අඩුවෙන් නිදාගැනීම – වැඩියෙන් මහත්වීමට හේතුවක් ද?

219

නින්ද සහ ආහාර ගැනීම කියන්නේ සෑම සත්වයකු තුළම පාහේ දැකිය හැකි චර්යාවන් ද්විත්වයක්. නමුත් මිනිසා තුළ නින්ද, ආහාර රුචිය සහ දේහ බර යන සාධක අතර සම්බන්ධයක් පවතින බව ඔබ දැන සිටියා ද?

 වසංගත රෝග විද්‍යාත්මක සාක්ෂි මගින් හෙළිදරව් කර ඇත්තේ ප‍්‍රමාණවත් තරමේ නින්දක් නොලැබීම සහ ස්ථුලතාවය (obesity) අතර සම්බන්ධයක් ඇති බවයි. තවද, පර්යේෂණ සාක්ෂිවලට අනුව, ප‍්‍රමාණවත් තරමේ නින්දක් නොලැබීම නිසා පුද්ගලයා තුළ අධික ආහාර ගැනීමේ (overeating) පෙළඹවීමක් සහ අධිකැලරිමය ආහාර සඳහා වැඩි නැඹුරුවක් ඇති වන බව ද හඳුනා ගත හැකි ය. මෙය සිදු වන්නේ කෙසේද යන්න ජීව විද්‍යාත්මක මනෝවිද්‍යාව ඇසුරෙන් විමසා බැලීමේ දී අපට හඳුනාගත හැකි ප‍්‍රධානම කරුණක් වන්නේ කුසගින්න නියාමනය කිරීමේ දෛනික රටාවන් සහ ආහාර රුචිය පාලනය කරන මොළයේ යාන්ත‍්‍රණයන් ප‍්‍රමාණවත් නින්දක් නොලැබීම නිසා බලපෑමට ලක්වන බවයි.

 අපගේ ශරීරයේ හෝමෝන නිපදවීමේ ක‍්‍රියාවලිය නිසියාකාරව පවත්වා ගැනීම සඳහා නින්ද මගින් වැදගත් කාර්යක් ඉටු කරනු ලබනවා. නමුත් ප‍්‍රමාණවත් තරමේ නින්දක් නොලැබීම නිසා මෙම හෝමෝන නිෂ්පාදන ක‍්‍රියාවලීන්හි අක‍්‍රමිකතා ඇති විය හැකි යි. පර්යේෂණ සාධක මගින් පෙන්වා දෙන්නේ අපගේ කුසගින්න සහ ආහාර රුචිය පාලනය කරන ක‍්‍රියාවලියට දායක වන Ghrelin සහ Leptin හෝමෝන ද මෙලෙස බලපෑමට ලක්වන බව යි. ආමාශය මගින් ස‍්‍රාවය කරන Ghrelin හෝමෝනය අපගේ ආහාර රුචිය වැඩි කිරීමට දායක වන අතර, රුධිරයේ වැඩි Ghrelin මට්ටමක් පවතින විට එමගින් අපව ආහාර ගැනීම සඳහා උත්තේජනය කරවනු ලබයි. මේද ෙසෙල මගින් නිපදවන Leptin හි කාර්ය වන්නේ අප ලබාගත යුතු ආහාර ප‍්‍රමාණය පිළිබඳව මොළයට පණිවිඩ සපයමින් කුසගින්න හා ආහාර රුචිය නියාමනය කිරීමයි. ඒ අනුව රුධිරයේ වැඩි Leptin මට්ටමක් පවතින විට එමගින් අපට ආහාර ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බව හඟවන අතර, අඩු Leptin මට්ටම මගින් අපට කුසගිනි දනවනු ලබනවා. සෞඛ්‍යමත් නින්දක් ලබන පුද්ගලයන් තුළ මෙම හෝමෝන මට්ටම් නිසි අයුරින් කුසගින්න හා ආහාර රුචිය නියාමනය කරනු ලැබුව ද, ප‍්‍රමාණවත් නින්දක් නොලබන පුද්ගලයන් තුළ Ghrelin අධි නිෂ්පාදනයක් සහ Leptin සාපේක්ෂව අඩු නිෂ්පාදනයක් සිදුවන බව පර්යේෂණ මගින් පෙන්වා දී ඇත. ඒ අනුව, එමගින් පුද්ගලයා අධික ලෙස ආහාර ගැනීමට උත්තේජනය වන බව පැහැදිලි වේ.

 අඩු නින්ද නිසා, ආහාර රුචිය පාලනය කරන මොළයේ යාන්ත‍්‍රණයන් බලපෑමට ලක්වන ආකාරය විමසා බැලීමේ දී, පර්යේෂණ සාක්ෂි මගින් අනාවරණය වන්නේ අඩු නින්ද මගින් එම ක‍්‍රියාවලීන්හි අක‍්‍රමිකතා ඇති කරන බවයි. උදාහරණ වශයෙන් මොළයේ Frontal cortex හා Insular cortex හි ආහාර රුචිය හා සම්බන්ධ (ආහාරවල සුවඳ, රසය මත ආහාර තෝරා ගැනීම ආදී) ක‍්‍රියාවලිවල අක‍්‍රමිකතා ඇති වීම නිසා පුද්ගලයා තුළ පාලනයකින් තොරව අධික ලෙස ආහාර ගැනීමට පෙළඹවීමක් ඇති වේ. තවද, Amygdala හිල ආහාර ගැනීමේ පේ‍්‍රරණයන් පාලනය කිරීමෙහිලා දායක වන ප‍්‍රදේශයන් අඩු නින්ද නිසා අධික‍්‍රියාකාරීත්වයට පත් වන බවත්, එමගින් පුද්ගලයා අධික ආහාර ගැනීමට පෙළඹෙන බවත් පර්යේෂණ සාධක තුළින් අනාවරණය වන කරුණු අතර වෙයි. මීට අමතරව, Marrie-Pierre (2012)  වැනි පර්යේෂකයන් පෙන්වා දෙන්නේ අඩු නින්ද මගින් මොළයේ ආහාර සඳහා සංවේදී ප‍්‍රදේශවල නියුරෝන ක‍්‍රියාවලීන්ගේ අධික උත්තේජනයක් ඇති කරවමින් පුද්ගලයා තුළ අධික ආහාර ගැනීම සඳහාත්, අධිකැලරිමය ආහාර සඳහාත් පෙළඹවීමක් ඇති කරවන බව යි. කෙසේ නමුත්, ආහාර රුචිය පාලනය කරන මොළයේ යාන්ත‍්‍රණයන්ට නින්ද නොලැබීමේ අහිතකර බලපෑම තවමත් ගවේෂණය පවතින පර්යේෂණ මාතෘකාවකි.

 අයි. කේ. ඒ. එන්. කුලතුංග
 මනෝවිද්‍යා විශේෂවේදී උපාධි අපේක්ෂක
 පේරාදෙණිය විශ්වවිද්‍යාලය.

advertistmentadvertistment
advertistmentadvertistment