බටහිර විද්‍යාඥයන් විසින් අඟහරු ග්‍රහයා තුළ තිබෙන දියර ජලය සහිත ජලාශයක් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
අඟහරු ග්‍රහයාගේ පාෂාණමය කොටසෙහි ගැඹුරින් පිහිටා තිබෙන මෙම ජලාශය සොයා ගෙන ඇත්තේ 2018 වසරේදී එම ග්‍රහයා මතට ගොඩබා ඇති නාසා ආයතනයේ ‘මාස් ඉන්සයිට් ලැන්ඩර්’ නමැති යානය විසින් රැස් කරගෙන ඇති දත්ත විශ්ලේෂණය කිරීමේදීය.
අඟහරු ග්‍රහයා තුළ පවතින ජලය ගලාගෙන යන්නේ කුමන ස්ථානයකටදැයි යන්න ගැටලුවක් බව එම ග්‍රහයා සම්බන්ධයෙන් නාසා ආයතනය සිදු කරන පර්යේෂණවලට දායක වන ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මයිකල් මන්ගා පවසයි.
අඟහරු ග්‍රහයා මත තවත් ජලාශ ගණනාවක් පැවතිය හැකි බවත් අතීතයේ එම ග්‍රහයා මත ගංගා හා විල් පැවැති බවට සාක්ෂි හමු වී ඇති බවත් විද්‍යාඥයෝ පවසති. කෙසේ වුවද පසුගිය වසර බිලියන තුනක කාලයේදී අඟහරු ග්‍රහයා පැවතී ඇත්තේ කාන්තාරයක් ලෙස බවත් හෙළි වී තිබේ.
අඟහරු ග්‍රහයා මත දියරමය ජලය සහිත ජලාශයක් තිබී සොයා ගැනීම එම ග්‍රහයා තුළ මිනිසාට ජිවත් විය හැකිද යන්න පිළිබඳව සිදු කෙරෙන අධ්‍යයනවලට ඉතා වැදගත් වන බව පෙන්වා දෙන මහාචාර්ය මයිකල් මන්ගා මෙතෙක් සිදු කළ අධ්‍යයනවලදී අඟහරු ග්‍රහයා තුළ මිනිසාට ජීවත් වීමට සුදුසු පරිසරයක් පවතී නම් එය තිබිය යුත්තේ මේ ග්‍රහයාගේ පොළව යට ගැඹුරු ප්‍රදේශයක බව අනාවරණය වී ඇති බව අවධාරණය කර තිබේ.
ඒමන්ති මාරඹේ