අතීත සැමරුම් මැද අපේ රවී….

202
රවීන්ද්‍ර රන්දෙණිය මහතාගේ ප්‍රභාමත් චිත්‍රපට රංගන ශිල්ප පැවැත්ම වසර පනහකට එළඹීමේ සැමරුම් අභිනන්දන උළෙලක් ඊයේ පැවැත්විණි.

දළුගම ග්‍රාමයේ ප්‍රධාන පවුලක මෙන්ම දේවස්ථානය සෙවණේ සාන්ත ප්‍රැන්සිස් සාලිස් පාසලේ දී සුපුරුදු ලෙස ගැමි අප සියලුදෙනා සමගින් ප්‍රාථමික සිප්සතර හැදෑරීමෙන් පසුව කොටහේන සාන්ත බෙනඩික් විදුහලේ සමකාලීන කැපී පෙනුන සහෘදයකු වූ ඔහු පිළිබඳව මිතුරෙකු ලෙස ළබැඳි මතක සටහන් පෙළක් ඉදිරිපත් කරන්නේ ඔහුට ගෞරවයක් ලෙසිනි.

සශ්‍රීක පවුලක උපන් ඔහුගේ වාසනාවන්ත පියාණන් ඔහුගේ සුන්දර තාරුණ්‍ය පැවැත්ම හා අරමුණ වෙත ළඟාවීමට සතුටින් ඊට ඉඩකඩ සැලසුවා මම අත්දුටිමි.

එකල ඉහළ තරුණ සමාජයේ කිහිපදෙනකු අත පමණක් තිබූ අලුත් මාදිලියේ තරුණ රටාවේ, Sun Beam, Alpha Romio වාහනවල ඔබ මොබ ගමන් කිරීම ඔහුගේ තාරුණ්‍ය හැඩරුව නව සමාජයේ එකල කැපී පෙන්වන්නක් විය.

රටේ ස්වභාෂා අධ්‍යාපන පෙරළිය කඩ ඉමෙහි, සාන්ත බෙනඩික් විදුහලේ එවක පැවති ඉංග්‍රීසි මාධ්‍යයෙහි අධ්‍යාපනය හැදෑරීමෙහි සහ පසුව ඔහු ඇක්වයිනාස් විද්‍යා ආයතනයෙහි ඉංග්‍රීසි මාධ්‍යයෙන් වෛද්‍ය විද්‍යා මුවදොර වෙත හැදෑරීමෙහි ද, තම ඉංග්‍රීසි භාෂා දැනුම වඩ වඩාත් තීව්‍රකර ගැන්ම ඔහු වෙත වඩාත් කැපී පෙනෙන ආභරණයක් විය. ඊට අමතරව සිංහල භාෂාවේ ලේඛන ප්‍රගුණත්වය ද සුවිශේෂී ලෙස ඔහු සතුවිය. ඒ සඳහා සාන්ත බෙනඩික් විද්‍යාලයේ සුප්‍රසිද්ධව සිටි ගෞරවනීය ඇන්තනී සර්ගේද, ඔහු සතු ප්‍රබුද්ධත්වය බලගැන්මට රැඩිකල් සර් විල්ෆ්‍රඩ් පෙරේරා සූරීන්ගේද ආත්මෝපදේශ නොඅනුමානව ලබාගැනීම හේතුවී ඇතැයි මට සිතේ. පසුව ඔහු එකල ලයනල් වෙන්ඩ්ට් රඟහල පරිශ්‍රයෙහි පැවැති නාට්‍ය රංගනය පිළිබඳ, ප්‍රවීණ ධම්ම ජාගොඩ මහතා විසින් මෙහෙයවූ “රංග ශිල්ප ශාලිකා” රංගන අභ්‍යාස පාඨමාලාවේ යාවජීව වී ප්‍රායෝගික රංගනය හැදෑරීමට තාරුණ්‍ය කැප කළේ මහත් අභිරුචියකිනි.

එකල තම අලුත්ම ප්‍රින්ස් මාදිලියේ වාහනයද සමගින් ඔහු (ප්‍රින්ස්) කුමරෙකු මෙන් ඔබ මොබ හැසිරුණ ඉහළ නව්‍ය සමාජයේ තාරුණ්‍ය වෙත ඔහුගේ සිත්ගන්නා හැඩරුව මනාව ගැළපුනි, අප අතරද ඔහු කැපී පෙනුනි. ඔහු විසින් පුබුදුවාගත්, නැණවත් සාහිත්‍ය කලාකාමීන්ගේ ආකර්ෂණයෙන්ද විචක්ෂණ සමාජයේ ගරු බුහුමනින්ද, එම ගමන්මගෙහි ඉහළ මල්ඵල ගැන්වීමක් වෙත ඔහු ආසිරි ගැන් වුණේ ඉලක්කය කරා අරමුණකින් ගමන් කළ නිසාම බව මට සිතෙයි.

සුමිතුරු රවි ඔබට චිරජීවනය පතමි

ජයසිරි සමරතුංග
කැලණි අධ්‍යයන කවය

advertistmentadvertistment
advertistmentadvertistment