අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා – සීඅයිඞී හිටපු  ඞීඅයිජීගෙන් පෙත්සමක්

177

සහරාන් හෂීම් ප‍්‍රමුඛ මුස්ලිම් අන්තවාදීන් පිළිබඳව නිසි පරිදි පරීක්‍ෂණ නොකළ බවට චෝදනා නඟා තමා අත්අඩංගුවට ගැනීම හා ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීම වළක්වන අතුරු  නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා ඊයේ (7 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 9(1) වගන්තිය යටතේ තමා අත්අඩංගුවට ගැනීම සඳහා රැුඳවුම් නියෝග නිකුත්කිරීමෙන් ආරක්‍ෂක ඇමැති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වළක්වන අතුරු නියෝගයක් නිකුත්කරන ලෙසද පෙත්සම්කරු එමඟින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

පාස්කු ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙන් තමා වගකිවයුතු බවට මහජන ආරක්‍ෂක ඇමැතිවරයා වෙත ලැබුණු බව කියන නිර්නාමික පෙත්සමක් මත තමාට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කුලියාපිටිය මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉකුත් පෙබරවාරි 10 දා ඉදිරිපත් කළ බී. වාර්තාව අනුව ඉදිරි පියවර ගැනීම වළක්වන අත්හිටුවීමේ නියෝගයක් නිකුත්කරන ලෙසටද රවී සෙනෙවිරත්න මහතා එමඟින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

එවකට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි තමා සහරාන්ගේ බිරිඳගේ නිවසට ගිය පරීක්‍ෂණ කණ්ඩායම එම පරීක්‍ෂණ නිසි ලෙස සිදුකිරීමට මෙහෙය වූවේ නැතැයි එම බී. වාර්තාව මගින් පෙන්වාදී ඇති බවත් තමා එම විමර්ශනවලට කිසිදු ආකාරයකින් සම්බන්ධ නොවූ බවත් සිදුකළේ පරිපාලන කටයුතු පමණක් බවත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වාදී ඇත.

එසේ තිබියදී එම බී. වාර්තාව මත තමාව කුමන අවස්ථාවාකදී හෝ අත්අඩංගුවට ගැනීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවද මහජන ආරක්‍ෂක ඇමැතිවරයා, එම අමාත්‍යාංශයේ ලේකම්වරයා, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා හා නීතිපතිවරයා ඇතුළු 14 දෙනකු වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් එම පෙත්සම මගින් පෙන්වාදී ඇත.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment