අතීත වර්තමාන අභියෝග හමුවේ වැදි ජනයාගේ අනාගතය

159

අදට යෙදී ඇති ලෝක ආදිවාසී දිනය නිමිත්තෙනි

වැදි ජනයාගේ අධ්‍යාපනය පිළිබඳව ද අද ඇත්තේ සතුටුදායක තත්ත්වයක් නොවේ. මෙම ළමුන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සැපයිය යුත්තේ ද්විභාෂා සහ ද්වි සංස්කෘතික මාධ්‍යයක් කේන්ද්‍රකර ගෙන ය. නමුත් අද සිදුව ඇත්තේ ප්‍රධාන සමාජ ප්‍රවාහයේ අධ්‍යාපන යාන්ත්‍රණය ඔවුන් මත බලෙන් පැටවීම ය. විශේෂයෙන් වැදි භාෂාව ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් තවමත් ආරම්භ වී නොමැති බව පෙනේ. ඕනෑම සංස්කෘතියක් පදනම් වන්නේ භාෂාව මතය. වැදි භාෂාව විනාශ වීම යනු ඒ මත ගොඩනැඟුණු සංස්කෘතිය සම්පූර්ණයෙන්ම විනාශ වීම ය. අද වන විට දඹාන, පොල්ලෙබැද්ද, හෙන්නානිගල වැනි ගම් හැරුනු කොට අනෙකුත් ගම්වලින් වැදි භාෂාව සම්පූර්ණයෙන් අතුරුදන්ව ගොස් තිබේ.

පසුගිය දශක ගණනාවක් තුළ ශ්‍රී ලංකාවේ වැදි ගම්මානවල සංචාරය කරමින් එම ජනතාව සමග විවිධ ක්‍රියාකාරකම් හා ව්‍යාපෘති කිරීමෙන් ලත් අත්දැකීම් හා මෑතකදී වැදි ගම්මාන කිහිපයක් තුළ සංචාරය කිරීමෙන් ලත් අත්දැකීම් ද ඒකාබද්ධ කොට මෙවැනි ලිපියක් සම්පාදනය කිරීමේ එක් අරමුණක් වන්නේ වර්තමානය වන විට වැදි ජනයා මුහුණදී ඇති දහසකුත් ප්‍රශ්න කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු කිරීමේ පරමාර්ථයෙනි. අනෙක් අරමුණ වන්නේ වර්තමානයේ ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා වැදි ජනයා සතු දැනුම තාක්ෂණය නිෂ්පාදන හා සංස්කෘතිය යොදාගත හැකි ආකාරය පිළිබඳ විශ්ලේෂණාත්මක විමර්ෂණයක යෙදීමයි.

ප්‍රථමයෙන් වැදි ජනයා අතීතයේ මුහුණ දුන් හා වර්තමානයේ මුහුණ දෙමින් පවතින සමාජමය අර්බුදය පිළිබඳ විමසා බැලීම කාලෝචිතය. පරිසරයත් සමග බැඳුණ තිරසාර සම්බන්ධතාවයන් සහිතව ගොඩනැඟුණු දැනුම් පද්ධති රාශියකට උරුමකම් කියන වැදි ජනතාව දීර්ඝ කාලයක සිට ප්‍රධාන සමාජ ප්‍රවාහයේ විවිධ තාඩන පීඩන හා බලපෑම් මත දැඩි ඛේදවාචකයකට මුහුණ පා සිටිති. වර්තමානය වන විට මේ විනාශ වෙමින් පවතින්නේ ඒ ඒ පරිසර පද්ධති තුළ තිරසාරව සහ අඛණ්ඩව ගොඩනැඟුණු දැනුම තාක්ෂණය හා සංරක්ෂණය ඇතුළත් ඥාණ සම්භාරයක් බව අප විසින් අමතක නොකළ යුතු ය. ප්‍රධාන සමාජ ප්‍රවාහයේ සංවර්ධන සිහිනය සැබෑ කර ගැනීම සඳහා වැදි ජනයාගේ නිජ බිම් ප්‍රධාන සමාජ ප්‍රවාහය විසින් අත්කර ගැනීම බරපතළ අර්බුදයක් බවට පත්ව තිබේ. ප්‍රධාන සමාජ ප්‍රවාහය විසින් එය හඳුන්වන්නේ වැදි ජනයාව ශිෂ්ඨත්වයට සහ නවීනත්වයට පත් කිරීම යන ඊනියා සංකල්පය පෙරටු කරගෙනය. අතීතයේ වැදි ජනයා ප්‍රධාන සමාජ ප්‍රවාහයේ බලපෑමෙන් තරමක් ඈත්ව වනය තුළ හෝ වනය ආශ්‍රිතව ස්වාධීන හා ස්වයංපෝෂිත ජීවන රටාවක් ගත කළ ද අද වන විට ඒ සියල්ල උඩු යටිකුරු වී ඇති බවක් පෙනෙන්නට තිබේ. වැදි ජනයාගේ සාම්ප්‍රදායික නිජ බිම් තුළ ප්‍රධාන සමාජ ප්‍රවාහය විසින් ඇති කළ මහා පරිමාණ හා බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රම නිසා මෙම තත්ත්වය තවත් උග්‍ර අතට හැරී තිබේ. මේ යටතේ ප්‍රධාන වශයෙන් මහවැලි සංවර්ධන ව්‍යාපාරය වැදි ජනයාගේ සාම්ප්‍රදායික ජීවන ගමන්මග වෙනස් කළ දෙයක් බවට පත්විය. 1983 නොවැම්බර් මස 09 වැනි දින ශ්‍රී ලංකාවේ මධ්‍යම ආණ්ඩුව විසින් වැදි ජනයාගේ අවසාන නිජ බිම වූ මාදුරු ඔය ජාතික වනෝද්‍යානය ලෙස නම් කර වැදි ජනයාගෙන් වෙන් කරන ලදි. මේ අනුව වසර දහස් ගණනක් තිස්සේ වනාන්තරය සමග තිබූ තිරසාර සම්බන්ධතාවය ඉංග්‍රීසි නීතිය යටතේ සාපරාධී ක්‍රියාවක් බවට පත් විය. මේ තත්ත්වය යටතේ අවතැන් වූ වැදි පවුල් 113 ක් මහවැලි ක්‍ කලාපයට අයත් හෙන්නානිගල පදිංචි කරන ලද්දේ ය. එවකට වැදි නායකයාව සිටි ඌරුවරිගේ තිසාහාමි ඇතුළු පිරිසක් සිය නිජ බිමෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කරමින් උපන් බිමේ අනවසර පදිංචිකරුවන් බවට පත් වෙමින් වර්තමානය දක්වා රැඳී සිටියි.

වර්තමානය වන විට වැදි ජනයාගේ සම්ප්‍රදායික ජීවන රටාව පවත්වාගෙන යෑමට අවශ්‍ය වටපිටාව සම්පූර්ණයෙන්ම අහිමිව පවතී. ඒ පිළිබඳව ආදිවාසී නායක වන්නියලැත්තන් නිතරම පවසන්නේ “අප දන්න නාමය වන වන්නියලැත්තන් යන්න වනයෙන් තොරව ගත කරන ජීවිත හිමි අපිට තවදුරටත් යෙදීම අර්ථ විරහිත බවයි.” යනුවෙනි. විශේෂයෙන් ඉංග්‍රීසි පොදු නීතිය මෙරටට හඳුන්වා දීමේදී මෙරට විශේෂ ජන කණ්ඩායම්වල හා විවිධ සංස්කෘතීන් පිළිබඳ අවධානය දක්වා ඇති අවස්ථා අපට පෙන්වා දිය හැකිය. උදාහරණ වශයෙන් මුස්ලිම් නීතිය, තේසවලාමේ නීතිය දැක්විය හැකිය. වනය ආශ්‍රිත කටයුතුවලදී ද පොදු නීතියට අමතරව වියතිරේකී අවස්ථා පිළිගත් සන්දර්භයන් දැකිය හැකිය. උදාහරණයක් වශයෙන් යාල වනෝද්‍යානය හරහා වසරක් පාසා කතරගම දක්වා පැවැත්වෙන පාද යාත්‍රාව දැක්විය හැකිය. පටලංගල ධීවර වරාය ද මෙයට නිදසුනකි. නමුත් දීර්ඝ සංස්කෘතියක් හිමි වසර දහස් ගණනක් පුරා වනය සමග තිරසාර සම්බන්ධතාවයක් තිබූ ලංකාවේ වැදි ජනයා පිළිබඳ මෙම නීති සම්පාදනයේදී විශේෂ නීති පැනවීමක් හෝ වියතිරේකි අවස්ථා ලබාදීමක් සිදු නොවීම පුදුමයට කරුණකි.

මෙයාකාරයට තමන්ගේ නිජබිම අහිමිව සම්ප්‍රදායික ජීවන රටාව බිඳවැටෙමින් තිබෙන විට මේ පිළිබඳව විවිධ මැසිවිලි ආදිවාසී ජන සමාජය තුළ ඇති වී ඇති අවස්ථාවක මෙරට දේශපාලන බලඅධිකාරිය කළේ බොරු පොරොන්දු ලබා දෙමින් ඔවුන්ව රැවටීම ය. ප්‍රධාන සමාජ ප්‍රවාහය රවටමින්, ඔවුන්ව කොටස්වලට කඩමින් භේදබින්න කළ ආකාරයටම පාලකයන් විසින් වැදි ජනයාව ද බොරු පොරොන්දු දෙමින් භේද බින්න කළ ආකාරය පුදුමසහගත ය. මහවැලි ව්‍යාපාරය යටතේ වැදි ජනයාගේ අවසාන නිජ බිම වූ මාදුරු ඔය ජාතික වනෝද්‍යානය බවට නම් කිරීමෙන් පසුව අවතැන් වූ කොටසක් ඉවත් වීම ප්‍රතික්ෂේප කරද්දී තවත් පවුල් 113 ක් මහවැලි සී කලාපයට අයත් හෙන්නානිගල පදිංචි කරන්නේ මෙවැනි බොරු පොරොන්දු හා සුරංගනා ලෝකයක් මවමිනි. ඒ පිළිබඳව දැනට මියඹට දමා ඇති හෙන්නානිගල වැදි නායකයකු වූ තැපැල් බණ්ඩියලැත්තන් 2006 වර්ෂයේ නොවැම්බර් මස 27 වන දින මෙම ලියුම්කරු සමග සිය මතකය අවදි කළේ මෙසේ ය. “ඒ කාලේ හිටපු ජේ. ආර්. ජනාධිපතිතුමා තමයි අපිව මෙහේ එව්වේ. නුඹලාට කිසිම අඩුපාඩුවක් නෑ. කැලෑව ලබාදෙනවා. වැදි ජනයාගේ පාරම්පරික ක්‍රියාවන් සිදු කරන්න ඉඩ ලබා දෙනවා. ඩී. එස්. සේනානායක අගමැතිතුමාගේ සැලසුම්වලට වඩා වැඩි සැලසුම් මම ඇති කරනවා කියලා කිව්වා. අපි වැද්දොනේ ඉතින් අපි මෙහේ ආවා. ඇවිත් අවුරුදු 04 ක් යනකම් අපට උදව් කෙරුවා. කාලයක් ගියාට පස්සේ තමයි අපිට හිංසාවක් පීඩාවක් වුණේ.” යනුවෙනි. මෙයාකාරයට බොරු පොරොන්දු දෙමින් බලෙන් අනුගත කළ සමාජ ක්‍රමය තුළ ඔවුන් ඒ වන විටත් කොතරම් පීඩාවට පත්ව සිටියේ ද යන්න එම කතාවේදීම තැපැල් බණ්ඩියලැත්තන් පැවසූ මෙම වදන්වලින් මනාව පැහැදිලි වේ. “ඒ අහිංසක වැදි ජනතාව දුකින් ඉන්නෙ, ඉන්න ඉඩම් නැහැ. ඒ කන්දෙගම්විල ගම අපේ ළමයින්ට දෙන්න. නැත්නම් මේ ඉන්න ළමයිනුත් අරගෙන මම යනවා එහාට. හිරේ ගියත්, එල්ලුම්ගස් ගියත්, වෙඩි තිබ්බත් මම අරගෙන යනවා” යනුවෙනි. වැදි නායකයකුගේ හදවතේ ඇති වේදනාව, දුක, කෝපය මෙම ප්‍රකාශය තුළින් මැනවින් සමාජගත වුව ද තැපැල් බණ්ඩියලැත්තන් මියඹට දමන තුරු ඔහුගේ අපේක්ෂා ඉටු නොවීම කනගාටුවට කරුණකි.

අනෙක් අතට වර්තමානය වන විට පවතින වනජීවී නීතිය හා වැදි ජනයාගේ සම්ප්‍රදායික ජීවන රටාව අතර බරපතළ නොගැළපීම් මෙන්ම බරපතළ ගැටුම් ද හටගෙන තිබේ. නිදහසේ කැලයට ඇතුල් වී නිදහසේ කැලයෙන් පිට වූ වැදි ජනයාට අද දවසේ සිදුව ඇත්තේ හොරෙන් කැලයට ඇතුල් වී හොරෙන් කැලයෙන් පිටවීමට සිදුවීම කෙතරම් කනගාටුවට කරුණක් ද? වනයේ හා වන සතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ව්‍යවස්ථාදායකය විසින් පැනවූ වනජීවී නීතිය තුළ වනය ආරක්ෂා කළ වැදි ජනයා වනයෙන් ඉවත් කිරීමේ ප්‍රතිඵලය වී ඇත්තේ වනය හා වන සතුන් ආරක්ෂා වීම නොව අනාරක්ෂිත වීමයි. අවසානයේ සිදු වී ඇත්තේ දඩමස් ව්‍යාපාරිකයන්ට හා මහා පරිමාණ දැව ජාවාරම්කරුවන්ට වනාන්තරය සින්නක්කර දේපළක් බවට පත්වීම පමණි. එදා ආදිවාසියකු කැලයට ගොස් සතෙකු මරා ගත්තේ තමන්ගේ පරිභෝජනය සඳහා පමණි. ලී දඬුවක් කපා ගත්තේ තමාගේ පැල්කොටය සාදා ගැනීමට පමණි. නමුත් අද වන විට මහා පරිමාණ මස් ජාවාරම්කරුවන්, සතුන් තොග පිටින් ඝාතනය කරන්නේ මහා පරිමාණව කැලයේ ගස් කපන්නේ ව්‍යාපාරයක් ලෙසට ය. නමුත් වැදි ජනයාට තදින් බලපාන නීතිය මෙම ජාවාරම්කරුවන්ට ලිහිල්ව හෝ බලපාන්නේ නැත. වැදි නායක වන්නියලැත්තන් පවසන පරිදි අතීතයේ ඉර මුදුන් වනතුරුත් වනයට තිබූ කළුවර අද එහි නැත. මන්ද වනාන්තරයේ විශාල ගස් බොහොමයක් ජාවාරම්කරුවන්ට බිලි වී ඇති හෙයිනි. සතුන් සම්බන්ධ කතාව ද එයට නොදෙවෙනි බව වන්නියලැත්තන්ගේ මතය යි. වැදි ජනයා වනයෙන් ඉවත් කර වනයේ ආරක්ෂාව වෙනුවෙන් පැන වූ වනජීවී නීතිය වෙනුවෙන් වනයට හා වන සතුන්ට ලැබූ ආරක්ෂාව පිළිබඳව බලධාරීන් ලැජ්ජා විය යුතුය. වැදි ජනයා වනයෙන් ඉවත් කර වනය ජාවාරම්කරුවන්ට සින්නක්කර දේපළක් ලෙස පැවරීම තුළ වනජීවී නිලධාරීන් සහ වැදි ජනයා අතර ගැටුම කෙමෙන් කෙමෙන් ඉස්මතු වන්නට විය. මෙහි උච්ඡතම අවස්ථාවක් ලෙස දැනට වසර ගණනාවකට පෙර වැදි ජනයා වාර්ෂිකව පවත්වන දළදා මාළිගාවේ මී පැණි පූජාව සඳහා මී පැණි එකතු කිරීමට ගිය පිරිස වනජීවී නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වීමේ සිද්ධිය දැක්විය හැකි ය. මෙයාකාරයට මෙම පිරිස අත්අඩංගුවට පත්වීම ද බලපතළ සැකයකට තුඩු දෙන්නකි. මන්ද මෙම ගමන යෑමට පෙර 2007 නිකිණි මස 13 දින ප්‍රධාන වැදි නායක වන්නියලැත්තන් විසින් ඊට අවසර ඉල්ලා අඩවි ආරක්ෂක නිලධාරි උල්හිටිය අඩවි වන කාර්යාලය, උල්හිටිය වෙත ලිපියක් යොමුකර තිබේ. එම ලිපිය මීපැණි එකතු කරන ප්‍රදේශය ලෙස උණුකිරීගල පූජණීය කඳු ප්‍රදේශ අවට බවත් රැඳී සිටින කාලය 2007.08.18 සිට 2007.08.21 දක්වා බව ද සඳහන් කර ඇත. එයට අමතරව ඒ සඳහා කුරුකුඹුර බීට්ටු කාර්යාලයේ නිලධාරි මහතුන් දෙදෙනකුගේ සහාය ද ඉල්ලා තිබේ. නමුත් පුදුමය නම් අවසානය වනතෙක් මුනිවත රැකි වනජීවී නිලධාරීන් මෙම පිරිස රක්ෂිතයේදී අත්අඩංගුවට ගැනීමයි. අවසානයේ මෙම පිරිසට විරුද්ධව මහියංගනය මහෙස්ත්‍රාත් අධිකරණයේදී නඩු පවරන ලදි. පසුව විවිධ පාර්ශ්වයන්ගේ වනජීවී දෙපාර්තමේන්තුවට එල්ල වූ බලපෑම හමුවේ ඔවුන්ට මේ පිළිබඳව නැවත සිතා බැලීමට සිදුවිය. ඒ අතර ආදිවාසී නායක වන්නියලැත්තන් විසින් එවකට සිටි පරිසර ඇමැතිවරයාට 2009.09.20 දින ලිපියක් යවමින් කියා සිටියේ “දළදා මාළිගාවට පැණි එකතු කරන්නට ගිය අයට වනජීවී දෙපාර්තමේන්තුව විසින් පවරපු නඩුව දෙවන වරටත් කල් ගියා. අපි ඒ ගැන නිහඬ වුණේ ඔබතුමා කෙළින්ම මැදිහත් වී නඩුව ඉල්ලා අස්කර ගන්නා බවට දුන් පොරොන්දුව නිසා. එදා මෙදා ඉඳලම අපිව රවට්ටන එක තමයි කවුරුත් කළේ. ඔබතුමාත් ආපසු වතාවක් අපිව රවට්ටපු බව මට දැන් විශ්වාසයි. ඔබතුමා දෙන පොරොන්දු ගැනවත් ඔබතුමාගේ නීති පොත ගැනවත් මට දැන් කිසි විශ්වාසයක් නැහැ. අපි කරන වැරදි කියලා ඔබතුමාලාගේ නීති පොතේ තියෙනවානම් දෙන දඬුවම් විඳින්න කැමතියි. මම මගේ ජනතාවට ඉස්සර වගේම කැලයේ කැමති තැනක ඇවිදින්න සම්පූර්ණ බලය ඊට පස්සේ ලබා දෙනවා. පරම්පරා සිරිත් අඳුනන්නේ නැති ඔයගොල්ලන්ගේ නීතියට ගරු කරන්න අපිට බැහැ. පුළුවන්නම් මුළු පරම්පරාවම හිර කූඩුවක දාන්න. ඔය වගේ නීතියකට යටත් වෙලා ඉන්නවාට වඩා අපේ විදියට ජීවත් වෙලා හිර ගෙදරක මැරෙන එක නම්බුකාරයි.” යනුවෙනි. අවසානයේ වනජීවී දෙපාර්තමේන්තුව නඩුව ඉල්ලා අස්කර ගත්ත ද අර්බුදය තවමත් විසඳී නොමැත.

එසේම පසුගිය කාලය තුළ වැදි ජනයාට එහි සම්ප්‍රදායික ජීවන සංස්කෘතිය කරගෙන යෑම සඳහා කැලයට ඇතුල් වීමේ අයිතිය ආරක්ෂා කරදෙන මෙන් විවිධ ඉල්ලීම් බලධාරීන්ට ඉදිරිපත් වන්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙස වැදි ජනයාට කැලයට ඇතුළු වීම සඳහා හැඳුනුම්පතක් ලබාදීමට බලධාරීන් එකඟ විය. නමුත් එය ද විශාල ප්‍රෝඩාවක් බවට පත්වෙමින් ආදිවාසී සියලු දෙනාට හැඳුනුම්පත් ලබාදීම වෙනුවට එක් එක් ගම්මානවලට හැඳුනුම්පත් කිහිපයක් බැගින් ලබාදීම සිදුකරන ලදි. මෙහිදී වනජීවී දෙපාර්තමේන්තුව පැත්තෙන් කියැවී ඇත්තේ එක් හැඳුනුම්පතකින් පුද්ගලයන් දහ දෙනකුට කැලයට ඇතුළු වීමට හැකි බවකි. නමුත් එය සාධාරණත්වයෙන් තොර ක්‍රියාමාර්ගයක් බවට මේ වන විට ඔප්පු වී හමාර ය. එයට හොඳම උදාහරණය 2022.12.12 වෙනි දින රතුගල වැදිනායක සුදාවන්නියලැත්තන් ඇතුළු කිහිප දෙනකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමය. එහිදී වැදිනායකතුමා නිදහස් කර අනෙකුත් පුද්ගලයන්ට විරුද්ධව බිබිල මහෙස්ත්‍රාත් අධිකරණයේදී නඩු අංක 52921 යටතේ වනජීවී නිලධාරීන් විසින් නඩුවක් ගොනු කරනු ලබන අතර, අවසානයේ අධිකරණය මගින් ඔවුන් නිදොස්කොට නිදහස් කරනු ලැබීය. මෙම සිද්ධියට සම්බන්ධව රතුගල වැදි නායකතුමා HRC‍ 168/23 යටතේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි කර තිබේ. මෙයින් පැහැදිලි වන්නේ වැදි ජනයාගේ දැවෙන ප්‍රශ්න සඳහා ස්ථීරසාර සහ කඩිනම් විසඳුම් ලබා දීමට අත්‍යවශ්‍ය බවය.

මෙරට ආදිවාසී ජනයාගේ ප්‍රශ්න උග්‍ර වෙත්ම මේ පිළිබඳව ජාත්‍යන්තරය දැනුවත් කිරීමට වැදිනායක ඌරුවරිගේ වන්නියලැත්තන් පියවර ගත්තේ ය. ඒ අනුව 1996 වසරේ ජිනීවා හි පැවැත් වූ එක්සත් ජාතීන්ගේ ආදිවාසී ජනයා පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ 14 වන සැසිවාරය අමතා වන්නියලැත්තන් විසින් ශ්‍රී ලංකාවේ වැදිජනයා මුහුණදී ඇති ගැටලු හා අභියෝග පිළිබඳව දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කරන ලදි. සමුළුව අවසානයේ එක්සත් ජාතීන්ගේ ආදිවාසීන් පිළිබඳ ක්‍රියාකාරී කමිටුවේ 14 වෙනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ ආදිවාසී වන්නියලැත්තන් වෙත සහයෝගය පල කිරීමේ නිවේදනය නිකුත් කරන ලදී. මෙම නිවේදනයත් සමග ලංකාණ්ඩුව හදිස්සියේම යම් භූමි ප්‍රමාණයක් වැදි ජනතාව වෙත ලබා දෙමින් කැබිනට් සංදේශයක් නිකුත් කරන ලදි. නමුත් වනජීවී පනතට සංශෝධනයක් එක් නොකර එළිදැක්වූ කැබිනට් සංශෝධනය අවසානයේ පුස් වෙඩිල්ලක් බවට පත්විය.

ආදිවාසී ජනයාගේ ප්‍රශ්න විසඳීමට යැයි පවසමින් තවත් ප්‍රෝඩාවක් 2011 ජූලි 31 වන දින වාකරේ වෙරළබඩ ආදිවාසී ගම්මානයේදී සිදුකරන ලදි. එනම්, වනජීවී අධ්‍යක්ෂක ජනරාල් එක් පාර්ශ්වයකට ද වැදිනායක වන්නියලැත්තන් අනෙක් පාර්ශ්වයට ද බැඳි ඇතිකර ගත් අවබෝධතා ගිවිසුමයි. මෙම ගිවිසුමේ සියලු කොන්දේසි තවමත් ගිවිසුමේ කොළවලට පමණක් සීමා වී තිබෙන අතර, එය මහ පොළවේ යථාර්ථයක් බවට පත් නොවී ය.

දැනටමත් මුල් ගම්බිම්වලින් පලවා හැර හෝ නැතහොත් මුල් ගම්බිම්වල ඉතාම අවාසිදායක පරිසර තත්ත්වයන් යටතේ දිවි ගෙවන ආදිවාසීන් මුහුණ දෙන අර්බුද පිළිබඳ විමසා බැලිය යුතු ය. විශේෂයෙන් දින ගණනක් තිස්සේ වන සතුන් පසුපස හඹායමින් ගත කළ කායික පැවැත්මෙන් සහ සම්ප්‍රදායික ආහාර රටාවන් ඈත් කිරීමේ ප්‍රතිඵලය මේ වන විටත් හොඳින් පැහැදිලි වෙමින් පවතී. විශේෂයෙන් මුල් ගම්බිම්වලින් ඉවත්කර නැවත පදිංචිකර වූ හෙන්නානිගල වැනි වැදි ගම්මානවල මෙම තත්ත්වය පැහැදිලිවම දැකිය හැකි ය. අද වන විට හෙන්නානිගල තරුණ පරපුර පවා ශීඝ්‍රයෙන් දියවැඩියා රෝගයට ගොදුරු වෙමින් පවතින බවට පැහැදිලි තොරතුරු ලැබී තිබේ. දීර්ඝ කාලයක සිට පැවතෙමින් පැවති මෙම තත්ත්වය අද වන විට වඩාත් උග්‍ර තත්ත්වයට පත්ව තිබේ. විශේෂයෙන් 2006 වර්ෂයේ නොවැම්බර් 20 වැනි දින හෙන්නානිගල ආදිවාසී නායක තැපැල් බණ්ඩියලැත්තන් මෙම ලිවුම්කරු සමග පැවසුවේ “මේ ඇත්තන් කැලැ පොජ්ජේ රඳද්දී මේ ලෙඩ පොජ්ජ කොදොයි. මේ හති පොජ්ජ කොදොයි. මේ දියවැඩියා පොජ්ජ කොදොයි. ඇයි මේ ඇත්තෝ කැලෑ පොජ්ජේ ආහාර තමයි කැවිල්ලෑවේ.” යනුවෙනි. සිතින් ජවසම්පන්න නායකයකු ලෙස වරිගයට නායකත්වය දුන්න ද ගතින් හතිය රෝගයෙන් සහ දියවැඩියා රෝගයෙන් පෙළෙන්නෙක් විය. හෙන්නානිගල ප්‍රදේශයේ දැඩි අර්බුදයක්ව පවතින දියවැඩියා රෝගයට ප්‍රධාන හේතුව ලෙස මී පැණි භාවිතයෙන් ඈත්ව සීනි භාවිතය හුරු වීම නිසි කායික ව්‍යායාමයක් නොලැබීම මෙන්ම පිටි භාවිතය වැඩිවීම දැක්විය හැකි ය.

දොස්තර ස්පිට්ල් විසින් පොල්ලෙබැද්දේ පදිංචි කළ වැදි ජනයා ද මේ වන විට කබලෙන් ළිපට වැටී තිබේ. මේ ප්‍රදේශයේ ශීඝ්‍රයෙන් මත්ද්‍රව්‍යවල ගොදුරක් බවට පත් වෙමින් පවතී. නගරයේ සංකර සංස්කෘතිය පොල්ලෙබැද්දේ තරුණ පරම්පරාව ආක්‍රමණය කරමින් සිටී. මේ නිසා වැදි පවුල සතු සංස්කෘතික අගයන් බිඳ වැටෙමින් පවතින අතර, ආගන්තුක සංස්කෘතියේ විකාරරූපී අංගයන් නිසා වැඩිහිටියන් විශාල මානසික පීඩනයකට ලක්ව තිබේ. අප්පල ඇත්තන්ට අම්මිල ඇත්තන්ට දෙපා වැඳ අවසර ගෙන කැලයට ගිය සංස්කෘතිය වෙනුවට අද බිහි වී ඇත්තේ වැදි ජනතාවට නොගැළපෙන පාදඩ සංස්කෘතියකි. වැදි ජනතාවගේ ඉඩම් මංකොල්ලය ද මහඔය පොල්ලෙබැද්දේ ජයටම කෙරීගෙන යයි. පසුගිය කාලයේ විශාල ආන්දෝලනයකට ලක් වූයේ ගල්වල යාය කැලේ අක්කර දහස් ගණනක් බහුජාතික සමාගම්වලට බිලිදීමට තැත් කිරීමයි. මෙම ප්‍රදේශ පෙර සිටම ආදිවාසීන්ගේ නිජභූමි ලෙස හැඳින්විය හැකිය. පෙර මෙම ප්‍රදේශ හැඳින්වූයේ ගොරිකාන යන වහරෙනි. එය ශීතල වන්නි දක්වා පැතිර යයි. මෙයින් පැහැදිලි වන්නේ ආදිවාසී ජනයාගේ නිජබිම් කොල්ලකෑම තවමත් නතර වී නොමැති බවයි. රතුගල, දලුකාන යන වැදි ගම්මාන මේ වන විට දරිද්‍රතාවයේ පතුළටම කිඳා බැස තිබේ. මෙම ප්‍රදේශවල වැදි ජනයාගේ ඉඩම් බොහොමයක් උකස්කරුවන් අතට පත්ව තිබේ. ජීවත්වීම සඳහා සිඟමන් යැදීම හැර විකල්පයක් අද ඔවුන්ට නැත. දඹාන වැනි ප්‍රදේශවල දේශීය සහ විදේශීය සංචාරකයන් පැමිණීම නිසා ඔවුන්ගේ නිෂ්පාදන විකුණා ගැනීමට අවස්ථාවක් තිබුණ ද දලුකාන, පොල්ලෙබැද්ද, රතුගල වැනි ප්‍රදේශවල ජනතාවට එවැනි අවස්ථාවක් නැත.

නීතිඥ නිශාන්ත සමන් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment