අටවැනි විධායක ජනාධිපති රනිල්…!

116

හය වතාවක් අගමැති, තුන් වතාවක් ජනපති වූ රනිල්

වසර හතළිස් පහකටත් වැඩි කාලයක් පුරා ලාංකේය දේශපාලනයේ අස්සක් මුල්ලක් නෑර කරක් ගැසූ, දීර්ඝ කාලයක් තිස්සේ එක්සත් ජාතික පක්ෂය තුළ රූස්ස ගසක් සේ සිය බල පරාක්‍රමය පතුරවා හැරි රනිල් වික්‍රමසිංහ පසුගිය විසි වැනිදා ශ්‍රී ලංකාවේ අටවැනි අනුප්‍රාප්තික විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේ ය.

ලාංකේය දේශපාලනයත්, රනිල් වික්‍රමසිංහ නාමයත් එකිනෙකට වෙන් කළ නොහැකි තරමේ අවියෝජනීය බන්ධනයකට ලක්ව ඇතැයි බොහෝ දෙනෙකු පවසයි. ඇතැමුන්ට රනිල් වික්‍රමසිංහ ඇවිදින පුස්තකාලයකි. තවත් අයෙකුට ඔහු අත්දැකීම්වලින් පරිපූර්ණ දේශපාලනඥයෙකි. තවත් පිරිසක් රනිල් වික්‍රමසිංහව හඳුනාගන්නේ ලාංකේය දේශපාලනය තේරුම් ගත නොහැකි අසාර්ථක දේශපාලනඥයකු ලෙසයි.

දේශපාලන විචාරකයන්ට අනුව රනිල් වික්‍රමසිංහ සාම්ප්‍රදායික ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන දහරාවේ වර්තමාන ශ්‍රී ලාංකික සංකේතයයි. ඔහු තරම් දේශපාලන ගේම්කාරයකු තවත් නොවන බව ඇතැමුන්ගේ මතයයි.

මේවන විට උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වයෙන් මේ රට ගලවා ගත හැකි එකම ශක්තිවන්තයා, ගැලවුම්කරුවා රනිල් වික්‍රමසිංහ බවට ද පිරිසක් අදහස් දක්වයි. කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීම රාජපක්ෂවරු ආරක්ෂා කිරීමට යෙදූ කූට උපක්‍රමයක් බවත් බොහෝ දෙනෙකුගේ මතයයි.

පසුගිය මැයි නව වැනිදා විසිපස් වන අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ වන කතා බහ නැවතත් අලුත් විය. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වී පැය 76 ක් ගත වන තුරුම එම පුරප්පාඩුව පිරවීම සඳහා කිසිවෙකු ඉදිරිපත් වූයේ නැත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ සාකච්ඡාවකින් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ පසුගිය මැයි දොළොස් වැනි දා පස්වරුවේදී නිදහස් ශ්‍රී ලංකාවේ 26 වෙනි අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. රනිල් වික්‍රමසිංහ හය වන වතාවටත් යළිත් අග්‍රාමාත්‍ය ධුරය සඳහා පත් වන්නේ වැඩිම වාර ගණනක් අග්‍රාමාත්‍ය ධුරය පත් වූ මහජන නියෝජිතයා ලෙස ඉතිහාසගත වෙමිනි. මෙරට දේශපාලනය තුළ එක් මන්ත්‍රී ධුරයක් පමණක් හිමි පක්ෂයකින් අග්‍රාමාත්‍යවරයෙක් තෝරාගන්නා ප්‍රථම අවස්ථාව ද මෙය වීම ද සුවිශේෂී කාරණාවකි. වර්ෂ 1949 මාර්තු 24 වැනිදා කොළඹ කුරුඳුවත්තේදී එස්මන්ඩ් වික්‍රමසිංහ සහ නාලිනී වික්‍රමසිංහ යුවළට දාව රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ ලෙස මොහු උපත ලබන්නේ පවුලේ දෙවැනියා ලෙසයි.

පිට පිට වාර්තා තැබූ රනිල් ජනපති පුටුවට

අටවැනි විධායක ජනාධිපති රනිල්…!

කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයෙන් නීතිය හදාරන වික්‍රමසිංහ අධිනීතිඥයකු වශයෙන් අධිකරණයට පිවිසියේය. කැලණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ රනිල් වික්‍රමසිංහයන්ගේ බිරිඳයි.

1972 වසරේදී කැලණිය ආසනයෙන් දේශපාලන ගමනට අත්පොත් තැබූ වික්‍රමසිංහ, 1977 වසරේ පැවති මහ මැතිවරණයේදී බියගම ආසනය නියෝජනය කරමින් පළමුවරට පාර්ලිමේන්තුවට වරම් හිමිකර ගත්තේය. අලුතින් පිහිටු වූ බියගම ආසනයේ පළමු එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයා බවට පත්වූයේද මොහුය.

ජේ. ආර්. ජයවර්ධන රජය යටතේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් අධ්‍යාපන සහ කර්මාන්ත කැබිනට් අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළේය. අවුරුදු 27 දී ජේ. ආර්. ජයවර්ධන රජය යටතේ යෞවන කටයුතු සහ රැකීරක්ෂා අමාත්‍ය ධුරය භාර ගත් මොහු එවකට පාර්ලිමේන්තුව නියෝජනය කළ ලාබාලතම ඇමැතිවරයා ද වූයේය.

කාර්මික සංවර්ධන පනත ගෙන ඒම, කාර්මික කොමිසම පත් කිරීම අධ්‍යාපන විද්‍යාපීඨ ආරම්භ කිරීම, මහරගම ජාතික අධ්‍යාපන ආයතනය සහ අධ්‍යාපන කොමිසම පිහිටුවීම ආදී වැඩසටහන්වලදී වික්‍රමසිංහයන් මූලිකත්වය ගෙන කටයුතු කළේය. එමෙන්ම අධ්‍යාපන විද්‍යාපීඨ ඇරඹූ හෙතෙම ඉංග්‍රීසී ගුරුවරුන්ට ඩෙලික් ගුරු පුහුණුව ලබා දීමටත් මුල් පියවර තබනු ලැබීය.

1993 මැයි පළමුවෙනිදා ජනාධිපති ආර්. ප්‍රේමදාස ඛඔඔෑ ප්‍රහාරකයකු විසින් ඝාතනය කරනු ලැබීමෙන් අනතුරුව එවකට අගමැති පදවියේ සිටි ඩී. බී. විජේතුංග ජනාධිපති පදවියට අනුප්‍රාප්තවීමත් සමඟ ඇති වූ පුරප්පාඩුව සම්පූර්ණ කරමින් රනිල් වික්‍රමසිංහ අගමැති පදවියට පත්කරනු ලැබිණි. එය ඔහු අගමැති පදවියට පත් පළමු අවස්ථාවයි. 1993 මැයි 07 සිට 1994 අගෝස්තු 19 දක්වා පළමු අග්‍රාමාත්‍ය ධුර කාලය දැරූ මොහු, 1994 මහ මැතිවරණයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අගමැති පදවියට පත්වීමත් සමඟ විපක්ෂ නායකයා බවට පත්විය. ආර්. ප්‍රේමදාස කාල සීමාව තුළ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව සිටි ගාමිණී දිසානායක යළි පක්ෂයට එක්වීමත් සමඟ 1994 ජනාධිපතිවරණයට තරග කිරීමට රනිල්ට අවස්ථාව අහිමි විය. එහෙත් 1999 ජනාධිපතිවරණය සඳහා ඔහු තරඟ කළේය. නමුත් සිය ප්‍රතිවාදිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට පරාජය වීමට යළිත් වතාවක් රනිල්ට සිදුවිය. 2001 වර්ෂයේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යටතේ පිහිටු වූ ආණ්ඩුවේ දී නැවතත් අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙන්නේ ඉන් පසුවයි. රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයට පත්වූ දෙවැනි වතාව එයයි. එහෙත් චන්ද්‍රකා බණ්ඩාරනායක විසින් නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා රනිල්ට දෙවැනි වතාවටත් අගමැති ධුරය අහිමි විය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමයේ දැඩි යුදමය වාතාවරණයක් පැවතුණි. එවැනි වටපිටාවක වුවද එල්ටීටීඊ සංවිධානය සමඟ සටන් විරාම ගිවිසුමකට එළැඹීමට රනිල් වික්‍රමසිංහ තීරණය කළේය. එම තීරණය බොහෝ දෙනාගේ දෝෂ දර්ශනයට පවා ලක්විය.

2004 මහ මැතිවරණ ප්‍රතිපල අනුව මහින්ද රාජපක්ෂ පළමුවරට අගමැති පදවියට පත් කෙරුණි. ඒ අනුව රනිල්ට හිමිවුණේ විපක්ෂනායකත්වයයි.

2005 ජනාධිපතිවරණයේ දී ඔහු මහින්ද රාජපක්ෂට පරාජය වූ අතර 2015 ජනාධිපතිවරණය තෙක් දිගටම විපක්ෂ නායක පදවිය දැරීය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් 2015 ජනවාරි 09 දින රනිල් වික්‍රමසිංහ සිය රජයේ අගමැති පදවියට පත්කරන අතර 2018 වසරේ අගෝස්තු මාසයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින්ම ඔහු අගමැති පදවියෙන් ඉවත්කොට මහින්ද රාජපක්ෂ එම පදවියට අනුප්‍රාප්ත කරන ලදී.

2019 නොවැම්බර් ජනාධිපතිවරණයෙන් අනතුරුව නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ අගමැති පදවියට පත්කළ අතර එම පාර්ලිමේන්තුව විසුරුවා හරින තෙක් විපක්ෂ නායක පදවිය සජිත් ප්‍රේමදාසට හිමි විය. ඒ නිසා සාමාන්‍ය මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමට රනිල් වික්‍රමසිංහට සිදු විය. 2020 වසරේ අවසන් වරට පැවැති මහා මැතිවරණයේ දී ඡන්ද 249,435ක් පමණක්

ලබාගැනීම නිසා ඉතිහාසයේ පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට රනිල් වික්‍රමසිංහට නොහැකි විය. නමුත් එම පක්ෂයට හිමි වූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට නැවතත් රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගැනුණි. එක්සත් ජාතික පක්ෂය දෙකඩවීම ආරම්භ වන්නේත් රනිල් විරෝධී සටන ඇරඹෙන්නේත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසගේ මූලිකත්වයෙනි. පක්ෂ නායකත්වය පතා සජිත් ප්‍රේමදාස ගෙනගිය සටනේ දී මෛත්‍රී ගුණරත්න ඇතුළු කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂයට එරෙහිව වෙනත් දේශපාලන පක්ෂයක් පවා ආරම්භ කළහ. එහෙත් සජිත් ප්‍රේමදාස පක්ෂයෙන් ඉවත්ව නොයා විපක්ෂ නායක ධුරය වෙනුවෙන් දිගින් දිගටම සටන් කරන්නට විය. 2019 ජනාධිපතිවරණ පරාජයෙන් පසු විපක්ෂ නායක පදවිය ලබා ගැනීමට සජිත් ප්‍රේමදාස සමත් වූ අතර අනතුරුව රනිල් වික්‍රමසිංහගේ නායකත්වයට එරෙහිව සිය පක්ෂයේ කොටසක් ද රැගෙන ‘සමගි ජන බලවේගය’ නමින් නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කළේය. කෙසේ වෙතත් දැවැන්ත ආර්ථික අර්බුදයක් හමුවේ රට අස්ථාවර වෙමින් පැවතුණු අවස්ථාවක ඉකුත් මැයි මාසයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඇරයුමෙන් රනිල් වික්‍රමසිංහ යළිත් අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ අභියෝග ගණනාවක් භාර ගනිමිනි. ගෑස්, ඉන්ධන, පොහොර, ඖෂධ ආදී අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන්ගේ හිඟය කඩිනමින් විසඳීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග රැසක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමටත්, බිඳී යන ජාත්‍යන්තර සබඳතා යථා තත්ත්වයට පත් කිරීමටත් රනිල් වික්‍රමසිංහ 26 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස මහත් පරිශ්‍රමයක් දරමින් සිටියේය.

මීට පෙර පස් වතාවක් අග්‍රාමාත්‍ය තනතුරේ දිවුරුම් දුන්නද අග්‍රාමාත්‍ය ධූරය දැරූ කිසිදු අවස්ථාවක ඔහුට සිය ධුර කාලය සම්පූර්ණ වන තුරු තනතුරේ රැඳීමට හැකියාවක් ලැබුණේ නැත. හයවෙනි වතාවට ලද අග්‍රාමාත්‍ය ධුරයේ ද රාජකාරි කිරීමට රනිල් වික්‍රමසිංහට හැකියාව ලැබුණේ මාස දෙකක් වැනි කෙටි කාලයක් පමණි. දිගින් දිගටම එල්ල වූ මහජන විරෝධය මධ්‍යයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජූලි 13 වැනිදා දිවයිනෙන් පිටව ගිය අවස්ථාවේ දී, රනිල් වික්‍රමසිංහ වැඩ ආවරණය කරන ජනාධිපති බවට පත්විය. ඉන් අනතුරුව ජූලි 15 වැනිදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බවට නිල වශයෙන් කථානායකවරයාට දැනුම් දුන් පසුව රනිල් ව්‍යවස්ථානුකූලව වැඩබලන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.

ඉන් අනතුරුව අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරා පත්කර ගැනීම වෙනුවෙන්, පසුගිය විසි වැනිදා පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමෙන් රනිල් වික්‍රමසිංහ ඡන්ද 134 ක් ලබාගනිමින් වැඩි ඡන්ද 52කින් ජයග්‍රහණය කළේය.

රනිල් වික්‍රමසිංහ, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මෙම මැතිවරණයට ඉදිරිපත් වූහ. ඩලස් අලහප්පෙරුම ඡන්ද 82ක් ලබාගත් අතර, අනුර කුමාර දිසානායකට ඡන්ද 3ක් හිමිවිය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 223 ක් පැවති ඡන්දයේ දී සිය ඡන්දය ප්‍රකාශ කළහ. වලංගු ඡන්ද සංඛ්‍යාව 219ක් වූ අතර, අවලංගු වූ ඡන්ද ගණන 4කි. මන්ත්‍රීවරු දෙදෙනෙක් ඡන්ද ප්‍රකාශ කිරීමට එක් නොවූහ.

ජනතා මනාපයෙන් ජනපති ධුරයට හෝ අවසන් වරට පාර්ලිමේන්තුවට හෝ පත්වීමට දැරූ සියලු උත්සාහයන් අසාර්ථකවූ නමුත් ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස්වීම නිසා ඇතිවූ පුරප්පාඩුව පිරවීමට ව්‍යවස්ථානුකූලවම ජනපති ධුරයට පත්වීමට තරම් රනිල් වික්‍රමසිංහ වාසනාවන්තයෙක් විය. සැබෑවටම බැලුවොත් ඔහු වැඩ ආවරණය කරන ජනාධිපති, වැඩබලන ජනාධිපති සහ අනුප්‍රාප්තික විධායක ජනාධිපති ලෙස මාසයක් තුළ තෙවතාවක් ජනාධිපති ධුරයේ දිවුරුම් දෙන්නට තරම් වාසනාව ලද්දෙකි.

ජනපති ධුරයට පත්වීමට පෙර හයවරක් අගමැති පදවියේ දිව්රුම් දී ඇති රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ වැඩිම වාර ගණනක් අගමැති බවට පත්වූ තැනැත්තා ද වේ.

ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ අතරින් පැරණිතම දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දෙන රනිල් වික්‍රමසිංහ දශක හතරකට අධික දීර්ඝ දේශපාලන ඉතිහාසයක් සහිත දේශපාලන නායකයෙකි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ පටන් නියෝජ්‍ය ඇමැති, කැබිනට් ඇමති, විපක්ෂ නායක සහ අගමැති පදවිය දරා ඇති රනිල් වික්‍රමසිංහට සිහිනයක්ව තිබුණේ ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ධුරය පමණි. ඒ සඳහා ඔහු දෙවතාවක් උත්සාහ කළ නමුත් ඒ අවස්ථා දෙකේදීම පරාජය පිළිගන්නට වික්‍රමසිංහට සිදුවිය. නමුත් දැන් ඔහුගේ ජනාධිපති සිහිනය ද යථාර්ථයක් වී අවසන්ය.

ඒ නිසා ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයෙහි වැඩිම නිල පදවි සංඛ්‍යාවක් ලබා ඇති දේශපාලන චරිත නාමාවලියේ රනිල් වික්‍රමසිංහගේ නම ද ඉහළින්ම සටහන් වී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතර කැමැත්තෙන් ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ, මෙරට අටවැනි අනුප්‍රාප්තික විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහට 2024 නොවැම්බර් මස වන තෙක් ජනපති ධුරය දැරීමට ව්‍යවස්ථානුකූලව ඉඩ ලැබී ඇත. කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහට ජනපති පුටුව හිමි වූයේ අභියෝග රැසක්ද සමඟිනි.ජාත්‍යන්තර සබඳතා වර්ධනය කරමින් මෙරට ආර්ථික ගැටලුරෑවට විසඳුම් සෙවීම ,මාස කිහිපයක් තුළ නිර්මාණය වූ පෝලිම් සංස්කෘතිය බිඳ දමා රට නැවත යථා තත්ත්වයට පත් කිරීම,ඉන්ධන විදුලිය සහ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන් පිළිබඳ කටයුතු ඔහු ඉදිරියේ ඇති අභියෝගවලින් කිහිපයක් පමණි. මනාපය දුන් නොදුන් සියලු දෙනාම මේ අර්බුදයට රනිල් වික්‍රමසිංහ මුහුණ දෙන්නේ කෙසේදැයි අවධානයෙන් බලා සිටියි.

ශ්‍රී ලාංකේය දේශපාලනයේ සුවිශේෂී මතකයක් සටහන් කරමින් ජනාධිපති ධුරය දිනාගෙන අටවැනි විධායක ජනාධිපති ධුරයට පත්වූ රනිල් වික්‍රමසිංහට සිය ධුරයේ කටයුතු නිසි ආකාරයෙන් කරගෙන යෑමට ශක්තිය ධෛර්යය ලැබේවායි ‘දිවයින’ අපි ද සුභාශිංසනය කරන්නෙමු.

කුමාරි ඉරුගල්බංඩාර

advertistmentadvertistment
advertistmentadvertistment