අතුරු අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

196

මෙම වසරේ (2022) ඉදිරි කාලය සඳහා ගෙන එනු ලබන අතුරු අයවැය සඳහා අයවැය විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ (09 දා) පස්වරුවේ ඉදිරිපත් කරනු ලැබීය.

ඒ අනුව සංශෝධන පනත් කෙටුම්පතට අනුව සමස්ත වියදම රුපියල් තුන්ලක්ෂ විසිහත් දහස් පන්සිය අසූහත් කෝටි හැටපන් ලක්ෂ පනස්අට දහසක්(රුපියල් 3,275,876,558,000) දක්වා වැඩි වී ඇත.

මෙම වසරට (2022) අදාළව 2021 වසරේ නොවැම්බර් මාසයේදී ඉදිරිපත් කරන ලද විසර්ජන පනත් කෙටුම්පතට අනුව සමස්ත වියදම ලෙස රුපියල් දෙලක්ෂ හැත්තෑ නවදහස් හයසිය හතළිස් හතර කෝටි හැටපන් ලක්ෂ පනස්අට දහසක්(රුපියල් 2,796,446,558,000) ලෙස සඳහන්ව තිබිණ.

ඒ අනුව පාර්ලිමේන්තුවට ඊයේ (09 දා) ඉදිරිපත් කරන ලද විසර්ජන සංශෝධන පනත් කෙටුම්පතට අනුව මෙම වසරේ සමස්ත වියදම රුපියල් කෝටි හතළිස් හත් දහස් නවසිය හතළිස් තුනකින් වැඩි වී ඇත.

සංශෝධනයට අනුව ජනාධිපතිවරයා සඳහා වෙන්කර තිබෙන මුදල රුපියල් එක් දහස් තුන්සිය හතළිස් හතර කෝටි පනස්එක් ලක්ෂයකි.

මුදල් අමාත්‍යාංශය සඳහා වෙන් කෙරෙන මුදල රුපියල් කෝටි හතළිස් හයදහස් හත්සිය විස්සක් වේ. එමෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි තිස්හත් දහස් හයසිය තිස්දෙකකට අධික මුදලක් වෙන්කර ඇත. එමෙන්ම ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි දෙදහස් එකසිය දහතුනක මුදලක් වෙන්කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි විසිහතර දහස් අටසිය හතකට ආසන්න මුදලක් වෙන්කර ඇත. වෙළෙඳ අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි නවසිය තිස් හතකට අධික මුදලක් වෙන්කර තිබේ. ප්‍රවාහන අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි තිස් දහස් හත්සිය දහයකට අධික මුදලක් වෙන්කර තිබේ.කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි දහතුන් දහස් අටසිය පනස් හයකට අධික මුදලක් ද වෙන්කර ඇත. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි දෙදහස් හත්සිය හැට හතක් වේ.

මෙවර සංශෝධනය අනුව රුපියල් කෝටි දෙදහස් පන්සිය විස්සකට අධික මුදලක් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයට වෙන්කර ඇත. රුපියල් කෝටි විසිදහසක මුදලක් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත වෙන්කර ඇත. එමෙන්ම රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට රුපියල් කෝටි හැත්තෑතුන් දහස් හාරසිය හැටඅටකට ආසන්න මුදලක් වෙන්කර තිබේ.

මෙම පනත් කෙටුම්පත අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි. විසර්ජන සංශෝධන අංක 30 දරන විසර්ජන පනත, සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් බව පනත පිළිබඳ හඳුන්වා දෙමින් මහ ලේකම් ධම්මික දසනායක මහතා විසින් නිවේදනය කෙරිණ.

ඒ අනුව නව අයවැය ලේඛනය මුදල් ඇමැතිවරයා විසින් ලබන සැප්තැම්බර් මුල් සතියේ ඉදිරිපත්කොට ඒ පිළිබඳ විවාදය පැවැත්වෙනු ඇත.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment