අඩු වන උද්ධමනය සහ බඩු මිල

379

මේ අතර උද්ධමනය වැඩිවීමට වෙනත් අවදානම් සාධක ද නැතුවා නොවේ. මහ බැංකුව පෙන්වා දෙන පරිදි දේශීය බලශක්ති මිල ගණන්වල ඇති විය හැකි ඉහළ යෑම් හා ඒ ආශ්‍රිත ඇතිවිය හැකි පසු බලපෑම් මේ සඳහා වන ප්‍රධාන අවදානම් සාධකයකි. ඒ අතරම ගෝලීය බලශක්ති හා ආහාර මිල ගණන්වල පහළ යෑම දේශීය පාරිභෝගිකයන් වෙත සම්ප්‍රේෂණය වීමේදී ඇති විය හැකි ප්‍රමාද වීම් ආදිය හේතුවෙන් අපේක්ෂිත උද්ධමනය ඉහළ යෑමේ අවිනිශ්චිතතා ඇති විය හැකිව තිබේ.

පසුගිය ඔක්තෝබර් මාසයේ සිටම උද්ධමනය අඩු වීමට පටන් ගෙන ඇත. එහෙත් බඩු මිලෙහි අඩුවක් නැත. මෙහිදී බඩු මිල යනුවෙන් අප අදහස් කරන්නේ කිසියම් භාණ්ඩයක හෝ භාණ්ඩ කිහිපයක මිල මට්ටම නොව රටේ පොදු මිල මට්ටමයි. ඇතැම් භාණ්ඩ කිහිපයක මිල අඩු වීමට මෙන්ම වැඩි වීමට ද ඉඩක් තිබේ. එහෙත් සමස්තයක් එම අඩුවැඩි වීම්වල සාමාන්‍ය අගය ගතහොත් සිදු වන්නේ පොදු මිල මට්ටම වැඩි වීමයි. මේ නිසා උද්ධමනය අඩු වීම ලෙස අදහස් කරන්නේ බඩු මිල වැඩි වීමේ වේගය අඩු වීමයි. එහෙත් පෙරට වඩා අඩු වේගයකින් හෝ සිදු වන්නේ බඩු මිල වැඩි වීමයි. උදාහරණයක් ලෙස උද්ධමනය සියයට 70 නම් රු.100 ක භාණ්ඩයක මිල රු.170 ක් දක්වා වැඩිවෙන අතර උද්ධමනය 65 දක්වා අඩු වුවහොත් සිදු වන්නේ රු.100 ක භාණ්ඩය රු.165 ක් දක්වා වැඩි වීමයි. එනම් භාණ්ඩයේ මිල වැඩි වුවත් උද්ධමනය අඩු වීම නිසා සිදුව ඇත්තේ රු.70 කින් නොව රු.65 කින් භාණ්ඩයේ මිල වැඩි වීමයි. මේ නිසා උද්ධමනය අඩු වුවත් තවදුරටත් බඩු මිල වැඩි වේ. එකම දෙය එහිදී බඩු වැඩි වීමේ වේගය අඩු වීමයි. ඇතැම් අය උද්ධමනය අඩු වූ විට බඩු මිලද අඩුවිය යුතු යයි සිතන නිසා මේ පැහැදිලි කිරීම සිදු කිරීම වැදගත් වනු ඇත. මේ පසුබිම තුළ අඩු වන උද්ධමනය සහ බඩු මිල ගැන අපි මේ ලිපියෙන් සාකච්ඡා කරමු.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ගණනය කළ උද්ධමන අගයන් පෙරේදා (31) ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කළේය. කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 දෙසැම්බර් මාසයේ වාර්තා වූ සියයට 57.2හි සිට 2023 ජනවාරි මාසයේ දී සියයට 54.2 දක්වා පහළ ගොස් ඇත. මේ කියන උද්ධමනය 2022 වසරේ සැප්තැම්බර් මාසයේ දී සියයට 69.8 ක් දක්වාම ඉහළ ගියේය. එනම් සියයට 70 ක් පමණ දක්වා උද්ධමනය ඉහළ ගොස් එය ඔක්තෝබර් මාසයේ සිට අඩු වීමට පටන් ගෙන ඇත. ගිය වසරේ (2022) ජනවාරි මාසයේ පැවති උද්ධමනය වූයේ සියයට 14.2 කි. ඉන් පසු මාසයෙන් මාසය දිගින් දිගටම උද්ධමනය වැඩි වී ඇත. මේ අනුව කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ගණනය කළ උද්ධමනය 2022 පෙබරවාරි මාසයේ දී සියයට 15.1 ක් දක්වා ද, 2022 මාර්තු මාසයේ දී සියයට 18.7 ක් දක්වා ද, 2022 අප්‍රේල් මාසයේ දී සියයට 29.8 දක්වා ද 2022 මැයි මාසයේ දී සියයට 39.1 දක්වා සහ 2022 ජුනි මාසයේ දී සියයට 54.6 දක්වා ද වර්ධනය විය. ඉන්පසු මාසවල ද මේ ආකාරයට උද්ධමනය වැඩි වී සැප්තැම්බර් මාසයේ දී සියයට 69.8 දක්වා උපරිම ලෙස වැඩි වී ඔක්තෝබර් මස සිට ක්‍රමයෙන් අඩු වීමට පටන් ගෙන ඇත.

අඩු වන උද්ධමනය සහ බඩු මිල

අධි උද්ධමන තත්ත්වයකට ගියා නම් උද්ධමනය පාලනය කර ගැනීමට අසීරු තත්ත්වයකට පත් වේ. එවැනි තත්ත්වයක දී ව්‍යාපාර කටයුතු කරගෙන යෑම මෙන්ම සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යෑම ද ඉතා අසීරු තත්ත්වයට පත් වේ. එම ප්‍රමුඛ අවශ්‍යතාව පැවතියේ වේගයෙන් ඉහළ යමින් තිබූ උද්ධමනය පාලනය කර ගැනීමටය. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව උද්ධමනය අඩු කිරීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින්, එය අධි උද්ධමනයක් දක්වා ගමන් නොකිරීමට අවශ්‍ය පියවර ගත්තේය. විශේෂයෙන් මහ බැංකුව සිය ප්‍රතිපත්තිමය පොලී අනුපාත සැලකිය යුතු ලෙස වැඩි කරමින් උද්ධමනය මර්දනය කිරීම සඳහා මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කරමින් පියවර ගත් අතර මේ දක්වාම එම දැඩි මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වේ. 2023 ජනවාරි 24 දින පැවති පසුගිය මුදල් මණ්ඩල රැස්වීමේ දී ද තීරණය කර ඇත්තේ මහ බැංකුවේ ප්‍රතිපත්තිමය පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමටයි. මේ අනුව ගිය සතියේ මහ බැංකුව පොලී අනුපාත අඩු කරනු ඇතැයි බොහෝ දෙනෙක් අපේක්ෂා කළත් එවැන්නක් සිදු නොවූ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 14.50 සහ සියයට 15.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. දේශීය හා ගෝලීය සාර්ව ආර්ථික තත්ත්වයන්ගේ මෑත කාලීන හා අපේක්ෂිත ප්‍රවණතා මෙන්ම පුරෝකථන සැලකිල්ලට ගෙන, උද්ධමන පීඩන පාලනය කිරීමට මුදල් තත්ත්වයන් ප්‍රමාණවත් ලෙස දැඩිව පවතින බව සහතික කිරීම සඳහා දැනට පවතින දැඩි මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බව මුදල් මණ්ඩලයේ අදහස වී ඇත. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මෙසේ ද පවසයි.

‘ එවැනි දැඩි මුදල් තත්ත්ව මෙන්ම දැඩි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් උද්ධමන අපේක්ෂා පහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර එමගින් 2023 වසර අවසානය වන විට උද්ධමනය අපේක්ෂිත මට්ටම් කරා අඩු කිරීමටත් මැදි කාලීනව ආර්ථික සහ මිල ස්ථායීතාව යථා තත්ත්වයට පත් කිරීමටත් මහ බැංකුවට හැකියාව ලැබෙනු ඇත.’

උද්ධමනයේ සිදුවෙන මෙම පහළ යෑම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2023 ජනවාරි මාසයේ දී අපේක්ෂා කරන ලද උද්ධමනය පහළ යෑමේ ප්‍රවණතාවට බොහෝ දුරට අනුකූල වන බව ද මහ බැංකුව පවසයි.

ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 දෙසැම්බර් මාසයේ පැවති සියයට 64.4හි සිට 2023 ජනවාරි මාසයේ දී සියයට 60.1 දක්වා පහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 දෙසැම්බර් මාසයේ පැවති සියයට 53.4හි සිට 2023 ජනවාරි මාසයේ දී සියයට 51.0 දක්වා පහළ ගියේය. 2023 ජනවාරි මාසයේ දී කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ මාසික වෙනස, සියයට 0.43ක් ලෙස වාර්තා විය. මෙයට ප්‍රධාන වශයෙන් දායක වූයේ ආහාර සහ ආහාර නොවන කාණ්ඩවල අයිතමවල මිල ගණන් මාසිකව ඉහළ යෑම වන අතර, එම දායකත්වය පිළිවෙළින්, සියයට 0.23 ක් සහ සියයට 0.20ක් විය. තවද, වාර්ෂික සාමාන්‍ය උද්ධමනය, 2022 දෙසැම්බර් මාසයේ පැවති සියයට 46.4හි සිට 2023 ජනවාරි මාසයේ දී සියයට 49.6 දක්වා ඉහළ ගියේය. වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය ද 2022 දෙසැම්බර් මාසයේ පැවති සියයට 47.7හි සිට 2023 ජනවාරි මාසයේ දී සියයට 45.6 දක්වා පහළ ගිය අතර, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය, 2022 දෙසැම්බර් මාසයේ පැවති සියයට 34.6හි සිට 2023 ජනවාරි මාසයේ දී සියයට 37.6 දක්වා ඉහළ ගියේය. 2023 ජනවාරි මාසයේ උද්ධමන අගයන් මෙසේ සඳහන් කළ හැකිය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සාර්ව ආර්ථික පුරෝකථන අනුව, දැඩි මුදල් හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හේතුවෙන් යටපත් වූ ඉල්ලුම් තත්ත්වයන්, දේශීය සැපයුම් තත්ත්වයන්හි අපේක්ෂිත වැඩිදියුණු වීම් සහ අපේක්ෂිත ගෝලීය බලශක්ති සහ ආහාර මිල ගණන් ලිහිල් වීම හේතුවෙන් දේශීය මිල මට්ටම් පහළ යෑම සිදුව ඇත. එසේම මේ සඳහා හිතකර සංඛ්‍යානමය පදනම් බලපෑම ද හේතු වී ඇත. මේ හේතුවෙන් උද්ධමනයේ පහත වැටීමේ ප්‍රවණතාව 2023 වසර පුරා පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ නිසා ඉදිරි මාසවල දී ද උද්ධමනයේ වේගවත් පහළ යෑමක් අපේක්ෂා කළ හැකිය. මේ අනුව බඩු මිල අඩු නොවුණත්, වේගයෙන් බඩු මිල ඉහළ යන තත්ත්වය පාලනය වනු ඇත. අධික බඩු මිල ගණන් හමුවේ ජනයා ජීවත් වන්නේ ඉතාමත් අපහසුවෙනි. සෑම දෙයකම මිල ගණන් පසුගිය කාලයේ දී වේගයෙන් ඉහළ ගියේය. ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අපේ රුපියල වේගයෙන් පිරිහීම ද මේ තත්ත්වයට හේතුවක් විය. කෙසේ වෙතත් මේ වන විට මහ බැංකුව අනුගමනය නව ක්‍රමවේදය හමුවේ විනිමය ස්ථාවරත්වයක් ඇතිව තිබේ. දැන් විනිමය අනුපාතය විචලනය වන්නේ කිසියම් පරාසයක් තුළ පාලනයක් සහිතවය. මේ වසරේ (2023) ජනවාරි මාසයේ දී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් එනම් සියයට 0.3 කින් ශක්තිමත් වීම ද සිදුව ඇත. ගිය වසරේ (2022) දී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 44.8 කින් දැවැන්ත ලෙස පිරිහීමට ලක් විය. මේ අනුව විනිමය අනුපාත ස්ථාවරත්වයක් ඇතිකරගෙන තිබීම තුළ එය විදේශීය ආනයනික භාණ්ඩවල මිල ගණන් විශාල ලෙස ඉහළ යන තත්ත්වය ද පාලනය වීමට හේතුවක් වනු ඇත. විනිමය අනුපාතය ද වේගයෙන් පිහීමට ලක් වන්නේ නම් එහිදී සියලු ආනයනික භාණ්ඩ මිල ගණන් වැඩි වීම ද සිදුවේ. එය උද්ධමනය වර්ධනය වීමට හේතු වන්නකි. එහෙත් රුපියල වේගයෙන් පිරිහෙන තත්ත්වය පාලනය කර ගැනීමට සමත් වීම නිසා මේ අවදානම බොහෝ දුරට පහව ගොස් තිබේ.

මේ අතර උද්ධමනය වැඩිවීමට වෙනත් අවදානම් සාධක ද නැතුවා නොවේ. මහ බැංකුව පෙන්වා දෙන පරිදි දේශීය බලශක්ති මිල ගණන්වල ඇති විය හැකි ඉහළ යෑම් හා ඒ ආශ්‍රිත ඇතිවිය හැකි පසු බලපෑම් මේ සඳහා වන ප්‍රධාන අවදානම් සාධකයකි. ඒ අතරම ගෝලීය බලශක්ති හා ආහාර මිල ගණන්වල පහළ යෑම දේශීය පාරිභෝගිකයන් වෙත සම්ප්‍රේෂණය වීමේදී ඇති විය හැකි ප්‍රමාද වීම් ආදිය හේතුවෙන් අපේක්ෂිත උද්ධමනය ඉහළ යෑමේ අවිනිශ්චිතතා ඇති විය හැකිව තිබේ. එහෙත් මහජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව ද අඩු වී ඇත. ඒ නිසා වෙනදා මෙන් ඔවුන් භාණ්ඩ සඳහා ඉල්ලුම් කරන්නේ නැත. ඔවුන් එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ ටික ගන්නේ ද ඉතා අපහසුවෙනි. මේ සාධක හේතුවෙන් උද්ධමන පීඩන අඩු විය හැකිව ද තිබේ. කෙසේ හෝ මෙවැනි විවිධ සාධක හමුවේ අපේක්ෂිත උද්ධමනය පහළ යෑමේ අවිනිශ්චිතතා ඇති විය හැකි බව ද කිව යුතුය.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව මෙන්ම ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ද උද්ධමනය අඩු වෙමින් තිබේ. මේ උද්ධමනය සමගම සම්බන්ධ වන තවත් කරුණක් වන්නේ පොලී අනුපාතයි. මේ වන විට පොලී අනුපාත ඉතා ඉහළ මට්ටමක පවතින අතර ඉදිරියේ දී උද්ධමනය වේගයෙන් පහත වැටීමත් සමග පොලී අනුපාතවල ද අඩු වීමක් සිදුවනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. මේ දෙස ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම සාමාන්‍ය ජනයා ද බලා සිටිති. මේ වන විට ඉහළ මට්ටමක පවතින වෙළෙඳපොළ පොලී අනුපාත පහත වැටීම ආරම්භ වී ඇත. එසේම ඉදිරි කාලය තුළ මේ වෙළෙඳපොළ පොලී අනුපාත තවදුරටත් අඩු වනු ඇතැයි මහ බැංකුව පවසයි. උද්ධමනය දිගටම ක්‍රමයෙන් අඩු වීමත් සමග මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික ද අඩු කරනු ඇත. ඒ සම්බන්ධයෙන් මහ බැංකුව විසින් නිකුත් කළ පසුගිය මුදල් ප්‍රතිපත්ති ප්‍රතිපත්ති විවරණ වාර්තාවේ මෙසේ සඳහන් වේ.

‘මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන ලද පරිපාලනමය ක්‍රියාමාර්ග මෙන්ම දේශීය මුදල් වෙළෙඳපොළ ද්‍රවශීලතාව වර්ධනය වීම සහ දේශීය වෙළෙඳපොළෙහි සමස්ත අපේක්ෂා වර්ධනය වීම සඳහා ප්‍රතිචාර වශයෙන් ඉහළ මට්ටමක පවතින වෙළෙඳපොළ පොලී අනුපාතික ක්‍රමයෙන් පහළ යාම ආරම්භ වීමේ සලකුණු නිරීක්ෂණය විය.’

බඩු මිල සම්බන්ධයෙන් සඳහන් කළ යුතු වන්නේ ජනයාගේ ආදායම් මට්ටම එලෙසම තිබියදී පසුගිය වසරේ (2022) සිදු වූ විශාල බඩු මිල වැඩිවීම් සමග ජනයාට තම ජීවන වියදම දරාගත නොහැකි තත්ත්වයට වැඩි වී ඇති බවයි. ඇතැම් අයට ආදායම් මට්ටම වැඩි නොවීමට අමතරව පැවති ආදායම් මට්ටම් අඩු වී ඇති බව ද අප දන්නා කරුණකි. මාසික ආදායම් ලබන අයට වසර තුනකින් පමණ වැටුප් වර්ධක වැඩි වී ද නැත. බෝනස් ගෙවීම් ද සිදුව නැත. මේ සමග ඔවුන්ට විශාල වශයෙන් තම වියදම් රටාවන්වල ගැලපීම් සිදුකර ගැනීමට සිදුව ඇති බවට සැකයක් නැත. මේ වර්ෂය (2023) වාර්තා කරනු ඇත්තේ ඍණ ආර්ථිකයකි. උද්ධමනය අඩු වුවත් සාමාන්‍ය වශයෙන් සැලකිය යුතු ඉහළ උද්ධමන මට්ටමක් ද මේ වසරේ වාර්තා කරනු ඇත. මේ නිසා මේ වසර ද ඉතා දුෂ්කර හා තීරණාත්මක වර්ෂයක් වනු ඇති බවට සැකයක් නැත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment