තලවකැලේ පොලිස් වසමට අයත් ග්‍රේට්වෙස්ටර්න් වතුයායේ ලුසා කොටසේ ඉකුත් මස 14 වැනිදා සිට අතුරුදන්ව සිටි පාසල් සිසුවියන් තිදෙනා සහ සිසුවා ගාල්ල මීටියාගොඩ ප්‍රදේශයේ නවාතැන්පොළක සිටියදී අද පොලිස් භාරයට ගෙන ඇත.
මෙම සිවුදෙනා මීටියාගොඩ ප්‍රදේශයේ කුරුඳු සකස් කරන කර්මාන්ත ශාලාවක රැකියාවකට ගොස් ඇති බවත් එම සිසු සිසුවියන් අවුරුදු 14 සහ 16 වයස් කාණ්ඩවල පසුවන ළමුන් නිසා ඔවුන්ව කර්මාන්ත ශාලාවේ පාලන අධිකාරිය විසින් රැකියාවකට බඳවාගෙන නොමැති බව තලවකැලේ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සමන්ත පෙරේරා මහතා පැවසීය.
අතුරුදහන්ව සිටි එම සිවුදෙනාගෙන් එක් ඥාතියෙකු එම කුරුඳු කර්මාන්ත ශාලාවේ සේවයේ නිරතව සිට ඇත.ඒ අනුව ඔහු සොයාගෙන ඔවුන් මෙම කුරුඳු කර්මාන්ත ශාලාවේ රැකියාවට ගොස් තිබේ.
නමුත් රැකියාව නොලැබුණු නිසා ඔවුන් සිවුදෙනා එම කර්මාන්ත ශාලාවට අයත් නේවාසිකාගාරයක මාසයකට ආසන්න කාලයක් රැඳී සිට ඇත.
එම සිසුවියන් තිදෙනා සහ සිසුවා සන්තකයේ තිබූ දුරකථන අංකයක් ඔස්සේ විමර්ශන සිදු කර ඔවුන් සැඟවී සිටින ස්ථානය හඳුනාගැනීමට තලවකැලේ පොලීසියේ නිලධාරින් පිරිසකට හැකිව තිබේ.
ඒ අනුව පොලිස් භාරයට ගත් එම සිසුවියන් තිදෙනා සහ සිසුවා නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව තලවකැලේ පොලිසීය සඳහන් කරයි.
නිවසේ පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් මොවුන් රැකියාවක් සොයාගෙන නිවසින් පැන ගොස් ඇති බව එම වතුයායේ පදිංචිකරුවෝ පවසති.