අච්චාරු සමාජය සහ ප්‍රේමදාස පුරාවෘත්තය

1982

නැසීගිය නොහොත් මහ පාරේදී අමු අමුවේ ඝාතනය කරන ලද හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ ජන්ම දින සමරුවක් ළඟදී පැවැත්විණ. ආර්. ප්‍රේමදාස මහතාගේ එකම පුත්‍රයා වූ සජිත් ප්‍රේමදාස ද මෙම සමරුවට සහභාගී විය. එම අවස්ථාවේදී ඔහු ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමා පිළිබඳව වැදගත් මතක් කිරීම් කිහිපයක් කළේය. සජිත් කියා සිටියේ සිය පියා ජනාධිපතිකම් කළ යුගයේදී වැඩ වර්ජන, විරෝධතා, තෙල් පෝලිම්, ගෑස් පෝලිම් යනාදිය මේ රටේ නොතිබූ බවයි. සජිත්ගේ කතාව යම් ප්‍රමාණයකට සැබෑය. ප්‍රේමදාස යුගයේදී වැඩ වර්ජන සහ විදුලි සැපයීම කඩාකප්පල් කිරීමේ අවස්ථා කිහිපයක් සංවිධානය කළද ඒ කිසිවක් කර ගැනීමට ඒවා සංවිධානය කළ අයට ඉඩ ලැබුණේ නැත. එවැනි කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා රන්ජන් විජේරත්න නමැති හිටපු හමුදා ජෙනරාල්වරයෙක් ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ඇමැති මණ්ඩලයේ කටයුතු කළේය. රන්ජන් විජේරත්න විශ්‍රාමික හමුදා ජෙනරාල් කෙනෙකි. 88, 89 භීෂණයේදී ජනතා විමුක්ති පෙරමුණ සහ සන්නද්ධ අංශය වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය බිමටම සමතලා කර එම භූමියේ ටී 56 තුවක්කු සිටුවා සාමයේ පරවියන් එම තුවක්කු මත හිඳුවීමට රන්ජන් විජේරත්නට හැකි විය.

ජනාධිපති ආර්. ප්‍රේමදාසගේ ආණ්ඩුව ඉතාම භීෂණකාරී වුවද ආර්. ප්‍රේමදාස යනු කෲර මිනිසෙක් නොවීය. හුදකලාව ජීවත් වූ දේශපාලනඥයකු වූ ඔහු සාමාන්‍ය ජනතාව වෙනුවෙන් එතෙක් මෙතෙක් වැඩියෙන්ම පෙනී සිටි ජනාධිපති විය. දේශපාලනය යනු මොනතරම් ගඳ ගහන කුණු ගොඩක්ද යන්නත් එම කුණු ගොඩ පිරිසිදු කිරීමට එන පුද්ගලයාට ඉතා දරුණු ලෙස දේශපාලන ගුටි කෑමට සිදුවන බවත් ජනාධිපති ප්‍රේමදාස දැන සිටියේය. එබැවින් සජිත් ප්‍රේමදාස දේශපාලනයට එනු දැකීම ආර්. ප්‍රේමදාසට කිසිසේත්ම නොරිසි විය. ජනාධිපති ප්‍රේමදාසට අවශ්‍යව තිබුණේ සජිත් ප්‍රේමදාස එංගලන්තයට යවා උසස් අධ්‍යාපනයක් ලබා දී වෘත්තීය ජීවිතයක් සඳහා යොමු කිරීමය. එහෙත් සජිත් වෘත්තීය ජීවිතයකට යොමුවීමට පළමු ජනාධිපති ප්‍රේමදාස ඝාතනය විය. ප්‍රේමදාස අත්හැර දැමූ ඉරණම ඉන්පසු සජිත් පසුපස පන්නා ගොස් ඔහු දේශපාලනයට ඇද දැමීය. සජිත්ට වුවද මුල් යුගයේදී දේශපාලනය ගැන කිසිදු දැනුමක් නොවීය. එහෙත් ඉරණම හැමදේටම වඩා බලවත්ය. ආර්. ප්‍රේමදාස යනු සාමාන්‍ය මිනිසුන් අතරින් පැමිණි යමක් කමක් තිබූ පවුලක දරුවෙකි. ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලැබූ ඔහු තරුණ වියේ සිටම භාෂා දෙකම හසුරුවමින් ප්‍රජා සේවක ජීවිතයකට අවතීර්ණ විය. ඔහුගේ දේශපාලන ගමන දුටු කොළඹ සමාජය නිතරම කල්පනා කළේ ඔහු විනාශ කර දමන ක්‍රමයකි.

නාගරික මන්ත්‍රීවරයකු ලෙස ප්‍රේමදාස ජීවිතය පටන් ගත් දවසේ සිටම කොළඹ නාගරික සමාජය ඉතා නරක ලෙස ඔහුට හිංසා කළේය. මේ හිංසාවල නිමක් නැත. එහෙත් ප්‍රේමදාස ඔරිජිනල් පිත්තලෙන් සෑදු නියම වෙඩි උණ්ඩයක් සේ කිසිම ඇඹරීමකින් තොරව දීර්ඝ දේශපාලන ගමනක නිරත විය. ඔහු අගමැති වූ පසු කොළඹ ඉහළ පංතිය එය ඉවසුවේ නැත. ජේ. ආර්. ජයවර්ධන ඔහුට ජනාධිපති ධුර අපේක්ෂකත්වය ලබා දුන්නේ කර කියා ගන්නට දෙයක් නොතිබූ විටය. ජේ. ආර්. එම ධුරය සඳහා සිතේ තබාගෙන සිටියේ ගාමිණි දිසානායක සහ ලලිත් ඇතුලත්මුදලි යන නම් දෙකය. එයට හේතුව ජේ. ආර්. ජයවර්ධනගේ ඉහළ පන්ති පදනම හා සමාන පන්ති පදනමක් ඇතුලත්මුදලි සහ ගාමිණී දිසානායක සතුවද පැවතීමය. ජේ. ආර්. මෙන්ම ඒ දෙදෙනා ද එංගලන්තයේ උගත් අය වූහ. එහෙත් ජේ. ආර් ට නොතිබූ ලොකු සුදුසුකමක් ප්‍රේමදාසට විය. ඒ වූ කලී ජන පදනමය. ආර්. ප්‍රේමදාස සතුව තිබූ ජන පදනම කොළඹ හතේ පන්ති පදනම සුනු විසුණු කළ හැකි තරම් බලගතු වූවකි. ආර්. ප්‍රේමදාස මේ රටේ අගමැති වීම, ජනාධිපති වීම සහ මැරුම්කෑම යන කාරණා තුනම පිටුපස මෙකී පන්ති පදනම තිබේ. ජනතාව තමා සමග සිටිතැයි නිතර කල්පනා කළ ජනාධිපති ප්‍රේමදාස නිතරම සෙනග අතර ගැවසුණේය. තමන් සාමාන්‍ය ජනතාව සමග සිටින්නකු නිසා කිසි කලකත් ජනතාව වෙතින් තමන්ට හානියක් වනු ඇතැයි ඔහු කල්පනා කළේ නැත.

ජනාධිපති ප්‍රේමදාසගේ දේශපාලන සංකල්ප හැමවිටම ප්‍රායෝගික විය. ඔහු නිවාස දස ලක්ෂයක් ඉදිකොට ඒවා දිළිඳු ජනතාවට ලබා දීමට සැලසුම් කළේය. සිය බල කාලය තුළ ගම් උදාව නමැති නාමය යටතේ ඔහු සෑදූ ගෙවල් ප්‍රමාණය සෑදීමට මෙකල කයිවාරු කෙළින එකම දේශපාලනඥයකුටවත් හැකියාව ලැබී නැත. දැනට මේ රටේ දිළිඳු ජනතාවට ලැබෙන සමෘද්ධි සහනාධාරය අගමැති ආර්. ප්‍රේමදාස විසින් ඉදිරිපත් කරන ලද ජනසවියට කියන වෙනත් නමකි. ප්‍රේමදාස ජනාධිපතිට හයිවේ හදන්නට තරම් කාලයක් ලැබුණේ නැත. එහෙත් ඔහු සිය ධුර කාලය තුළ එවකට ලංකාවේ පිහිටි උසම ගොඩනැගිල්ල වූ වර්ල්ඩ් ටේ්‍රඩ් සෙන්ටර් සෑදීම සඳහා සිංගප්පූරු ආයෝජකයකු වූ එස්. පී. තාවෝ කැමැති කර ගත්තේය. නූතන ශ්‍රී ලංකාවේ ීනහ ීජර්චැර හෙවත් අහස සූරන ගොඩනැගිලි සම්ප්‍රදාය පටන් ගන්නේ මේ සමගය. ආර්. ප්‍රේමදස වැනි ජන නායකයකු නැවත පහළ වීමට ලංකාව වැනි රටක තවදුරටත් ඉඩක් නැත. අද පන්ති පදනම, දේශපාලන බල පදනම යන සියල්ල එකතු වී අච්චාරු සමාජයක් බිහිවී තිබේ. මේ අච්චාරුවලට දමන්නේ නියම පොල් විනාකිරි නොව කෘත්‍රීම විනාකිරි ය. ඒ නිසා ඒවා කන එකා යහතින් ඉතුරු වන්නේ නැත.

advertistmentadvertistment
advertistmentadvertistment