අතීතකාමී පම්පෝරිය, ප්‍රගතිශීලී වර්තමානය සහ රට ගොඩනැගීමේ කලාව

647

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය සතියේදී තීරණාත්මක කථා දෙකක් කරන ලදී. ඉන් පළමුවැන්න පාර්ලිමේන්තුවේදී කළ කතාවය. මේ කතාවේදී මතුවූ ප්‍රධානම කරුණ වූයේ ප්‍රචණ්ඩ අරගල සහ කැරලි කෝලාහල මගින් රාජ්‍ය බලය අත්පත් කර ගැනීමට කිසිදු කණ්ඩායමකට ඉඩ නොදෙන බවය. ජනාධිපතිතුමාගේ දෙවැනි කතාව වූයේ ලලිත් ඇතුලත්මුදලි අනුස්මරණ දේශනයයි. රටේ මූල්‍ය ස්ථාවරය ඇති කිරීම සඳහා බැංකු පද්ධතිය ශක්තිමත් කරන වැඩපිළිවෙළකට රජය අවතීර්ණ වී ඇති බවත් ලංකාව හිඟාකන රටක් බවට පත්කිරීමට තමන් කිසි ලෙසකත් සූදානම් නැති බවත් ජනාධිපතිතුමා එම කතාවේදී අවධාරණය කළේය. ශ්‍රී ලංකාව දන්නා කාලයේ සිටම හිඟාකන රටකි. යටත් විජිත යුගයේදී මේ රටේ ජීවත්වූ කළු හමැති සුදු සිතැති ආර්යයෝ එම යටත් විජිතවල අයිතිකාරයන්ගෙන් හිඟා කෑහ. 1948 න් පසු මුලින්ම අසල්වැසි රටවලින්ද ඊටපසු ඉන් ඔබ්බෙහි ඇති රටවලින්ද හිඟා කෑමට පටන් ගත් අපි මේ වනවිට මුළු ලෝකයෙන්ම හිඟාකන ජාතියක් බවට පත්ව සිටිමු. අවුරුදු දෙකක පමණ කාලයක් වියත් මගේ උපදෙස් යටතේ පාලනය කෙරුණු මේ රට සහ එහි ආර්ථිකය මේ වනවිට සිටින්නේ ජාත්‍යන්තර ප්‍රජාව නමැති මහ පාරේ පැත්තක ලේන්සුවක් එළාගෙනය. ලෝකයේ ආර්ථික තත්ත්වය බෙහෙවින් නරක් වී ඇති නිසා අපේ යාචක ලේන්සුවට සල්ලි දැමීමට කිසිවෙක් උත්සුක නොවෙති. මීට අවුරුදු 100 කට පෙර මේ රට කෘෂිකාර්මික ආර්ථිකයකි. මීට අවුරුදු 25 ට පෙර මේ රට විවෘත වෙළෙඳ රාජ්‍යයකි. අද වනවිට මේ රට කෘෂිකර්මයත් නැති වෙළෙඳාමත් නැති නිකන්ම නිකන් රාජ්‍යයකි. තමන්ගේ මව්බිම ගැන පහත් කතා කීම සුදුසු නැත. එහෙත් අපේ මව්බිම මේ මොහොතේදී සිටින්නේ හුඟක්ම පහළින්ය.

ඒ නිසා ඒ සැබෑ තත්ත්වය පෙන්වාදීම අපගේ යුතුකම වෙයි. ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම සඳහා බැංකු පද්ධතියෙහි සුබදායක වෙනස්කම් සිදුකිරීමට ජනාධිපතිවරයා තුළ අපේක්ෂාවක් තිබීම ඉතා වැදගත්ය. රටේ තිබෙන ආර්ථික අර්බුදය නිසා හෝ බැංකු පද්ධතියේ තිබෙන ක්‍රමෝපාය නිසා හෝ මේ රටේ බැංකු 1980 න් පසු ඉතාම හිංසාකාරී ණය දෙන ආයතන බවට පත්විය. ඒ අතර විවිධ මූල්‍යායතන පවත්වාගෙන යන මුවාවෙන් සමහර පල්හොරු මේ රටේ ජනතාවගේ අසරණකමෙන් ප්‍රයෝජන ගෙන ඒ මිනිසුන් පාරට ඇද දැමූහ. අද කිසිදු ව්‍යාපාරිකයකුට බැංකුවක් සමග ගනුදෙනු කර ගොඩ ඒමට බැරිය. බැංකු පොලී ඉතාම ඉහළ මට්ටම්වල පවතින බැවින් බැංකු ණයක් ගන්නා මිනිහාට ඒ සඳහා ඇපකරයක් වශයෙන් තබන දේපළ බැංකුවටම දන්දීමට සිදුවේ. මෙහිදී බැංකුවද කිසිවක් කරකියා ගැනීමට නොහැකි තත්ත්වයක පසුවන බව අපි විශ්වාස කරමු. පවතින ආර්ථික අර්බුදය හමුවේ වැඩි පොලී අය කිරීම සහ දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කිරීම සිදු නොකළොත් මේ රටේ බැංකු පද්ධතියට සිදුවන්නේද අප සමගම එක පෙළට පාරේ අයිනේ ඉඳගෙන හිඟා කෑමටය. එහෙත් බිඳ වැටී තිබෙන අපේ ආර්ථිකය යළි නගා සිටුවීමට නම් අඩු පොලී සහ ණය සහන කාලයන් හඳුන්වාදීම බැංකු මගින් කළ යුතුමය. මෙය මේ රටේ බැංකු සහ මූල්‍ය පද්ධතියේ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහ බැංකුව මගින් සිදුකළ යුත්තකි. හැබැයි මෙවැනි කරුණු තරයේ හෝ වැරයේ කීමට බියක් අප තුළ පවතී. මහ බැංකුවට ඇඟිලි නොගසන ලෙසත් එයට තමන් කැමති නැති බවත් මහ බැංකුවේ වර්තමාන අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ කියා තිබේ. නන්දලාල් වීරසිංහ තරහාකර ගැනීමේ වුවමනාවක් අප තුළ කොහොමටත් නැත. මෙහිදී අපට කුඩා කාරණයක් මතක් වෙයි. එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල මුලදී ඇමරිකාව විසින් කියුබාවේ ආණ්ඩුව කඩාකප්පල් කිරීම සඳහා විවිධ උප්පරවැට්ටි යොදන ලදී. මෙවිට ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ අහිංසක හාදයන් කිහිපදෙනක් “කියුබාවට ඇඟිලි නොගසනු” යන පාඨය ලියූ බෝඩ් කිහිපයක් ගෙන ශ්‍රී ලංකාවේ ඇමරිකන් තානාපති කාර්යාලය ඉදිරියට ගොස් හිටගෙන සිටියහ. අවසන් පලයේදී ඇමරිකාව කියුබාවට ඇඟිලි ගැසුවේ නැත. කියුබාවට ඇඟිලි නොගසනු යනුවෙන් කොමියුනිස්ට් හාදයන් ලියූ බෝඩ් වලින් වැඩක් වුණේද නැත.

මේ අතර ඉදිරියේදී අරගල සහ ප්‍රචණ්ඩ ක්‍රියාවලට ඉඩක් නැති බවට ජනාධිපති වික්‍රමසිංහ කියූ කාරණය සම්බන්ධයෙන් අපේ මතය ඉදිරිපත් කරමු. මීට මාස හතරකට පමණ පෙර තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, විදුලි කප්පාදුව, පාරිභෝගික භාණ්ඩ හිඟය වැනි ඉතාම සංවේදී තත්ත්වයන් හේතුකොට ගෙන හටගත් අරගලය 25% ක නිර්පාක්ෂික අවංක මිනිසුන්ගෙන්ද 75% ක දේශපාලන තක්කඩින්ගෙන්ද සමන්විත වූවකි. දේශපාලන තක්කඩි ටික කල්පනා කළේ අරගලය ප්‍රයෝජනයට ගෙන රට ඇල්ලීමටය. දේශපාලන තක්කඩින්ට රැවටුන අවංක ජනතාව එම තක්කඩි රැළ ස්වකීය සටනේ පෙරගමන්කරුවන් යැයි කල්පනා කළහ. අරගලයෙන් පසු වට දෙකකදී දේශපාලන පරාජයන් සිදුවිය. පළවැනි පරාජයේදී මහින්ද රාජපක්ෂ අගමැතිකමින් ඉල්ලා අස්වී ගෙදර ගියේය. දෙවැනි පරාජයේදී ගෝඨාභය රාජපක්ෂ තනතුර අත්හැරියේය. මේ කාලය තුළ ප්‍රචණ්ඩ ක්‍රියා කොල්ලකෑම් සහ දේපළ විනාශ කිරීම් බහුල වශයෙන් සිදුවිය. අරගලය අශුද්ධ නමුදු එහි ප්‍රතිඵලය ශුද්ධ බවට ලෙනින් කියා තිබේ. එහෙත් ලංකාවේ ඉකුත් දේශපාලන අරගලය සහ එහි ආසන්න ප්‍රතිඵලය යන දෙකම මිනී මැරීම් සහ ලේ හැලීම් වලින් ගහන වැසිකිළි වළක් විය. අලුත් ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ පත්වූ පසු රටේ තත්ත්වය ක්‍රමයෙන් සාමාන්‍ය අතට හැරී සියලු ආකාරයේ පෝලිම් ද නැති විය. මෙතැන් සිට පටන්ගත යුත්තේ රට ගොඩනැගීමයි. එහෙත් මේ මොහොතේදීත් මේ රටේ දේශපාලන කණ්ඩායම් උත්සාහ කරන්නේ බලය කොල්ල කා ගැනීම ගැනයි. මේ රට ගොඩගැනීම සඳහා රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට කාලය ලබාදිය යුතු බව අපගේ වැටහීම වේ. ඒ කාලය තුළදී ප්‍රචණ්ඩ ක්‍රියාවලින් තොරව ගෝල්ෆේස් එකට පෙළපාලි වලින් පැමිණ පොලිසියෙන් ගුටි නොකා ගුරුවරියන්ගේ සාරිය ගැලවීම වැනි මෝඩ කල්පනා පැත්තකට දැමීම ප්‍රගතිශීලී ජනතාවගේ යුතුකම සහ වගකීම වේ. එසේ නොවුණොත් මේ රට දිගටම අප්‍රිකා මහාද්වීපයේ පිහිටි යුදවාදී කාලකන්නි රාජ්‍යයක තත්ත්වයට පත්වනවා නියතය. අරගලයෙන් රටේ ජනතාවට දේශපාලන විමුක්තිය උදා වූ නමුදු රටේ දේපළවලට විශාල හානියක් සිදුවිය. රට ගොඩනැගීමට උත්සාහ කරන අවස්ථාවේදී සිදුකරන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අයුතු ජන රාශීන් සියල්ල රාජද්‍රෝහී කටයුතු සේ සැලකිය යුතුය. අප මේ ටික ලියන්නේ රනිල් වික්‍රමසිංහට පන්දම් ඇල්ලීමට නොව අනාගත පරපුරේ ස්ථාවරත්වය වෙනුවෙනි. හොඳ රටක් බිහිකිරීම සඳහා වඩා වැදගත් වන්නේ අතීතකාමී ඉතිහාස පම්පෝරිය නොව ප්‍රගතිශීලී වර්තමානය ය.

advertistmentadvertistment
advertistmentadvertistment