අගෝස්තු 09 අභියෝගය

720

ආර්ථික – දේශපාලන – සමාජීය අර්බුදය තීව්‍රය. අතිශය තීරණාත්මකය. දේශපාලන අවුල තවදුරටත් වර්ධනය වෙමින් පවතී. පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ එයින් පිටත කණ්ඩායම් ජුලි 09 දින ‘අරගලය‘ ලබා ගත් ඓතිහාසික ජයග්‍රහණය තහවුරු කර ගැනීමට තවදුරටත් උත්සාහ කරමින් සිටී.

භූමියේ සැබෑ තත්ත්වය තේරුම් ගැනීමට ජුලි 09 දින ජයග්‍රාහකයන් කවුරුදැයි හඳුනාගත යුතුයි. ‘අරගලයට‘ නායකත්වය සහ ඊට ආධාර, අනුබල සහ දේශපාලන ශක්තිය ලබා දුන් කණ්ඩායම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පලවා හැරීමෙන් විධායක ක්‍රමයට එල්ල කළ ප්‍රහාරය සුළුපටු නැත. එය සැබැවින්ම ජයග්‍රහණයකි.

නමුත් ඔවුන් අත්පත් කරගත් ජයග්‍රහණය පොහොට්ටු පක්ෂයේ පූර්ණ ආශිර්වාදය මැද භුක්ති විඳින්නේ එජාප නායක රනිල් වික්‍රමසිංහය. එජාප නායකයාගේ පැමිණීම ‘අරගලයට’ ඉවසුම් නැත. වික්‍රමසිංහ ජනාධිපතිවරයා විධායක ධුරය ස්ථාවර කර ගැනීමේ මාරාන්තික සටනක් දී සිටී. දේශපාලන පිටියේ මෙන්ම ‘අරගලයට’ එරෙහිව හමුදාමය, නීති සහ බුද්ධි මෙහෙයුම් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ක්‍රියාත්මක කර ඇත. අරගලකරුවන් සති ගණනාවක් තිස්සේ පාලනය කළ ජනාධිපති ලේකම් කාර්යාලයේ පිවිසුම් මාර්ගය හමුදාමය ක්‍රියාමාර්ගයක් තුළ තමන් යටතට ගැනීම ජනාධිපතිවරයාගේ ශක්තිය අවධාරණය කිරීමකි. ඒ ඇමෙරිකානු විරෝධතාද නොතකාය.

වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෙන්ම අදාළ සියලුම පාර්ශ්ව වර්තමාන සටන් භූමිය තේරුම් ගත යුතුය. ශ්‍රී ලංකාව බංකොලොත් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර ඇති බව සිහියේ තබාගෙන සියලුම පාර්ශ්ව වලට කටයුතු කිරීමට සිදුවනු ඇත. පැරණි පුරුදු පොරොන්දු දේශපාලනය කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු පාර්ශ්වයකට නොහැකිය. ඒ රට බංකොලොත් නිසාය. හත්වන විධායක ජනාධිපති ලෙස 2019 නොවැම්බර් මාසයේ 17 දින අනුරාධපුරයේදී දිවුරුම් දුන් ගෝඨාභය රාජපක්ෂ 2022 ජුලි 13 දින රටින් පිටවූයේ විධායකය රනිල් වික්‍රමසිංහට භාර කරමිනි. එය පාර්ලිමේන්තු ක්‍රමය තුළ ස්ථාවර කර ගැනීමට වික්‍රමසිංහ සමත් වී ඇත. ඒ නව ජනාධිපතිවරයා පොහොට්ටු පක්ෂය සමග කසාදයකට ඇතුළු වීම නිසාය. පොහොට්ටු – වික්‍රමසිංහ කසාදයේ ස්වාමියා කවුරුදැයි තීරණය කිරීම ජනතාව සතුය.

වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ පොහොට්ටු පක්ෂය අතර දේශපාලන උපක්‍රම සහ ‘අරගලයට‘ එරෙහි ආරක්ෂක මෙහෙයුම් සම්බන්ධයෙන් පරස්පර විරෝධතා තිබිය හැකිය. එම තත්ත්වය බලාපොරොත්තු විය යුතුය. එය පුදුම වියයුතු කාරණාවක්ද නොවේ. නමුත් මෙහිදී වඩාත් අවධාරණය කළ යුතු වන්නේ දෙපාර්ශ්වය අතර මූලික එකඟතා මොනවාද? එම තීන්දු තීරණ බංකොලොත් ශ්‍රී ලංකාව නැවතත් යථා තත්ත්වයට පත් කිරීමට කුමන ආකාරයේ අභියෝගයක් වේද? ජනාධිපතිවරයා සහ පොහොට්ටු නායකත්වය අතර ප්‍රධානතම එකඟතාව පැහැදිලිය. එනම් ගෝඨාභය රාජපක්ෂ හිමිකරගත් වසර 5 ක ජනාධිපතිධුර කාලය වික්‍රමසිංහ සම්පූර්ණ කිරීමයි. සමස්ත පොහොට්ටු-වික්‍රමසිංහ දේශපාලන අවබෝධය එම තත්ත්වය මත රඳා පවතින බව අමුතුවෙන් කිවයුතු නැත.

දේශපාලන ස්ථාවරය ඇති කිරීමට හදිසි මහා මැතිවරණයක් බලකර ඉල්ලා සිටින ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙකුත් පක්ෂ මෙන්ම එයින් පිටත කණ්ඩායම්ද පොහොට්ටු පක්ෂය සහ වික්‍රමසිංහ අතර ඇතිවී තිබෙන අවබෝධය නොතකා කටයුතු කිරීම නිශ්ඵල ක්‍රියාවකි.

මහා මැතිවරණයක් කාගේ වුවමනාවක් වුවත් එය ජනාධිපතිවරයාගේ සහ බලය තහවුරු කරගනිමින් සිටින පොහොට්ටු පක්ෂයේ අවශ්‍යතාව නොවේ. පාර්ලිමේන්තුවේ එක ආසනයක් පමණක් හිමි එජාපයට තවත් ජන්ද 133 ලබා දී ජනාධිපති පුටුව හිමිකර දුන් බහුතර මන්ත්‍රී කණ්ඩායමට කිසිසේත් හදිසි මහා මැතිවරණයකට මුහුණ දීමේ අවශ්‍යතාවක් නැත. ජුලි 20 වන දින පැවති ගෝඨාභය රාජපක්ෂ 2019 නොවැම්බර් 17 දින හිමිකරගත් වසර 5 න් ඉතිරි කාලයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කිරීමට මන්ත්‍රීවරයෙකු තෝරාගත් කණ්ඩායමට අවශ්‍ය තමන් 2020 අගෝස්තු මහා මැතිවරණයේදී දිනාගත් වසර 5 ක කාලය සම්පූර්ණ කිරීමයි. පැහැදිලි යථාර්ථය එයයි.

නමුත් මහා මැතිවරණයක් බලකරන දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වල ඉල්ලීම නොසලකා කටයුතු කිරීමද ඥානාන්විත නොවේ.

පොහොට්ටු පක්ෂයේ අති බහුතරය සහ සමගි ජන බලවේගයේ කොටසක් වික්‍රමසිංහට ජුලි 20 දින සිය ජන්දය දීම සහ ජුලි 27 පැවති හදිසි නීතිය දීර්ඝ කිරීම යෝජනාව වැඩි ජන්දයෙන් සම්මත කිරීම අවධාරණය කරන්නේ මහජන නියෝජිතයන්ට මහා මැතිවරණයක් අවශ්‍ය නොවන බවයි. එලෙසෙම වික්‍රමසිංහ ජනාධිපතිවරයා අරගලය මැඬ පැවැත්වීමට ගන්නා ක්‍රියා මාර්ගවලට තමන්ගේ සහයෝගය හිමිවන බවයි. පාර්ලිමේන්තුව කථා කර ඇත.

අරගලයට සම්බන්ධ වූ පිරිස් විසින් තමන්ගේ දේපළ විනාශ කිරීම සහ පොලොන්නරුව දිස්ත්‍රික්ක පොහොට්ටු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහ මග මරා දැමීම නොසලකා හදිසි නීතියට එරෙහිව ජන්දය පාවිච්චි කිරීම දේශපාලනික කාරණාවකි.

පොහොට්ටුවෙන් පත්වූ සහ පත්කළ එම කණ්ඩායම තමන්ගේ දේශපාලන ස්ථාවරය පසුගිය බ්‍රහස්පතින්දා කොළඹ ජානකි හෝටලයේ පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය. නමුත් පොහොට්ටු පක්ෂයේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් සහ පැරදුනු ජනාධිපති අපේක්ෂක ඩලස් අලහප්පෙරුම ගේ නායකත්වයෙන් පැවති එම මාධ්‍ය හමුවේ දී එම පක්ෂයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අවධානය යොමු විය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාද හදිසි නීතියේ පිහිට පැතූ බව අමතක කරමින් ඔහුගේ අනුප්‍රාප්තිකයා ගත් එම ක්‍රියාමාර්ගයම දෝෂාරෝපණයට ලක් කිරීම සුදුසු නැත. පොහොට්ටුවේ කැරලිකාර කණ්ඩායම බරපතළ අර්බුදකාරී තත්ත්වයකට පත් වී ඇත.

වික්‍රමසිංහ ජනාධිපතිවරයා තමන්ට එල්ලවන දේශපාලන මෙන්ම ජීවිත තර්ජනවලට මුහුණ දෙන ආකාරය ගෝඨාභය රාජපක්ෂ ගත් ක්‍රියාමාර්ග සමඟ විමසා බැලිය යුතුය.

වික්‍රමසිංහ ජනාධිපතිවරයා හදිසි මහා මැතිවරණයක් කිසිසේත්ම කැඳවන්නේ නැති බවට එතුමන් ගත් ස්ථාවරය මත ක්‍රියා කරනු ඇත. එම ස්ථාවරය පොහොට්ටු පක්ෂයේද මතය බැවින් ඉදිරි දේශපාලනික ක්‍රියාමාර්ග ඒ අනුව ගනු ඇත.

සමගි ජන බලවේගය මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අරගලයට සම්බන්ධ වූ ක්‍රියාකාරීන් නැවතත් කොළඹට අගෝස්තු 09 දින කැඳවීම ප්‍රබල තර්ජනයකි. ඒ වික්‍රමසිංහ ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීමටය. එම අභියෝගය ද්‍රවිඩ ත්‍රස්තවාදය පැරදවූ ජයග්‍රාහී සෙන්පතියා පාර්ලිමේන්තුවේදී එල්ල කළේ වික්‍රමසිංහ ජනාධිපතිවරයාට පමණක් නොවේ. පොහොට්ටු පක්ෂයේ බහුතර කණ්ඩායමට මෙන්ම ඔහුගේ පක්ෂය නියෝජනය කරමින් ජුලි 20 පැවති රහස් ජන්දයේදී වික්‍රමසිංහට ජන්දය දුන් සැමටම කළ අභියෝගයකි. ෆීල්ඩ් මාර්ෂල්වරයා කළ අභියෝගය සැබෑවක් කර ගැනීමේ ශක්තිය ‘අරගලයට‘ තව දුරටත් තිබේද? තව දින නමයකින් නව ජනාධිපතිවරයා පලවා හැරීමට අවශ්‍ය පිරිස් බලය කොළඹට රැස් කිරීම මෙන්ම එම තර්ජනය ව්‍යර්ථ කිරීමද අතිශය අභියෝගාත්මක තත්ත්වයන් බව දෙපාර්ශ්වයම දනී.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

advertistmentadvertistment
advertistmentadvertistment