අඩු නැතුව නඩු 11000ක් ගොඩ ගැහුණු හැටි විගණනය හෙළිකරයි

452

මෙම නඩු විසඳීම සඳහා විනිසුරුවරුන් සිටින්නේ 416ක්…

කාලයක් තිස්සේ විශාල නඩු සංඛ්‍යාවක් විසඳීම සඳහා අධිකරණවල ගොඩගැසී තිබීම නිසා අධිකරණ ක්ෂේත්‍රය දැවැන්ත අර්බුදයකට ලක්වෙලා

විසඳීමට ඇති නඩු අතුරින් විශාල සංඛ්‍යාවක් ගොඩගැසී ඇත්තේ මහෙස්ත්‍රාත් අධිකරණ හා දිසා අධිකරණවල.

මහේස්ත්‍රාත්, දිසා අධිකරණවල සහ ළමා මහෙස්ත්‍රාත් අධිකරණවල එක් විනිසුරුවරයකුට විසඳීමට ඇති නඩු සංඛ්‍යාව 4117 පනී

මෙරට ජනගහනයෙන් මිලියනයකට සිටින විනිසුරුවන් සංඛ්‍යාව 19 ක්

මෙරට එක්තරා පළාත් පාලන ආයතනයක එවකට සිටි හිටපු සභාපතිවරයකු විසින් එම බල ප්‍රදේශයේ පිහිටි ඉඩම් හිමියකුගේ ඉඩමක් මැදින් බලහත්කාරයෙන් පාරක් කැපුවේය. බලහත්කාරයෙන් තම ඉඩම මැදින් පාරක් කැපීමට එරෙහිව සභාපතිවරයාට හා පළාත් පාලන ආයතනයට එරෙහිව ඉඩම් හිමියා විසින් අධිකරණයේ නඩුවක් ගොනු කළේය. මෙකී නඩු කටයුත්ත වසර 20කටත් අධික කාලයක් තිස්සේ අධිකරණයේ දි විභාග විය. අවසානයේ ඉඩම් හිමියාට නඩු කීම එපා විය. ඒ වනවිට ඔහු සැඳෑසමය ගත කරමින් සිටියේය. මෙකී නඩු කටයුත්ත සඳහා නීතිඥ ගාස්තු මිනින්දෝරු ගාස්තු වශයෙන් ඉඩම් හිමියාට විශාල මුදලක් ද ඒ වනවිට වියදම් වී තිබුණි. අවසානයේ දී ඉඩම් හිමියා විසින් මෙකි නඩු කටයුත්ත ඉදිරියට ගෙන යෑම අවශ්‍ය නොවන බව අධිකරණයට දැනුම් දෙමින් නඩු කටයුත්ත අවසන් කරගනු ලැබීය.

අපේ ඉඩමේ බෙදුම් නඩුව සම්බන්ධයෙන් දැනට පරම්පරා තුනක අය නඩු කියලා තියෙනවා. අපි තමයි හතරවැනි පරම්පරාව තවමත් බෙදුම් නඩුව අධිකරණයේ විභාග වෙනවා. නඩු කියලා අපි දැන් හොඳටම හෙම්බත් වෙලා ඉන්නේ. මම හිතන්නේ ඉඩමේ වටිනාකමටත් වඩා නීතිඥ ගාස්තු, මිනින්දෝරු ගාස්තු වශයෙන් මේ වනවිට මුදල් වියදම් වෙලා ඇති. මේ ගාල්ල ඕපාත ප්‍රදේශයේ කාන්තාවක් අපිට කී කථාවකි. ඒ විතරක් නොව ඉඩමකට නඩු කියන්න ගත්තොත් හත්මුතු පරම්පරාවේ සියලු සේසතම ඉවර වෙනකම් නඩු කිය කිය ඉන්න පුළුවන්. මේ ඉඩම් නඩුවකට පැටළුණු විට අපේ පැරැන්නෝ කියන කථාවකි.

කාලයක් තිස්සේ විශාල නඩු සංඛ්‍යාවක් විසඳීම සඳහා අධිකරණවල ගොඩගැසී තිබීම මේ වනවිට අධිකරණ ක්ෂේත්‍රය මුහුණදී ඇති දැවැන්තම අර්බුදයකි. අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විසින් නිකුත්කොට ඇති 2023 වර්ෂයට අදාළ වාර්ෂික කාර්යසාධන වාර්තාවට අනුව මෙරට අධිකරණවල ඉකුත් වර්ෂය (2023) අවසන් වනවිට විසඳීම සඳහා ගොඩගැසී ඇති නඩු සංඛ්‍යාව එකොළොස් ලක්ෂ විසිදෙදහස් එකසිය දහතුනකි. (1,122,113). විසඳීමට ඇති නඩු අතුරින් විශාල සංඛ්‍යාවක් මහෙස්ත්‍රාත් අධිකරණ හා දිසා අධිකරණවල ගොඩගැසී ඇති බවද මෙකී කාර්යසාධන වාර්තාවේ සඳහන් වේ. 2015 වර්ෂයේ දී මෙරට අධිකරණවල නඩු හත්ලක්ෂ දහතුන්දහස් පන්සිය විසිහතක් (713,527) විසඳීම සඳහා ගොඩගැසී තිබූ අතර 2023 වර්ෂයේ 12.31 දින වනවිට විසඳීම සඳහා අධිකරණවල ගොඩගැසී ඇති නඩු සංඛ්‍යාව එකොළොස් ලක්ෂ විසිදෙදහස් එකසියදහතුනක් දක්වා ඉහළ ගොස් තිබුණි.

මෙරට ඇති අධිකරණ සංඛ්‍යාව 264කි. අධිකරණ ශාලා සංඛ්‍යාව 375කි. ඉකුත් වර්ෂය (2023) අවසන් වනවිට මෙම නඩු විසඳීම සඳහා සිටින විනිසුරුවරුන් සංඛ්‍යාව 416කි. මෙකී අධිකරණ අතුරින් මහෙස්ත්‍රාත් අධිකරණවල විසඳීම සඳහා ගොඩගැසී ඇති නඩු සංඛ්‍යාව 805,502කි. දිසා අධිකරණවල ගොඩගැසී ඇති නඩු සංඛ්‍යාව 259,763කි. ළමා මහෙස්ත්‍රාත් අධිකරණවල විසඳීම සඳහා ගොඩගැසී ඇති නඩු සංඛ්‍යාව 1215කි. මෙකි නඩු විසඳීම සඳහා සිටින විනිසුරුවරුන් සංඛ්‍යාව 259කි. ඒ අනුව 2023.12.31 දින වනවිට එක් විනිසුරුවරයකුට විසඳීමට ඇති නඩු සංඛ්‍යාව 4117කි. ශ්‍රේෂ්ඨාධිකරණයේ විසඳීමට ඇති නඩු සංඛ්‍යාව 5733ක් වන අතර සිටින විනිසුරුවරුන් සංඛ්‍යාව 17කි. ඒ අනුව එක් විනිසුරුවරයකුට විසඳීමට ඇති නඩු සංඛ්‍යාව 337කි. අභියාචනාධිකරණ තුළ විසඳීමට ඇති නඩු සංඛ්‍යාව 4141ක් වන අතර සිටින විනිසුරුවරුන් සංඛ්‍යාව 20කි. ඒ අනුව එක් විනිසුරුවරයකුට විසඳීමට ඇති නඩු සංඛ්‍යාව 207කි.

මහාධිකරණයේ විසඳීමට ඇති අපරාධ නඩු සංඛ්‍යාව 26542කි. සිවිල් අභියාචන මහාධිකරණයේ සහ වාණිජ මහාධිකරණයේ විසඳීමට ඇති නඩු සංඛ්‍යාව පිළිවෙළින් 5989ක් සහ 8528කි. විශේෂ මහාධිකරණයේ විසඳීමට ඇති නඩු සංඛ්‍යාව 01කි. මෙකී නඩු විසඳීම සඳහා මෙම අධිකරණවල සිටින විනිසුරුවරුන් සංඛ්‍යාව 87කි. ඒ අනුව එක් විනිසුරුවරයකුට විසඳීමට ඇති නඩු සංඛ්‍යාව 472කි. මෙරට කම්කරු විනිශ්චය සභාවලද නඩු 4669ක් විසඳීම සඳහා ගොඩගැසී ඇති අතර මෙකී නඩු විසඳීමට සිටින විනිසුරුවරුන් සංඛ්‍යාව 33කි. ඒ අනුව එක් විනිසුරුවරයකුට විසඳීමට ඇති නඩු සංඛ්‍යාව 142කි.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විසින් නිකුත්කොට ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවට අනුව අධිකරණවලට යොමුවන ආරවුල්වලට සමානුපාතිකව සිටින විනිශ්චයකාරවරුන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම නඩු ප්‍රමාදයට බලපාන ප්‍රධාන හේතුවක් ලෙස හඳුනාගෙන තිබුණි. මේ වනවිට මෙරට ජනගහනයෙන් මිලියනයකට සිටින විනිසුරුවන් සංඛ්‍යාව 19කි. අනෙකුත් රටවල්වලට සාපේක්ෂව මෙරට ජනගහනයෙන් මිලියනයකට සිටින විනිසුරුවරුන් සංඛ්‍යාව ඉතා අඩු සංඛ්‍යාවකි.

මෙරට අධිකරණවල පවතින මෙම තත්ත්වය රටේ දේශීය ආර්ථික සංවර්ධනයට අහිතකර ලෙස බලපා ඇති අතර ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව පහළට යෑමට මෙය හේතුවක් වී තිබුණි. මෙය ශ්‍රී ලංකාව තුළ අයහපත් ආයෝජන පරිසරයක් නිර්මාණය කිරීමට මෙන්ම විදේශ ආයෝජන අධෛර්වත් කිරීමට හේතු වී ඇති බව මෙම වාර්තාවේ සඳහන් වේ.

ඒ විතරක් නොව ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් රස පරීක්ෂක වාර්තා ලබාදීමේ ඇති වන ප්‍රමාදයන් නිසා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් විභාග වන නඩු ප්‍රමාද වීමට ද හේතුවී තිබුණි. බන්ධනාගාරවල පවතින තදබදයට ද රස පරීක්ෂක වාර්තා ප්‍රමාදවීම බලපා තිබුණි. ලියාපදිංචි තැපෑලෙන් අදාළ උසාවිය වෙත යොමුකරනු ලබන ආණ්ඩුවේ රස පරීක්ෂකගේ වාර්තා ලියාපදිංචි තැපෑලේ දී නැතිවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බවට යුක්තිගරුක හා නීතිගරුක සමාජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට ඇති වාර්තාවේ සඳහන් වේ.

ආණ්ඩුවේ රස පරීක්ෂකගේ වාර්තා ලියාපදිංචි තැපෑලෙන් අදාළ උසාවි වෙත යොමුකරනු ලබයි. එසේ යොමුකරනු ලබන බොහෝ වාර්තා නැවත ඉදිරිපත් කරන ලෙස උසාවි මගින් ඉල්ලා සිටින අතර එම වාර්තා නොලැබුණු බවට උසාවි මගින් හේතු වශයෙන් සඳහන් කරන බවද මෙම වාර්තාවේ සඳහන් වේ. එම නිසා මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කිරීම සුදුසු බවට කමිටුව විසින් නිරීක්ෂණය කොට තිබුණි. රස පරීක්ෂක වාර්තා නැවත ලබාදීම සඳහා යම් කාලයක් ගතවන බැවින් අදාළ නඩු කටයුතු ප්‍රමාද වන අතර ඉන් අගතියට පත් පාර්ශ්වයන්ට බලවත් අසාධාරණයක් වන බවද ආංශික කමිටුව විසින් ඉදිරිපත් කරනු ලබන වාර්තාවේ සඳහන් වේ.

ආණ්ඩුවේ රස පරීක්ෂකගේ වාර්තා ප්‍රමාදවීම සඳහා රසායනික ද්‍රව්‍ය, අනිකුත් ද්‍රව්‍ය මෙන්ම යන්ත්‍රසුත්‍ර හා අමතර කොටස්වල හිඟතාවයක් පවතින බවට මෙකී වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ තනතුරු 113ක් පුරප්පාඩුව පවතින අතර එම තනතුරු 25ක් විද්‍යාත්මක සේවයේ බවත් රස පරීක්ෂකගේ වාර්තා ප්‍රමාදවීම සඳහා මෙම තත්ත්වය ද හේතුවී ඇත. එමෙන්ම ඇතැම් පොලිස් නිලධාරීන් විසින් නීතියට පටහැනිව සිදුකරනු ලබන අත්තනෝමතික ක්‍රියාකලාප හේතුවෙන් බන්ධනාගාර, අධිකරණ, ආණ්ඩුවේ රස පරීක්ෂක යන ආයතනවල නිලධාරීන් මෙන්ම සාමාන්‍ය මහජනතාව ද බලවත් අසාධාරණයට ලක්වන බව ද මෙම කමිටුව මගින් ඉදිරිපත්කොට ඇති වාර්තාවේ සඳහන් වේ. ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන වාර්තා ප්‍රමාදවීම සම්බන්ධයෙන් මෙම වාර්තාව නිකුත්කොට තිබුණි.

කඩිනමින් යුක්තිය පසිඳලීමට මෙන්ම බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් විශ්ලේෂණ වාර්තා කඩිනමින් සැපයීම ඉතා වැදගත් වේ. අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරන ආකාරයට මෙම දෙපාර්තමේන්තුවේ නිලධාරි හිඟයට පිළියමක් වශයෙන් සීමාවාසිකයින් 15 දෙනකු විදේශ ආධාර අරමුදල් යටතේ බඳවාගෙන ඇත. අවශ්‍ය රසායනාගාර කට්ටල ද ලබා දී ඇති අතර විශ්ලේෂණ වාර්තා සැපයීම ඩිජිටල්කරණය කොට ඇත. කෙසේ වුවද මත්ද්‍රව්‍ය පිළිබඳ වාර්තා විශාල සංඛ්‍යාවක් සැපයීමට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට සිදුවීම අභියෝගාත්මක කරුණක් වී තිබේ. මත්ද්‍රව්‍ය, වස වර්ග, සැකකටයුතු ලේඛන, විවිධ අධිකරණ ද්‍රව්‍ය, ගිනි අවි විවිධ ආහාර වර්ග සම්බන්ධයෙන් පවතින නඩු සඳහා ඉකුත් වර්ෂයේ අග වනවිට රසපරීක්ෂක වාර්තා 17,822ක් සැපයීමට තිබුණි.

අධිකරණවල විසඳීමට ඇති නඩු ගොඩගැසීමට හේතු වූ කරුණු කාරණා සම්බන්ධයෙන් අදහස් දක්වමින් නීතිඥ රූපසේන කොස්වත්ත මහතා මෙසේ කීවේය.

සිවිල් නඩු සම්බන්ධයෙන් ගතහොත් එහි කාර්යපටිපාටිය හා අනුගමනය කළ යුතු ක්‍රමවේදය දිහා බලන විට එය දිගුකාලීනව විසඳන ක්‍රමවේදයක් තමයි තියෙන්නේ. කෙටිකාලීන විසඳන ක්‍රමවේදයකට යන්න බැහැ. ඒ නිසා නඩු කල් යනවා. නීතිඥ මහතකු අධිකරණ ඉදිරියේ පෙනී නොසිටියත් නඩුව කල්යනවා. විනිශ්චයකාරවරයා නිවාඩු ගියවිටත් නඩුව කල්යනවා. නඩුවට අදාළ පාර්ශ්වකාරයෙක් මියගියහොත්, සිතාසියක් ගිහින් එයට අදාළ නිලධාරියා නොපැමිණියහොත්, නඩුව කල්යනවා. නඩුවේ සාක්ෂිකාරයෙක් සාක්ෂියට කැඳවූ විට එයට අදාළ කාර්යපටිපාටය අනුගමනය කරන්න ඕන. මේ සඳහා කාලයක් යනවා. ඉඩම් නඩුවකට මැනුමක් ගතහොත් ඇතැම් අවස්ථාවලදි මැනුමටත් වාර හත් අට වතාවක් යනවා. මේක ක්‍රමවේදයේ තියෙන ගැටලුවක්. අධිකරණවල හා කාර්යාලවල තියෙන පහසුකම් මදි.

ඇතැම් පොඩි පොඩි ආරවුල් විසඳාගැනීමටත් ඇතැමුන් අධිකරණයට යනවා. ඇතමුන් පර්චස් දශම පහටත් නඩු කියනවා. වැට මායිම්වලටත් නඩු කියනවා. මේවා විසඳාගන්න පුළුවන් දේවල්. මිනිසුන්ගේ ආකල්පවල ගැටලුවක් ද තියෙනවා. සමථ මණ්ඩලයට ගිහින් කරන යෝජනා ඇතැමුන් ගණන් ගන්නේ නැහැ. එතනදි ගොඩක් ආරවුල් විසඳාගන්න පුළුවන්. සිවිල් නඩුවකදි දිස්ත්‍රික් උසාවියේ තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයට යනවා. එතැනින් ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. මේ වගේ දේවල නිසා නඩු විසඳීම කල්යනවා. ඇත්තටම ගොඩින් බේරාගන්න පුළුවන් සිවිල් නඩු ගොඩක් තියෙනවා යැයිද නීතිඥ රූපසේන කොස්වත්ත මහතා කීවේය.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විසින් නිකුත්කොට ඇති කාර්යසාධන වාර්තාවට අනුව යුක්තිය පසිඳලීමේ පවතින මෙම ප්‍රමාදය වෙනස් කිරීම සඳහා ප්‍රධාන අවශ්‍යතාවයක් වශයෙන් අධිකරණ පද්ධතිය ස්වයංක්‍රීයකරණය කිරීම හඳුනාගෙන ඇත. එහෙත් වර්තමානයේ රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අභියෝගාත්මක කරුණක් බවට පත්ව ඇත. මේ සඳහා විසඳුමක් ලෙස අධිකරණ අමාත්‍යාංශය මගින් 2020 වර්ෂයේ සිට විනිශ්චයකාරවරුන් සංඛ්‍යාව හා අධිකරණ සංඛ්‍යාව වැඩකිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කොට ඇත. 2023 වර්ෂයේ දී අධිකරණ නිලධාරීන් 30 දෙනකු බඳවාගැනීමට කටයුතු කරනු ලැබීය. කෙසේ වුවද දිසා අධිකරණ මුදල් සම්බන්ධ නඩු වලින් පිරී පවතින අතර ඒ සඳහා විසඳුමක් ලෙස සුළු හිමිකම් අධිකරණ හඳුන්වා දීමට කටයුතු කරනු ලැබීය.

ඒ අනුව කොළඹ, මහනුවර, මාතර, සුළු හිමිකම් අධිකරණ ස්ථාපිත කිරීමට කටයුතු කරනු ලැබීය.

එමෙන්ම අධිකරණ සංඛ්‍යාව වැඩිකිරීම සඳහා විශාල ගොඩනැඟිලි සංඛ්‍යාවක් ඉදිකිරීම ආරම්භ වුවද ආර්ථික අර්බුදය හේතුවෙන් බොහෝ ව්‍යාපෘති තාවකාලිකව නතර කිරීමට කටයුතු කරනු ලැබීය. එමෙන්ම අධිකරණ අමාත්‍යාංශය මගින් අධිකරණය වෙත ගොඩගැසෙන නඩු ප්‍රමාණය අවම කරගැනීම සඳහා විකල්ප ආරවුල් විසඳීමේ ක්‍රමවේදය උපරිම වශයෙන් ශක්තිමත් කිරීමට කටයුතු කරනු ලැබීය. එමෙන්ම ඉඩම් ආරවුල් සම්බන්ධයෙන් දිස්ත්‍රික්ක 16ක විශේෂ සමථ මණ්ඩල ක්‍රියාත්මක වන අතර ඒ සඳහා සමථකරුවන් 489 දෙනෙකු සහාය ලබාදෙන බව අධිකරණ අමාත්‍යාංශය මගින් නිකුත්කොට ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවේ සඳහන් වේ.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment