අඩ සිය වස් අඩක් පුරා ශ‍්‍රාවක ප‍්‍රසාදය දිනා ගනිමින් ලක්හඬ ඉදිරි ගමනක

73

ශ‍්‍රී ලංකාවේ ගුවන් විදුලි ඉතිහාසයේ ඇරැඹුම 1949 වසරේ අගභාගය තරම් ඈතට දිව යයි. 1949 දෙසැම්බර් පළමුවන දා ලංකා ගුවන් විදුලි සේවය Radio Ceylon නමින් ශ‍්‍රාවකයන් අතරට ගිය විද්‍යුත් ජනමාධ්‍යය සතුව 27,000 ක බලපත‍්‍රලාභීන් සිටි බව සඳහන් වේ. 1950 දී Radio Ceylon ආයතනය විසින් වෙළෙඳ සේවයක් ද ආරම්භ කළ පසු ස්වදේශීය හා වෙළෙඳ යන දෙ අංශයකින් වැඩසටහන් ඉදිරිපත් කිරීම ආරම්භවීමෙන් පසු ශ‍්‍රාවකයන්ට තමන් කැමති අංශයක වැඩසටහන් තෝරාගෙන සවන් දීමේ අවස්ථාව සැලසිණ. ස්වදේශීය සේවයේ වැඩසටහන් ශ‍්‍රාවක විනෝදය, අධ්‍යාපනයට නැඹුරු වූ ශාස්ත‍්‍රීය වැඩ සටහන් වූ අතර වෙළඳ සේවය මගින් එතෙර මෙතෙර ජනයාට සරිලන වැඩසටහන් සම්පාදනය වූ අතර වෙළඳ භාණ්ඩ දැන්වීම් ද ප‍්‍රචාරය කළ බව පෙනේ. විවිධ අත්හදා බැලීම් ඔස්සේ නව මං සොයා ගිය ගුවන් විදුලිය 1967 ජනවාරි පස් වන දා ගැසට් නිවේදනයකින් ලංකා ගුවන් විදුලි සංස්ථාව නමින් ලංකාවේ පළමු හා එකම රාජ්‍ය ගුවන් විදුලි ආයතනය බවට පත් වී දශක ගණනාවක් ම ගුවන් විදුලි මාධ්‍යයෙහි තම ආධිපත්‍යය පතුරුවමින් සිටියේ ය. 90 දශකයේ දී පුද්ගලික අංශයේ FM නාලිකා ගුවන්විදුලි විකාශ සඳහා රජයේ අනුමැතිය ලැබීමත් සමග එතෙක් රාජ්‍ය ගුවන් විදුලි මාධ්‍යය සතු කොට ගෙන තිබූ ඒකාධිකාරයේ දෙදරා යාම ආරම්භ වීම ඇරැඹුණි. රජයේ න්‍යාය පත‍්‍ර ඉලක්ක කොටගත් රාජ්‍ය ගුවන් විදුලියෙන් ශ‍්‍රාවකයන් ඈත්වන්නට පටන් ගත්තේ පෞද්ගලික නාලිකා විසින් දේශපාලනයෙන් වියුක්ත ශ‍්‍රාවක ආකර්ෂණය දිනා ගන්නා වූ නව්‍ය වැඩ සටහන් මගින් ශ‍්‍රාවකයන් වෙත වඩාත් සමීපවීම හේතුවෙනි. ලක්හඬ ගුවන් විදුලිය බිහිවන්නේ මෙවන් පසුබිමක ය.

 ලක්හඬ ආරම්භ වුණේ ජාතික ගුවන් විදුලිය තුළ වූ අලස නිද්‍රාවත්, පෞද්ගලික නාලිකාවල අතිධාවනකාරී ගමනත් අතරින් ගලා යන දැනුවත් මාධ්‍ය ක‍්‍රියාකාරීත්වයට පිරිමහින ආයතනයක් ලෙස ආරම්භයේ දී ම කණ්ඩායම් දෙකක් ඒ ගමනට එකතු වුණා. පළමු කණ්ඩායම ජාතික ගුවන් විදුලියේ අත්දැකීම් සහිත පැරණි මාධ්‍යවේදීන්. දෙවැන්න උගත් බුද්ධිමත්, එහෙත් මාධ්‍ය අත්දැකීම් නැති දැක්මක් හා අරමුණක් ඇති තරුණ පිරිස්. ඔවුන්ගේ තරුණ ජවයත් පැරණියන්ගේ නිවැරදි මඟ පෙන්වීමත් විසින් ලක්හඬට අර විවේචනයට (රාජ්‍ය නාලිකාවල රාජ්‍ය ග‍්‍රහණයට නතුවීමට සිදුවීමේ ඛේදවාචකය) එක් නොවී ගමන් කිරීමට හැකි වුණා (උද්ධෘතය : ලක් හඬ ගුවන් විදුලියේ නිර්මාතෘ නිව්ටන් ගුණරත්නගේ පිළිතුර – සන්නිවේදන පිය හසර : ලක් හඬ දස වර්ෂ පූර්ණ ශාස්ත‍්‍රීය සාර සංග‍්‍රහය) ලක් හඬ බිහි වුණේ කිනම් පසුබිමක ද යන්නට අපූරු පිළිතුරක් නිව්ටන් ගුණරත්න හිටපු සභාපතිවරයාගේ ඉහත පිළිතුරෙහි ගැබ් වී ඇත. රාජ්‍ය මාධ්‍ය ආයතනයකට සම්බන්ධිත තවත් මාධ්‍ය ගුවන් විදුලි නාලිකාවක් ලෙස ඉතා කෙටි කාලයක් තුළ ශ‍්‍රාවක ආකර්ෂණය දිනා ගත්, අනෙකුත් තරඟකාරී FM නාලිකා සමග කරට කර තරගයක් දෙමින් ලක් හඬ ගුවන් විදුලිය වසර විසි පහක් තුළ පැමිණ සිටින මේ චාරිකාව මෙරට ගුවන් විදුලි මාධ්‍ය ඉතිහාසයෙහි විශිෂ්ට කඩඉමක් සටහන් කළ අවස්ථාවක් ලෙස ලියැවී ඇත. 1996 නොවැම්බර් 15 වන දා උදෑසන 07.08 ට සුබ මොහොතින් ලක් හඬ මෙරට ශ‍්‍රාවකයන් ඇමතූ දා සිට විසි පස් වසරක අභිමානවත් කාර්ය සාධනයක් සැමරූ පසුගිය පසළොස්වන දා තෙක් ලක්හඬ ශ‍්‍රාවක ජනයාට සමීප ළෙන්ගතු, ආකර්ෂණීය ගුවන් විදුලියක් බවට පත් වී ඇත්තේ එ තුළ ලක් හඬට ම අනන්‍ය වූ ලක්ෂණ රැක ගනිමින් ශ‍්‍රාවක රසාස්වාදනය, දැනුම අධ්‍යාපනය හා සංස්කෘතිය නංවාලන වැඩ සටහන් ඉදිරිපත් කිරීම නිසා ය. ලක්හඬ වැනි ගුවන් විදුලි නාලිකාවක් බිහි කිරීමෙහි ලා රාජ්‍ය අනුග‍්‍රහය නො මඳව ලබා දෙමින් රාජ්‍ය නායිකාව ලෙස චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ දුරදක්නා නුවණ ද ධර්මසිරි සේනානායක ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ මගපෙන්වීම ද අමතක කළ නොහේ. මෙහි ලා වෙසෙසින් ම සිහිපත් කළ යුතු චරිතය වන්නේ ලක්හඬ ගුවන් විදුලියේ නිර්මාතෘ නිව්ටන් ගුණරත්න ය. ගුවන් විදුලිය හා තිබූ සම්බන්ධතාවෙන් මිදී 1997 සිට ස්වාධීන රූපවාහිනිය හා එක්වෙමින් නිව්ටන් ගුණරත්න ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා විසින් ඉටුකරන ලද සම්ප‍්‍රදානය විශිෂ්ට ය. ශ‍්‍රාවක රුචියට නිගා නොදෙන බාල බොළඳ හරසුන් වැඩසටහන් වෙනුවට ශ‍්‍රාවක හදට සමීප ළෙන්ගතු වැඩසටහන් රාශියක් හඳුන්වා දෙමින් ලක්හඬ යනු තවත් රාජ්‍ය මාධ්‍ය ආයතන හොරණෑවක් නොවන බව ලොවට හඬ ගා කියා සිටියේ ය.

 ලක්හඬින් ඇසුණේ උගත් හා මනා හඬ පෞරුෂයක් සතු වූ යෞවන යෞවනියන්ගේ හඬයි. ඔවුහු නිවැරදි බස භාවිත කළහ. ඔවුන්ගේ ඇමතුම් සිංහල මිසක් සිංග්ලිෂ් නොවී ය. සියලූ වයස් මට්ටම්හි පිරිස් වෙනුවෙන් නිර්මාණය වූ නිෂ්පාදන හා සජීවී වැඩසටහන් තුළින් ප‍්‍රකට වූ නිර්මාණශීලීත්වය, ඉදිරිපත් කිරීමේ විලාස, ශ‍්‍රාවක සිත් ගනී. ලක්හඬ තම ගුවන් විදුලි මාධ්‍ය නාලිකාව මගින් ජනජීවිතය පෝෂණයෙහි ලා ඔවුන්ගේ බුද්ධි වර්ධනය, කලා රසාස්වාදය ඔසවා තැබීමට විවිධ වැඩසටහන් මගින් දායක වනවා මෙන් ම ප‍්‍රජා සත්කාර වැඩසටහන් ඔස්සේ විපතට පත් ජන ජීවිත ඉන් මුදවා ගැනීමට හෝ එවන් ජීවිතවලට සහන සැලසීමට හෝ ඉදිරිපත් වන ගුවන් විදුලි නාලිකාවක් බව ඔප්පු කරන ලද අවස්ථා බොහොමයකි. පුවත් වාර්තාවෙහි දී එ සැණින් පුවත් ගෙන ඒමේ ඉදිරියෙන් ම සිටින්නේ ලක්හඬ ගුවන් විදුලිය යි.

 * බුද්ධදාස ගලප්පත්ති

අඩ සිය වස් අඩක් පුරා  ශ‍්‍රාවක ප‍්‍රසාදය දිනා ගනිමින්  ලක්හඬ ඉදිරි ගමනක
advertistmentadvertistment