අත්‍යවශ්‍ය කටයුත්තක් නැතිනම් එළියට යන්න එපා….. – කොවිඩ් වැළඳුණු අම්මලාට කලින් බබාලා ලැබෙන ඉඩකඩ වැඩියි – ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය තිරාන් ඩයස්

195

කොවිඞ් 19 වෛරස ආසාදනය ගැබිනි මව්වරුන්ට කොහොමද බලපාන්නේ?

සාමාන්‍යයෙන් ගැබිනි මවකට ඕනෑම ආසාදන තත්ත්වයක් ඇති වුණාම ඒක මවගේ සෞඛ්‍යයට බලපානවා වගේම කුසයේ ඉන්න දරුවාට බලපාන අවස්ථාත් තියෙනවා. උදාහරණයක් විදියට පැපොල (Chickenpox), රුබෙල්ලා වගේ වෛරස් ගැබිනි මවකට ආසාදනය වුණාම එමගින් කුසයේ ඉන්න දරුවාට කායික ආබාධ ඇතිවෙන්න පුළුවන්. නමුත් මේ කොවිඞ් 19 කියන වෛරසය ගැබිනි මවට ආසාදනය වුණාට කුසයේ ඉන්න දරුවාට කායික ආබාධ ඇති වෙන්නේ නෑ. ඒ වගේම අම්මගෙන් ආසාදනය බබාට යන්න තියෙන අවදානමත් අඩුයි. අපි කියනව ඒකට සිරස් සම්පේ‍්‍රෂණය (Vertical Transmission) කියලා. ඒ කියන්නේ දරුවා ඍජුව අම්මගෙන් කුස තුළ ඉන්නකොට ලේ හරහා වෛරසය බබාට යන්න තියෙන අවදානම ගොඩක් අඩුයි. එහෙම වෛරස් එක ගියා වුණත් බබාට කායික ආබාධ එන්නෙ නෑ. මොකද කොවිඞ් 19 ශ්වසන ඍැිචසර්එදරහ වෛරස් එකක්.

අත්‍යවශ්‍ය කටයුත්තක් නැතිනම් එළියට යන්න එපා..... - කොවිඩ් වැළඳුණු අම්මලාට කලින් බබාලා ලැබෙන ඉඩකඩ වැඩියි  - ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය තිරාන් ඩයස්

කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ මෙරට ගර්භණී මාතාවන්ට සිදුවිය හැකි බලපෑම, ඔවුන් පත්ව ඇති අවදානම සහ ඔවුන් කොවිඞ් තත්ත්වයෙන් ආරක්ෂා වීමේ වැදගත්කම මෙන්ම, ගර්භණී මව්වරුන් එන්නත්කරණය පිළිබඳව දැනගත යුතු දෑ ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය තිරාන් ඩයස් මහතා ‘දිවයින’ වෙනුවෙන් සිදුකළ සාකච්ඡාවකි.

නමුත් ලෝකයේ කරපු පර්යේෂණවලින් හොයාගන්න තියෙනවා කොවිඞ් ආසාදිත ගැබිනියකට අඩු කාලයෙන් ප‍්‍රසූතියට (Preterm Labor) යන්න තියෙන අවදානම වැඩි බව. මේක වෙන්න පුළුවන් හේතු තමයි ගැබිනි මව ශ්වසන ආබාධයන්ට ගොදුරු වීම. නැත්නම් කොවිඞ් නිව්මෝනියා තත්ත්වය ඇතිවෙලා ඇයගේ ඔක්සිජන් අවශ්‍යතාව (Oxygen Requirement) ගොඩක් වැඩි වීම. එහෙම වුණොත් අපිට සමහර වෙලාවට බබාව කලින් ගන්න වෙනවා. ඒ කියන්නේ අම්මා ප‍්‍රසවයට ගියේ නැති වුණත් අපි සිසේරියන් සැත්කමක් කරලා හෝ වෙනයම් ක‍්‍රමයකින් බබාව කලින් ගන්න වෙනවා. මොකද බබා බඬේ ඉන්නකොට බබාට ඕන කරන ඔක්සිජන් සැපයුම (Oxygen Supply) එක්කම අම්මට ඔක්සිජන් සැපයුම ගොඩක් අවශ්‍ය වෙන හින්දා. අම්මගෙ ජීවිතේ අනතුරේ නම් තියෙන්නේ අපි ඒ අවස්ථාවෙ තීරණය කරනවා බබාව කලින් ගත්තොත් අම්මගෙ සෞඛ්‍ය වර්ධනය වෙයි කියලා. එවැනි හේතු නිසා තමයි සමස්තයක් වශයෙන් කොවිඞ් වැළඳුණු අම්ම කෙනෙකුට කලින් බබෙක් ලැබෙන්න තියෙන අවදානම වැඩි වෙන්නෙ.

නමුත් ගැබිනියකට සමහර වෛරස්, බැක්ටීරියා ආසාදන ඇති වුණාම බබා කුස තුළදී මිය යන්න තියෙන අවදානම වැඩියි. නමුත් මෙතෙක් කරපු පර්යේෂණවලින් කොවිඞ් 19 නිසා බබා මව් කුසේ දී මිය යන්න තියෙන අවදානම වැඩියි කියල හොයාගෙන නෑ. කොවිඞ් ආසාදිත ගැබිනි මව්වරු සාමාන්‍ය අය වගේම ඇතැම් විට රෝග ලක්ෂණ පෙන්නුම් කරන් නෑ. අපි කියනවා Asymptomatic කියලා. හැබැයි ඒ ගැබිනි අම්මලට මොකක් හරි රෝග ලක්ෂණක් බරපතළව ආවොත්, ඒ කියන්නේ කොවිඞ් නිව්මෝනියා තත්ත්වයට ගියොත් සාමාන්‍ය අයට වඩා සංකූලතාවලට පත්වෙන්න තියෙන අවස්ථාව වැඩියි. උදාහරණයක් විදියට කොවිඞ් හැදුණු ගැබිනි මවකට හුස්ම ගන්න බැරි අමාරුවක් ඇති වෙනකොට දැඩි සත්කාර ඒකකයට යන්න තියෙන අවදානම ගර්භණී නොවන කාන්තාවකට වඩා සාපේක්ෂව ගොඩක් වැඩියි. ඒක තමයි දැනට ලෝකයේ තියෙන ප‍්‍රවණතාව.

කොවිඞ් 19 වෛරසයේ නව ප‍්‍රභේද ගැබිනි මව්වරුන්ට කොහොමද බලපාන්නේ?

වෛරස් වර්ග ප‍්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි, වෛරස් එකේ න්‍යෂ්ඨියේ DNA තියෙන වෛරස් සහ න්‍යෂ්ඨියේ RNA න්‍යෂ්ඨික අම්ල තියෙන වෛරස් වෛරස් විදියට. එතකොට DNA තියෙන වෛරස් තමයි සාමාන්‍යයෙන් පැපොල (Chickenpox), රුබෙල්ලා වගේ වෛරස්. ඒවා හරි ස්ථාවරයි, ස්ථිරයි. ඒ කියන්නේ ප‍්‍රධාන වශයෙන් බාහිරමය සාධක නිසා ඒ වෛරස් එකේ තියෙන ජානමය සංයුතිය වෙනස් වෙන්නේ නැහැ. ඒක වටේ තියන ප්‍රෝටීනය වෙනස් වෙන්නේත් නැහැ. ඒක තමයි අපිට එක පාරක් පැපොල  (Chickenfox) හෝ රුබෙල්ලා හැදුණොත් ජීවිත කාලෙ පුරාම අපේ ශරීරයේ ඒකට අවශ්‍ය කරන ප‍්‍රතිශක්තිය ඇති වෙන්නේ.

ඒ වගේ තමයි අපිට පැපොල (Chickenfox) එන්නත ගත්තත්, රුබෙල්ලා එන්නත ගත්තත් ආයෙ ඒ රෝගය වැළඳෙන්නේ නෑ. මොකද ඒ වෛරසය ස්ථාවරයි. කාලෙන් කාලෙට වෙනස් වෙන්නෙ නෑ. අද තියෙන වෛරසය තමයි අවුරුදු සියයක් ගියත් තියෙන්නෙ. ඒකට ලැබෙන ප‍්‍රතිශක්තිකරණ දිගටම තියෙනවා.

නමුත් RNA න්‍යෂ්ටික අම්ලෙන් හැදෙන වෛරස් පරිසරයේ තියෙන යම් යම් දේවල්වලට නිරාවරණය වුණාට පස්සේ එකේ ජානමය සංයුතිය (Genetic
composition) වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට සූර්යා ලෝකයේ දී, වැඩි හෝ අඩු උෂ්ණත්වයේ දී වෛරස් එක වෙනස් වෙලා එකේ ජානමය ද්‍රව්‍ය (Genetic Material)  එක, RNA  අනුක‍්‍රමය (RNA sequence) වෙනස් වුණාම ඒකෙන් හැදෙන ප්‍රෝටීන් එක වෙනස් වෙනවා. ඒක වටේ තියන Spike Projection එක වෙනස් වෙනවා. ඒක තමයි ගැටලූව. උදාහරණයක් විදිහට කොවිඞ් වෛරසයේ මුලින්ම ආව ප‍්‍රභේදයට වඩා ඉන්දියානු ප‍්‍රභේදය වෙනස්. ඊට වඩා එංගලන්ත ප‍්‍රභේදය වෙනස්. ඒවගෙ තියෙන්නේ පොඩි පොඩි වෙනස්කම් පමණයි. ලොකු වෙනස්කම් නෙවෙයි. ඒ සංයුතිය වෙනස් වුණු ගමන් වෛරසය ශරීරය තුළ වැඩ කරන ආකාරය වෙනස් වෙනව. එතකොට ඒකෙන් එන රෝග ලක්ෂණ පොඞ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි දැකල තියන දේ තමයි මුලින් තිබුණු කොවිඞ් වෛරස් එකට වඩා පසුව ඇතිවෙන ප‍්‍රභේද නිසා සංකූලතාවලට යන්න තියෙන අවදානම පොඞ්ඩක් වැඩි වෙනවා. ඒ වගේම අපි මොකක් හරි එන්නතක් හොයා ගන්නෙ අර මුලින්ම ආපු වෛරසයට. සමහරවිට ඒ එන්නත අර වෙනස් වුණ වෛරස් ප‍්‍රභේදයට එරෙහිව ක‍්‍රියාත්මක නොවන අවදානමක් තියෙනවා.

කොවිඞ් වෛරස ප‍්‍රතිශක්තිකරණ එන්නතකින් ගැබිනි මවකට සිදුකරන බලපෑම මොකක්ද?

මුලින්ම මේ එන්නත ගර්භණිය සමයේදී කොහොමද දෙන්නෙ කියලා මම පැහැදිලි කරන්නම්. ප‍්‍රධාන වශයෙන් එන්නත් වර්ග දෙකක් තියෙනවා. ගර්භණී සමයේදී ලබාදිය හැකි එන්නත් සහ ලබාදිය නොහැකි එන්නත් විදියට.

ඕනෑම එන්නතකින් අපි කරන්නේ වෛරස් එකක නැත්නම් බැක්ටීරියාවක තියන ප්‍රෝටීන් කොටසක් නැත්තම් සම්පූර්ණයෙන් අක‍්‍රීය කරපු වෛරස් එකක් හෝ භාගෙට මරණ ලද වෛරස් එකක් පුද්ගලයාගේ ශරීරයට ඇතුළත් කරල ඒ වෛරස් එකට විරුද්ධව ශරීරයේ ප‍්‍රතිශක්තිකරණය ක‍්‍රියාත්මක කරවන එක. එතකොට අපේ ශරීරයේ ප‍්‍රතිදේහ හදනවා. ඒ වෛරසය ආයෙමත් ශරීරයට ඇතුළු වුණොත් අර ප‍්‍රතිදේහවලින් ඒවා විනාශ කරල දාන එක තමයි මූලික සිද්ධාන්තය.

ජීවී එන්නත් (Live Vaccines) සහ අජීවී එන්නත් (Dead Vaccines) කියලා ලෝකයේ ප‍්‍රධාන එන්නත් වර්ග දෙකක් තියෙනවා මේ ජීවී එනනත් අපි ගර්භණී සමයේදී අනුමත කරන්නේ නැහැ. මොකද මේවගෙ තියෙනවා ජීවි වෛරස් කොටස්. ඒවා ඉතාම සුළු වශයෙන් ඇඟ ඇතුළෙදි බෙදෙනවා. මේ බෙදීම සිදුවන කාලයේ දී ප‍්‍රතිශක්තිය ඇතිවෙලා ඒවා විනාශ කරලා දානවා. මේ ජීවී එන්නත්වල Theoretically Risk එකක් තියෙනවා වැදෑමහ හරහා බබාට ගිහින් බබාට එය ආසාදනය වෙයි කියලා. ඒ නිසා ඒ ජීවී එන්නත් ගර්භණී සමයේ දී අනුමත කරන්නේ නැහැ. ඉතිරි එන්නත් වර්ගය අජීවී ඒවා. ඒවා මවගේ ශරීරය ඇතුළෙ බෙදීමක් වෙන්නේ නැහැ.

ඒවාගෙන් ගර්භණී අයට බලපෑමක් වෙන්නේ නෑ. දැනටමත් ඒවා කිසි ප‍්‍රශ්නයක් නැතුව භාවිතා කරනවා.

කොවිඞ් 19 එන්නත් ගැන බැලූවොත් ලෝකෙ කොවිඞ් 19 එන්නත් හදන ක‍්‍රම හතරක් තියෙනවා. ඒ හතරෙන්ම සාදන්නේ එන්නත්. ඒකට යොදා ගන්නේ මැරුණු වෛරස් කොටසක්, නැත්නම් තනිකරම වෛරස් එකක් හෝ වෙනයම් තාක්ෂණයක්.

මුලින්ම ආපු ෆයිසර් එන්නත ගත්තම ඒක අලූත්ම තාක්ෂණයකින් හැදුවේ. ඒ තාක්ෂණය මීට පෙර භාවිතා කළේ බ‍්‍රසීලයෙන් මතුවුණු ඩෙංගුවලට සමාන සීකා (Zika) කියන මදුරුවන්ගෙන් බෝවන වෛරස් එකකට. ඔවුන් ඒ වෛරස් එකට උත්තරයක් විදියට mRNA යොදා ගන්නවා. මෙහිදී වෛරස් එකේ කිසිදු කොටසක් භාවිත නොකර ශරීරයට සිග්නල් එකක් දෙනවා. ඒ සිග්නල් එකට අනුව ශරීරය ඇතුළෙන්ම වෛරස් එකට අදාළ පෝටීන් එක නිපදවෙනවා. ඒකට ශරීරය ඇතුළෙන් ප‍්‍රතිශක්තිකරණය සිදුවෙලා ප‍්‍රතිදේහ නිපදවනවා. ඒක තමයි දැන් තියෙන නවීනතම තාක්ෂණය. මොඩර්නා එන්නත නිපදවීමේදීත් භාවිත කරන්නේ ඒ තාක්ෂණයමයි.

ලංකාවට ආපු කොවිෂීල්ඞ් කියන ඔක්ස්ෆර්ඞ් ඇස්ට‍්‍රා සෙනිකා එන්නත සහ ස්පුට්නික් එන්නත කියන දෙකම Vectors vaccines ඒ කියන්නේ කොවිඞ් වෛරසයේ තියෙන මොකක් හරි ප්‍රෝටීන් එකක් අපි ශරීරයට දෙන්න ඕනනෙ. ඒක අරගෙන යන්න මොකක් හරි වාහකයෙක් ඕන. ඒකට මේ එන්නත්වලදී භාවිත කළා චිම්පන්සියෙක්ගෙන් ගත්ත අජීවී වෛරස් එකක්. ඒ වෛරස් එක හරහා කොවිඞ් වෛරසයේ ප්‍රෝටීන් එක ශරීරයට ලබා දෙනවා. මේකත් අජීවී එන්නතක් නිසාත්, සතෙකුගෙන් ලබාගත් වෛරස් එකක් නිසාත් මිනිස් ඇඟ තුළ වැඩෙන්නෙවත්, බෙදන්නෙවත් නැහැ.

ලංකාවට ඇවිල්ලා තියෙන සිනොෆාම් එන්නතත් තනිකරම අජීවී වෛරස් එකක් අඩංගු එන්නතක්. ඒකෙ ප‍්‍රශ්නය තමයි වෛරස් එක මරන්න පාවිච්චි කරන රසායන ද්‍රව්‍යය මොකක්ද කියලා. ඒකට පාවිච්චි කරන්නේ ඇලූමිනියම් හයිඩ්‍රොක්සයිඞ් කියලා රසායන ද්‍රව්‍යයක්. ඒක ගර්භණී කාලේ දුන්නට කමක් නැද්ද අහනව. මේ එන්නත ගර්භිණී කාලේ දුන්නට මවට හෝ කුසයේ සිටින දරුවාට ප‍්‍රශ්නයක් නොවන බව පර්යේෂණවලින් සොයාගෙන තියනවා.

මේ මොන එන්නත භාවිත කළත් එමගින් අම්මට හෝ දරුවාට ප‍්‍රශ්නයක් ඇති වෙන්න කිසිදු හේතුවක් නැහැ. දැනට ෆයිසර් එන්නත් ගැබිනි මව්වරු විසි දාහකට දීලා තියෙනවා ඒ විසි දාහෙන් එක්කෙනෙකුටවත් එහෙම සංකූලතා ඇති වෙලා නැහැ. අනිත් එන්නත් වලිනුත් එහෙමයි. එන්නත භාවිත කරන එකේ වාසි තමයි රෝගය වැළඳුනහොත් නිව්මෝනියා තත්ත්වයට යන්න, මරණයට පත්වෙන්න තියෙන අවදානම බොහෝ දුරට අඩු කරන එක. ඇත්තටම ගැබිනි මව්වරුන්ට එහෙම ලොකු අවදානමක් නැහැ. නමුත් එන්නත මගින් කොරෝනා වෛරස් ආසාදනයෙන් ඇති විය හැකි පොඩි අවදානම හෝ අඩු කරලා දෙනවා. එතකොට අපි එන්නත

ලබාගන්න එකේ වාසි සහ අවාසි සලකා බැලූවොත් එන්නත ගන්න එක හොඳයි කියලා තමයි ප‍්‍රසව හා නාරි වෛද්‍ය සංගමය මගින් ප‍්‍රකාශ කරලා තියෙන්නේ. නමුත් අපි බලහත්කාරයෙන් එන්නත ගන්න කියන්නේ නැහැ. මම කතා කළ කරුණු කාරණා අම්මලාට කියලා දීලා තමයි අම්මලාට සුදුසු තීරණයක් ගන්න කියන්නේ.

නමුත් විශේෂයෙන්ම කියන්න ඕන හැම ගැබිනි මවක්ම එන්නත් ලබා ගත්තෙ නැති වුණාට වඩා වැඩි අවදානම් සහිත කාණ්ඩවල අයට මෙම රෝගය ඇති වෙන්න තියෙන අවස්ථා වැඩියි. උදාහරණයක් විදියට සෞඛ්‍ය සේවයේ නියුතු ගැබිනි මව්වරු, කායික ආබාධ සහිත මව්වරු, අධික ස්ථූලතාවයෙන් යුතු මව්වරු වැනි අයට වෛරසය ආසාදනයේ අවදානම ඉහළයි. එවැනි මව්වරුන්ට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සංකූලතා ඇති වෙන්න තියෙන අවස්ථාව වැඩියි. ඒ වගේ අයට එන්නත ලබා ගැනීම වඩාත්ම හොඳයි කියලයි අපි කියන්නේ.

කොවිඞ් 19 රෝග ලක්ෂණ නොපෙන්වීම ගැන කතා කළොත්?

කොවිඞ් රෝගය වැළඳුණු බහුතරයක් තමාට මේ රෝගය වැළඳිලා ඉන්නේ කියලා දන්නේ නැහැ. සමහරුන්ට රෝගය ආසාදනය වෙලා දන්නෙම නැතුව සුව වෙනවා. අපේ ඇඟට කිසිම අසනීප තත්ත්වයක් නොදැනීම එකවරම මිය යන්නේ නැහැ. නමුත් මෙතන තියෙන ප‍්‍රශ්නය තමයි ගොඩක් ගැබිනි අම්මලා රෝග ලක්ෂණ තිබුණත් මේ පවතින තත්ත්වයේදි බෙහෙත් ගන්න එළියට යන්න තියන අපහසුතා නිසා වෛද්‍යවරයකු හමුවෙලා ප‍්‍රතිකාර ගන්න එකේ අඩුවක් තියෙනවා.

තව දෙයක් තමයි කොවිඞ් ආසාදනයේ රෝග ලක්ෂණ වෙන්කරල අවබෝධ කරගන්න ඕන. සමහර අම්මලාට හතිය, ඇදුම තියන අය ඉන්නවා. එයාලට උදේට උදේට හතිය වගේ එනවා. එයාලා හිතනවා මේ අපහසුව හතිය හරි ඇදුම හරි හින්දා ඇති වෙච්ච දෙයක් කියලා. එයාලා පරණ බෙහෙත් බිබී ඉන්නවා. ඒක හොඳ නැහැ. උණක් කැස්සක් හුස්ම ගන්න අපහසුතාවක් තියෙනව නම්, ගඳ සුවඳ නොදැනී යනවා නම් ඒ රෝග ලක්ෂණ එන්න එන්නම වැඩි වෙනවා නම් වෛද්‍ය ප‍්‍රතිකාර කරා යොමු වෙන්න ඕන. මොකද මේ රෝගෙ එක තත්ත්වයක් තියෙනවා ඒ අවස්ථාවෙ ඉඳලා බරපතළ තත්ත්වයට පත්වෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ. ඒ කාලෙදි අවශ්‍ය කරන ප‍්‍රතිකාර ටික හරියටම කරගන්න ඕන. නැත්නම් අවසානයේදී තත්ත්වය ගොඩක් බරපතළ වෙනවා.

මෙම රෝගයෙන් ආරක්ෂා වෙන්න ගැබිනි මව්වරුන් විශේෂයෙන්ම කළ යුතු දේවත් තියෙනවද?

IDH‍ රෝහල තමයි වැඩිම කොවිඞ් රෝගීන් ගණනක් බලන රෝහල. මේ රෝහලේ සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ එක්කෙනෙකුටවත් කොවිඞ් ආසාදනය වුණේ නැහැ. ඒකට හේතුව වෛද්‍ය කාර්ය මණ්ඩලයට ගැළපෙන සෞඛ්‍ය පුරුදු ඔවුන් ඇති කර ගත්තා. නමුත් අපි දන්නවා දැන් රෝහල්වල සාමාන්‍ය සෞඛ්‍යය කාර්ය මණ්ඩලය එන්නත ගත්තා වුණත් රෝගය වැළඳිලා තියෙනවා. එකෙන් අදහස් කරන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වුණත් රෝගීන් බලනකොට නිසි පෙර සූදානමක් ගත්තෙ නෑ කියලා. ඒ වගේ තමයි ගැබිනි අම්මලා ද මේ වෛරස් එකෙන් ආරක්‍ෂා වෙන්න හැමෝම සිදුකරන මූලික දේවල් අනුගමනය කළ යුතුයි. ප‍්‍රධානවම අත්‍යවශ්‍ය කාරණයක් නැත්නම් ගෙදරින් එළියට යන්න වුවමනාවක් නෑ.

සංවාද සටහන – නදිරා දුලාංජලී
සන්නිවේදන හා මාධ්‍ය ඒකකය
කැලණිය විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment