අතින් පයින් ද කියලා ඇහුවාම එහෙමත් පුළුවන් කිව්වා: ආරක්‍ෂක ලේකම් හා හමුදාපති පාර්ලිමේන්තුවේදී මට තර්ජනය කළා ඒ දෙදෙනා වරප්‍රසාද කමිටුවට කැඳවන්න – චන්දිම වීරක්කොඩි මැතිසබයේදී කියයි

2332

මේක බරපතළ කාරණයක් – අනුර කුමාර දිසානායක

හමුදාවේ උසස් නිලධාරීන්ගේ වාහන භාවිතය ගැන කතා කළ තමාට ආරක්ෂක ලේකම් සහ යුද හමුදාපති පාර්ලිමේන්තුවේදී පෙරේදා (05 දා) තර්ජනය කර ඇති බවත් ඉන් තමාගේ වරප්‍රසාද කඩවී ඇති බැවින් එම නිලධාරීන් දෙදෙනා වරප්‍රසාද කමිටුවට කැඳවා පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටින බවත් ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (06දා) පැවසීය.

තමා මීට පෙර දිනකදී එම නිලධාරීන්ගේ වාහන සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කළේ ජනතාව වෙනුවෙන් බව ද ජනතාව වෙනුවෙන් කතා කිරීම විවිධ හෙන්චයියන්ට වැළැක්විය නොහැකි බව ද මන්ත්‍රීවරයා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් කීය.

එහිදී චන්දිම වීරක්කොඩි මහතා මෙසේද පැවසීය –

හමුදාවේ ඉහළ නිලධාරීන්ගේ වාහන පාවිච්චිය ගැන මම කරපු ප්‍රකාශයක් ගැන ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී ආරක්ෂක ලේකම්වරයා සහ හමුදාපතිවරයා තර්ජනාත්මක ප්‍රතිචාරයක් දැක්වූවා. කමිටුව ඇතුළේ පාර්ලිමේන්තුව ඇතුළේ හැසුරුණේ චණ්ඩි වගේ. මම ඇහුවා අතින් පයින් ද කියලා. එතකොට කිව්වා එහෙමත් පුළුවන් කියලා. මෙයා සතෙක් ද රස්තියාදුකාරයෙක් ද ලේකම්වරයෙක් ද. හමුදාපති ආරක්ෂක ලේකම් මට දිගින් දිගටම තර්ජනාත්මකව කතා කළා. මේ සිද්ධියෙන් මගේ මන්ත්‍රී වරප්‍රසාද කඩවුණා. මේ පිළිබඳව සොයා බලා කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.

මේ රටේ යුද හමුදාව අඩු කළ යුතුයි කියන කාරණය පාර්ලිමේන්තු කාරක සභාවේදී සාකච්ඡා කළා. සොල්දාදුවන් අඩු කරනවට වඩා ඉහළ නිලධාරීන්ගේ අනවශ්‍ය නාස්ති කපා හරින්න කියලා මම එතනදි කිව්වා. ඇමැතිවරුන් පවා දැන් අනවශ්‍ය විදිහට නාස්ති කරන්නේ නැහැ. අපි ඒ ගෞරවය දෙනවා. නමුත් ආරක්ෂක ලේකම් ඇතුළු යුද හමුදා නිලධාරීන්ගේ ක්‍රියා කලාපය ගැන මම කතා කරනවා. අපේ රට පත්වෙලා තියෙන තත්ත්වය අපි දන්නවා. මිනිස්සුන්ට කන්න නෑ. මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් නැහැ. යුද හමුදාවේ විශ්‍රාම ගිය බොහෝ දෙනකුට විශ්‍රාම වැටුප ලැබෙන්නේ නෑ. නමුත් හමුදාපති ආරක්ෂක ලේකම් යන විදිය දැක්කම පුදුම හිතෙනවා. හමුදාපතිගෙන් නිල නිවසේ වත්ත හදන්න රුපියල් කෝටි අටක් මේ වෙලාවේ වැය කරනවා. මේ වගේ දේවල් නවත්තන්න. ආරක්ෂක ලේකම් සිවිල් ගුවන් සේවා අධිකාරියේ බෝඩ් එකේ ඉන්නවා. එයා එතනට යන්න කලින් පහළොස් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් ඇවිල්ල ඒ පරිශ්‍රය චෙක් කරනවාලු, විශාල නැටුමක් නටනවලු. කාගේ සල්ලිද මේ. අපි මේවා නවත්තන්න කිව්වම පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ තර්ජනාත්මකව කතා කරනවා.

අපි නිදහස් චතුරස්‍රයට ඇවිදින්න යනවා. ආරක්ෂක ලේකම් උදේට ඇවිදින්න යනකොට ඔබතුමා දකිනවා. ගෞරවනීය සොල්දාදුවන් දෙන්නෙක් බල්ලො ඉස්සරහින් අරගෙන යනවා. පස්සෙන් ජීප් එකක් යනවා, තව වාහනයක් යනවා. කාගේ සල්ලිද මේ. මිනිස්සු බනින්නෙ 225ට. අපේ ගමේ පන්සලට ආවා. බද්දේගම. පන්සලට එන්න කලින් වෙනම කණ්ඩායමක් ආවා. සිය ගණනක්. හාමුදුරුවන්ට කන්න දී ගන්නවත් විදියක් නැති වුණා. මේ නිලධාරියෙක් කරන වැඩ. ආරක්ෂක වියදම් වෙන් කරන්නේ අපි අත උස්සලා. ඉතින් මෙහෙම කටයුතු කරන කොට අපේ රට බංකොලොත් වෙන එක අහන්න දෙයක්ද. යුද්ධ කරපු රණවිරුවන්ට අපි ඉහළින්ම ගරු කරනවා. නිලධාරීන් කිහිප දෙනකුට අනේක විධ සැප විඳින්න අවසර දෙන්න ඕනද. රට වෙනුවෙන් කතා කරන මන්ත්‍රීවරයකුට මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා තර්ජනය කරන්න පුළුවන් නම් ඔහුට විරුද්ධව කටයුතු කළ යුතුයි. මම කතා කළේ ජනතාව වෙනුවෙන්. අපේ කටවල් වහන්න පුළුවන් වෙන්නේ මරලා විතරයි. මිනිසුන් වෙනුවෙන් කතා කරන එක ඔය හෙන්චයියන්ට වළක්වන්න බැහැ.

අනුර කුමාර දිසානායක මහතා-

මේක බරපතළ කාරණයක්. ඒත් පටිගතවුණු දේවල් වහාම පරික්ෂාවට ලක් කරන්න. ඒ වගේම ඒවා ආරක්ෂා කිරීමට කටයුතු කරන්න.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment