මහා පරිමාණ ලෙස අයිස් ජාවාරම පවත්වාගෙන යමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යෑමේදී පොලිසිය මග හරිමින් ඩුබායි රාජ්‍යයට පලා ගොස් සිට නැවත නිවසට පැමිණ සිටින අවස්ථාවේ අයිස් තොගයක් සමග මුන්දලම පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සමත් වේ.
19 වෙනි දින මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය. මෙසේ අත් අඩංගුවට පත් වූයේ මුන්දලම, කිරීයන්කල්ලීය, සින්නතම්බි කොළණියේ පදිංචි 39 හැවිරිදි ප්‍රධාන පෙලේ මත් ජාවාරම්කරුවෙකි.
මුන්දලම, කිරීයන්කල්ලිය ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවස වටකර අඩි 9 කට ආසන්න උසකින් යුත් තාප්පයක් ඉදිකර ඇති අතර විදුලි බලයෙන් ක්‍රියාත්මක දැඩි ආරක්ෂිත ගේට්ටුවක්ද සවි කොට තිබේ.
පසුගිය මාස කිපයක සිට මත්කුඩු ජාවාරම් සම්බන්ධව පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට කිහිවරක් උත්සාහ කළද සූක්ෂම ලෙස මගහැර මෙම ජාවාරම්කරු ඩුබායි රාජ්‍යයට පලා ගොස් තිබුණි. අනතුරුව මුන්දලම පොලිස්ථානාධිපති අසිත ලක්රුවන් මහතා ඔහු පිළිබද සොයා බැලීමට පොලිස් බුද්ධි අංශ නිලධාරින් මෙන්ම පෞද්ගලික ඔත්තුකරුවන් යෙදවීමට කටයුතු කෙරිණි. මේ අනුව සැකකරු නිවසට පැමණ සිටින බවට ලද තොරතුරක් මත නිවස 19 වෙනි දින උදෑසන මුන්දලම පොලිසියේ විශේෂ කණ්ඩායමක් නිවස වටලා සකකරු අත්අඩංගුවට ගැනිණි.
අඩි 9 කට ආසන්න උසකින් ඉදිකර ඇති තාප්පය මතින් මහත් වෙහෙසක් දරා නිවස පිහිටි භුමියට ඇතුල් වී සැකකරු රැඳී සිටි කාමරයට යෑම සඳහා දොරවල් තුනක් විවෘත කර රුපියල් ලක්ෂයකට ආසන්න අයිස් සමග සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි. මෙම ජාවාරම්කරු ඉතා සුක්ෂමව කිසිවකුට සැක නොසිතන අයුරින් ප්‍රදේශ රැසකට අයිස් බෙදාහැරීම සිදුකරන බවට පොලිස් බුද්ධි තොරතුරු මගීන් අනාවරණය වී ඇති අතර මීට පෙර අයිස් ජාවාරම සම්බන්ධයෙන් අධිකරණයේ නඩු විභාගව පවතින බවත් කැබිතිගොල්ලාව හා හොරොව්පතාන ප්‍රදේශවල සිදුව ඇති සොරකම් රැසක් සම්බන්ධයෙන්ද සැකකරුට එරෙහිව චෝදනා එල්ල වී ඇති බව සිදුකළ විමර්ශනවලදී හෙළිවිය. අත් අඩංගුවට ගත් සැකකරු පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණී.
පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ උපදෙස් මත පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. ඒ. උදය කුමාර මහතාගේ මෙහෙයවීමෙන් මුන්දල පොලිස්ථානාධිපති අසිත ලක්රුවන් මහතාගේ මැදිහත් වීමෙන් වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසාද් ලියනගේ මහතා, උප පොලිස් පරීක්ෂක හේරත් මහතා, පොලිස් සැරයන්වරුන් වන (38080) අමරසිංහ, (33538) රත්නායක, (33620) සුගත්, (35538) ජයසිංහ හා පොලිස් කොස්තාපල්වරුන් වන (99772) උඩවත්ත, පොලිස් කොස්තාපල් රියැදුරු (89710) සමරජීව යන නිලධාරීහු මෙම වැටලීමට එක්වූහ.
අමරනන්ද විජේසේකර – මහවැව