බව ද කිව යුතුය. විශේෂයෙන් මාසයේ 21 දායින් පසුව අතමිට සරු වේ. වියදම සීමා කර ගන්න. ඔබ දැනට විවාහ ජීවිතය ගත කරන අයෙක් නම් දෙදෙනාම යම් පුණ්‍ය කටයුත්තකට සිත යොමු කරන මාසයකි. විවාහ නොවී සිටින අයෙක් නම් විවාහ සබඳතාවය සඳහා සිත යොමු වේ. විවාහ දිවියට පත් වූ නව යුවළක් නම් දරු සම්පතක වාසනාවක් ළඟ එන බව පෙනේ. තමන්ට මෙතෙක් තිබුණ සතුරු බලපෑමක් ක්‍රමයෙන් අඩු වී මැඩ පැවැත්වෙනු ඇත. මේ මාසයේ සෞඛ්‍ය තත්ත්වයේ වැඩි ගැටලුවක් ඇති නොවේ.

ධනු ලග්නය
 
 සුබ දින – 29, 30


 නිවසේ කටයුතු බාධාවකින් තොරව සාමකාමී තත්ත්වයකින් සිදුවන අතරම නිවසට අලුත් කොටසක් කාමරයක් එකතු කිරීමට ද සිතක් පහළ වේ. ඒ අනුව ගෘහ ජීවිතයේ සුළු වෙනසක් සිදු වේ. එසේ වූවත් දරුවකුගේ මුරණ්ඩු හැසිරීමක් නිසා සිතට පීඩාව ගෙන දීමක් ඇති වේ. එය ඉමහත් ගැටලුවකි. මාසය අගදී එනම් 21 න් පසුව කරන රැකියා කටයුතුවල වැඩ අධික වීමක් සිදු වේ. ඒ අනුව මාසයේ පඩිපතට වාසියක් ඇති විය හැක. අතමිට මුදල් තමන්ගේ වියදමට සරිලන පරිදි ගැවසීමක් සිදු වේ. කෙසේ නමුත් සෙනසුරුගෙ ඒරාෂ්ඨකයක් ගත කරමින් සිට එය අවසන් වී තිබුණ නමුත් නැවතත් ඔබට එම තත්ත්වය ජුලි 12 සිට ලැබූ බව අමතක නොකළ යුතුය. එම නිසා මෙම අගෝස්තු මාසය ආගමික පැවැත්ම වැඩිපුර යොදා ගන්න. ඔබ විවාහ ජීවිතයට සබඳතාවක් පවතී නම් එහි යම් ගැටලුකාරී බවක් ඇති විය හැක. විමසිල්ලෙන් එය විසඳා ගන්න. ලෙඩ රෝග සම්බන්ධව බැලීමේදී මුත්‍රා අමාරු අර්ශස් රෝග මතු විය හැක.

මකර ලග්නය
 
 සුබ දිනය – 19


 මකර ලග්නය හිමි ඔබගේ ගෘහ ජීවිතය මෙම අගෝස්තු මාසය තුළ නිතර කලකිරුණ ස්වභාවයක්, මුරණ්ඩු සිතක් පහළවීමක් පවතී. අනෙකුත් අය කෙරෙහි කිසිම පැහැදීමක් නැත. රැකියා කටයුතු ද කරන්නෙ කිසිම ආසාවකින් නොවේ. රැකියා කටයුතුවල වැඩි දියුණුවක් ද නැත. කෙසේ නමුත් මාසය අග වනවිට ඉහත දුර්වලතා ක්‍රමයෙන් අඩු වීමක් සිදු වේ. තමන්ගේ ක්‍රියාකාරි ස්වභාවය ද තරමක් දියුණු වේ. ඔබ දැනට විවාහ ජීවිතය ගත කරන අයෙක් නම් මාසයේ මුල් සතියේ සිට සමගිය ආරක්ෂා වෙන ආකාරයට දෙදෙනාම කටයුතු කරන්න. විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින අයෙක් නම් සබඳතාවය ආරක්ෂා කර ගන්න. තැන්පත් ධනය වැය වෙනවා විනා වෙනත් හදිසි ලැබීම් නැති නිසා අයවැය පාලනය කර ගන්න.

කුම්භ ලග්නය
 
 සුබ දින – 19, 20


 කුම්භ ලග්නය හිමි ඔබගේ ගෘහ ජීවිතය ගැන බැලීමේදී අගෝස්තු මාසය තුළ යම්කිසි ව්‍යාකූල ස්වභාවයක් ඇති වන බව පෙනේ. මාසයේ මැද සිට නිතර කෝපකාරි සිතුවිලි මතුවිය හැක. ඒ අනුව ගැටුම් පවා නිර්මාණය විය හැක. නෑදෑ සතුරු වීමක් හේතුවෙන් ගෙදර ජීවිතය අවුල් සහිත වේ. ඔබගේ දරුවකුගේ ගැටලුවක් මේ අතරට මුල් වේ. ඒ අනුව රැකියා කටයුතු ද හරියාකාරව කරගත නොහැකි තත්ත්වයක් උදා වේ. ඔබගේ විවාහ කටයුතු මෙතෙක් සිදු වී නැති නම් ඒ සම්බන්ධ දැඩි තීරණවලට එළඹෙන මාසයකි. කෙසේ නමුත් ඒවා කල්පනාකාරිව කටයුතු කරන්න. ඔබගේ දැනට තැන්පත් ධනයක් මුදලක් තිබේ නම් ඒවා ක්‍රමයෙන් හීන වන අතරම ලැබීම අඩු වේ. ඒ නිසා කල්පනාවෙන් කටයුතු කරන්න. ශාරීරික වෙහෙස අධික වන අතර පපුවේ අමාරුවක් ද මතු වන බව පෙනේ.

මීන ලග්නය
 
 සුබ දින – 22, 23


 මීන ලග්නයේ ඔබට කලකට පසු සුබදායක මාසයකි මෙම අගෝස්තු මාසය. ගෘහ ජීවිතය සාමකාමී පරිසරයක් පවතී. වැඩි වැඩ නැතත් සිතට අමුතු පිබිදීමකින් කාලය නිවසේදී ගෙවේ. තමන්ගේ රැකියා කටයුතුවල උනන්දුවෙන් යෙදෙන මෙම මාසයේ අග කොටසේදී තරමක අපහසුතා ගැටලු ඇති වේ. අතමිට මිල මුදල් සාමාන්‍ය පරිදි ගැවසේ. වියදම නම් පාලනය කළ නොහැක. ක්‍ෂණික වියදම් මතු වේ. විවාහ සබඳතා තීරණ ගැනීමට සිදු වේ. අලුත් දේ ඉගෙනීමට ආසාවක් ඇති වන මාසයකි. ශාරීරික රෝග තත්ත්වයක් තදබල ලෙස නැත. නමුත් ඉඳහිට සෙම ආශ්‍රිතව අපහසුතා ඇති වේ. විශේෂයෙන් මාසයේ 21, 22 ප්‍රවේශම් වන්න.

 අගෝස්තු මාසයේ ලංකා කේන්ද්‍රය අනුව බැලීමේදී දැනට පවතින ආර්ථික, සමාජයීය, දේශපාලන ගැටලු තවදුරටත් පවතී. විපක්ෂය තරමක් දුර්වල වන බව පෙනේ.

● ජ්‍යොතිර්වේදී
 ජේ. ගුණපාල
 170, පාදුක්ක පාර,අමරණාගොල්ල,
 හොරණ.
 දු.අංකය – 0774 347 574

advertistmentadvertistment
advertistmentadvertistment