අතුරු අය වැයේ තිබ්බ එකක්වත් මේ අයවැයේ නෑ? හිටපු කෝප් කමිටු සභාපති පා.ම. මහාචාර්ය චරිත හේරත්

56

ලාභ ලබන ටෙලිකොම් සහ රක්ෂණ සංස්ථාව විකුණන්න යෝජනා වෙන්නෙ කාගෙ වුවමනාවටද?

මේ අයවැයට දාල තියෙන්නෙ කිසිම ප්‍රායෝගිකත්වයක් නැති සංකල්ප

වත්මන් රජය විසින් ඉදිරිපත් කළ 2023 සඳහා වන අයවැය වාර්තාවට බොහෝ දෙනකු ඉදිරිපත් කරන චෝදනාව වන්නේ එය අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ අවශ්‍යතාව පරිදි ඉදිරපත් කළ අයවැය වාර්තාවක් බවය. විශේෂයෙන් රfටේ ජනප්‍රිය රාජ්‍ය ආයතන කිහිපයක් පෞද්ගලිකකරණය කිරීමට යෝජනා කර තිබීම මෙම චෝදනාව සඳහා මූලිකව බලපෑ හේතුවක් වන අතර අපි මේ කරුණ සහ වත්මන් දේශපාලන ප්‍රවණතා ගැන හිටපු කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා සමග සාකච්ඡා කළෙමු.

මහාචාර්යතුමා, මේ අයවැය අයි. එම්. එෆ්. අවශ්‍යතාව මත ඉදිරිපත් කළ අයවැයක් කියලයි බොහෝ දෙනෙක්ගේ චෝදනව, ඔබතුමාගේ විග්‍රහය කොහොමද ?

අයි. එම්. එෆ්. එකට අවශ්‍ය විදියට කියනවාට වඩා මේ අයවැයේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. එකක් තමයි අපි මේ වෙලාවේ රටේ බලාපොරොත්තු වෙන සහ අවශ්‍ය කරන ආර්ථික ක්‍රියාමාර්ගයයි, මේ අයවැයෙන් යෝජනා කරන ක්‍රියාමාර්ගයයි අතර විශාල වෙනසක් තියෙනවා. දෙවැන්න තමයි මීට මාස කිහිපයකට ඉස්සර රනිල් වික්‍රමසිංහ මැතිතුමා අතුරු අයවැයක් ගෙනාවා. ඔහු එහිදී යෝජනා කරනවා මේ රට ඉක්මනින්ම ආර්ථික වශයෙන් යළි ස්ථාපිත කරන්න නම් ඊළඟ මාස හතර සහ වසර තුළ ගන්න ඕන පියවර කීපයක්. දැන් ඒ පියවර එකක්වත් මේ අයවැයට ගාවලවත් නෑ. අරක වෙනම ඩොකියුමන්ට් එකක් මේක වෙනම ඩොකියුමන්ට් එකක් වගේ. ඒ කියන්නෙ අතුරු අයවැයේ ඊළඟ අවුරුද්දෙ කරන්න තිබ්බ වැඩ මේ අයවැයට එකක්වත් අරන් නෑ. ඒකෙන් හිතෙන්නෙ එක්කෝ අතුරු අයවැය හදපු මිනිහා දන්නෙ නෑ මේ අයවැය ගැන. මේ අයවැය හදපු මිනිහා දන්නෙ නෑ අතුරු අයවැය ගැන. තුන්වෙනි ප්‍රශ්නය තමයි මේ අවවැයෙන් තියෙන සමහර දේවල් ප්‍රායෝගිකත්වයෙන් තොරයි. උදාහරණයක් විදියට අතුරු අයවැයෙන් කිව්වා අලුතින් පනත් නවයක් ගේනවා කියල. මේකෙත් තියනවා අලුතින් ආයතන පනත් ගණනාවක් ගේනවා කියල.

පනත් ගෙනත් සම්මත කරගන්න තරම් බලයක් මේ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තියනවද ?

ඇත්තටම ඔය එකක්වත් මේ පාර්ලිමේන්තුවේ කරන්න පුළුන් වෙයි කියල අපි හිතන්නෙ නෑ. මොකද ජනාධිපතිතුමාගේ පක්ෂයට එහෙම බලයක් නෑ. බලය තිබුණ අපේ පක්ෂයත් දැන් කැඩිලා තියෙන්නෙ. එතකොට එතුමා මේ අයවැයෙන් කරල තියෙන්නෙ කිසිම ප්‍රායෝගිකත්වයක් නැති සංකල්ප දාන එක. අනික මේ අයවැයේ මූලධර්මික ප්‍රශ්නයක් තියෙනවා. රට හදන වැඩපිළවෙළ ගැන 1999 රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණ කාලේ ඉඳන් එතුමාගේ ඔළුවේ නොයෙක් දේ තියනවා. නවසිය අනූ නවයෙදිත් දෙදහස් පහේදිත් එතුමා මේ වැඩපිළිවෙළවල් ජනාධිපතිවරණවලට ඉදිරිපත් කළා. ඒ දෙකම පැරදුණා. දෙදහස් දෙකේදී එතුමා ගෙනාව යළි පුබුදමු වැඩපිළිවෙළත් සමාජය ප්‍රතික්ෂේප කළා. එතකොට එතුමාගේ ඔළුවේ තියෙන අර ජනතාවගෙන් දිනවාගන්න බැරි වුණ සමහර විකාරරූපී සංකල්ප මේකට දාල තියෙනවා.

මොනවද ඔබ කියන ඔය විකාරරූපී අදහස් ?

දැන් මේ රටේ තියෙන පාඩු ලබන රාජ්‍ය මුදල් අවභාවිතා වන සමහර රාජ්‍ය ආයතන තියනවා ප්‍රතිව්‍යුහගත කරන්න ඕන. හැබැයි එතුමා දැන් එහෙම කරන කොට එතුමාගේ වටේ ඉන්න කවුරු හරි කණ්ඩායමක් ලාභ ලබන ආයතන මේකට එකතු කරනවා. උදාහරණයක් ගත්තොත් ටෙලිකොම් එක. ටෙලිකොම් එක ඊයෙම කිව්වා පසුගිය මාස හයේ රුපියල් බිලියන හැටක් ලාභයි කියල. එහෙම ලාභ ලබන ආයතනයක් තමයි මේ විකුණන්න ඕන කියල කියන්නෙ. ඊළඟට රක්ෂණ සංස්ථාව. මම කෝප් එකේ ඉඳිද්දී බැලුවා රක්ෂණ සංස්ථාවේ කිසිම පාඩු ලබන ස්වාභාවයක් නෑ. අනික රක්ෂණ සංස්ථාව යටතේ තියනවා විශාල ආයෝජන ගණනාවක්. ලිට්‍රෝ ගෑස් සමාගමට සියයට අනූපහක් ආයෝජනය කරල තියෙන්නෙ රක්ෂණ සංසථාව. ලිට්‍රෝ ටර්මිනල් එකට සියයට සියයක්ම අයිති ලිට්‍රෝ ගෑස් එකට. ඒ නිසා ඒක අයිති වෙන්නෙ රක්ෂණ සංස්ථාවට. ලංකා හොස්පිට්ල් එකත් රක්ෂණ සංස්ථාවට අයිති වෙනවා. මේ වගේ රක්ෂණ සංස්ථාව යටතේ ආයතන ගණනාවක් තියෙනවා. ඒ ආයතන ටික ඔක්කොම වෙන වෙනම විකුණල රක්ෂණ සංස්ථාවත් ප්‍රතිව්‍යුහගත කරන්න පුළුවන් කියල කවුරු හරි මෙතන කියල තියෙනවා. ඒ නිසා මෙතන තියෙනවා වෙන සැකයක් මට. අපි දන්නවා 2015 දී හම්බන්තොට වරාය චීනයට පවරල දෙන්න වැඩ කළේ ඒ කාලේ හිටපු ආයෝජන ප්‍රවරධන ඇමැතිතුමා. එයා දැන් පාර්ලිමේන්තුවේ නැති වුණත් ජනාධිපතිතුමා ඉන්න තැන්වල මේ දවස්වල පිංතූරවල ඉන්නවා මට පේනවා. එතකොට මට සැකයක් තියෙනවා ඒ අයගේ කණ්ඩායම මේ වැඩේට බැහැලද කියලා. මහ බැංකු සිද්ධිය, හම්බන්තොට වරාය පැවරීම වගේ සිදුවීම් පසු පස විශාල ප්‍රශ්න වගයක් තිබුණා. නැවත වතාවක් මේ රටේ තිබෙන අර්බුදය පෙන්නලා රාජ්‍යයේ තිබෙන ලාභ ලබන සම්පත් විකුණන්න සැරසෙනවා වගේ එකක් දැන් පේනවා.

රිගේනින් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ ද මේ වෙනත් විදියකට එළියට එන්නෙ ?

එතුමාගේ ඔළුවේ තියෙනවා ඒකෙ තිබුණ සමහර කාරණා. එතුමා විශ්වාස කරනවා ඒවා ගේන්න ඕන කියල. මම කියන්නෙ මොනවා ගෙනාවත් මේ රටේ අයිතිකාරයගෙන් අහන්න ඕන. මොකද මේ ජනාධිපති කොයි විදියට පත්වුණ කෙනෙක්ද? ඉලෙක්ටඩ් ප්‍රසිඩන්ට් සක්සීඩින් ප්‍රසිඩන්ට් කියල වර්ග දෙකක් අපේ ව්‍යවාස්ථාවේ තියෙනවා. එක්කෙනෙක් සෘජුව පත්වෙන ජනාධිපති අනෙක් කෙනා එයා නැතිවුණ වෙලාවට සෘජුව ජනතාවගේ ඡන්දයෙන් පත්වෙන්නෙ නැති අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක්. ඒක නිත්‍යානුකූලයි තමයි. හැබැයි අපි යුතුකමක් විදියට බලන්න ඕන ඒ ජනාධිපතිවරයාගේ මීට ඉස්සර හිතේ තිබුණ කරන්න හදල ජනතාව ප්‍රතික්ෂේප කරපු දේවල් කරන එක හරිද කියල. ඒක ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් බරපතළ ප්‍රශ්නයක්. ඒ ආයතන පාඩු ලබන්නෙත් නෑ. රටේ ජනතාව ඒවා විකුණනවාට එකඟත් නෑ. මේක හරියට ගෙදරක කුලියට ඉන්න මිනිහට ඕන විදියට ගෙදර අයිතිකාරයගෙන් අහන්නෙ නැතිව ගෙදර වහලය ගලවන්න හදනවා වගේ වැඩක්. රනිල් වික්‍රමසිංහ මහත්තයා දන්නවා එතුමාගේ වැඩපිළිවෙළ ජනතාව කීප වතාවක්ම ප්‍රතිකේෂප කළා, නැවතත් ප්‍රතික්ෂේප කරයි, ඒ නිසා අර පොහොට්ටුවේ ඉන්න මන්ත්‍රීවරු ටික දාල මේක කරන්න හදන්නෙ. මම කියන්නෙ පොහොට්ටුවේ මන්ත්‍රීවරු මේක හොඳට තේරුම්ගන්න ඕන.

ජනාධිපතිතුමා වටේ ඉන්න ඔබ කියන කණ්ඩායම හැර එතුමාට මේ වෙලාවේ විදේශීය බලපෑමක් මත මේ වැඩපිළවෙළ ඉදිරිපත් වෙනවා කියල හිතන්න බැරිද?

මම නම් එහෙම හිතන්නෙ නෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයාට විදේශීය බළපෑමකුත් නෑ. ජනතා මතයක් නැති නිසා එතුමාට එහෙම විදේශීය වශයෙන් ලොකු පිළිගැනීමකුත් නෑ. ඇත්තටම මට හිතෙන්නෙ එතුමා වටේ ඉන්න මේ පිරිස ඉතාම නරක අතීතයක් තියෙන මහ බැංකු සිද්ධියට වගේ දේ වලට සම්බන්ධ වුණ අය. එතුමා බලයට ආව ගමන් ඒ අය මේ ඉස්සරහට ඇවිත් තියෙන්නෙ. මට පේන්නෙ එහෙම. සරල ප්‍රශ්නයක් මම අහන්නෙ. ටෙලිකොම් එකයි රක්ෂණ සංස්ථාවයි මේ ලිස්ට් එකට දැම්මෙ කවුද? ඒ මොන පදනමින්ද. මට නම් තේරෙන්නෙ මේවා දාන්න හේතුව මේක ගන්න ගජමිතුරෙක් බලාගෙන ඉන්නවා ඇති.

ඔබතුමා කෝප් කමිටුවේ සභාපතිධුරය දැරුවා. හැබැයි කෝප් කමිටුව වංචා දූෂණ හෙළි කළාට එතනින් එහාට දෙයක් වෙන්නෙ නෑ ?

ඒක ප්‍රශ්නයක් තමා. කෝප් කමිටුව පිහිටුවලා තියෙන්නෙ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග එකසිය විස්ස කියන නියෝගය යටතේ. ඒකට අනුව කෝප් එක විධායකයේ කමිටුවක් නෙවෙයි මේක ව්‍යවස්ථාදායකයේ කමිටුවක්. විධායකයේ කමිටුවක් වුණා නම් රස්සාවලින් අස් කරන්න පුළුවන්, නැත්නම් කිසියම් තීරණයක් ගන්න පුළුවන්. ව්‍යවස්ථාදායකයේ කමිටුවක් නම් ඒක විධායකයට නියෝගයක් දෙනවා මිසක ඒ කමිටුවට බෑ පුද්ගයෙක්ගේ රැකියාව ගැන තීරණයක් ගන්න. ඉතින් ව්‍යවස්ථාදායක අනු කමීටුවක් විදියට අපි අදාළ අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝගයක් දෙනවා මෙන්න මේ වංචාව සම්බන්ධව මේ වගේ පියවරක්ගත යුතුයි කියල. සමහර අවස්ථාවල ලේකම්වරු ඒ පියවර ගන්නෙ නෑ. ඊළඟට අපි ඒක පාර්ලිමේන්තුවට දාල කියනවා මේ අදාළ විධායකය යටතේ තියෙන ආයතනයේ මේ වගේ දූෂණයක් වෙනවා ඒකට පියවරක් ගත යුතුයි කියල. සමහර වෙලාවට ඒකත් ක්‍රියාත්මක වෙන්නෙ නෑ. එතකොට අපි රටට කියනවා මේ ගැන. මහ බැංකුවේ වංචාවක් වෙලා තියෙනවා, මේක අධිකරණයෙන් හරියට ක්‍රියාමාරග ගන්නෙත් නෑ, විධායකයෙන් ගන්නෙත් නෑ කියල. එතකොට ජනතාවට පුළුවන් ඒ ආණ්ඩුව පරද්දන්න. ඉතින් කෝප් කමිටුව ඒ විදියට ප්‍රධාන මාවත් තුනකින් ක්‍රියාත්මක වෙනවා. අපි දැක්කා එක වතාවක් ඒ කරුණු අහල ආණ්ඩුව ගෙදර ඇරියා.

දූෂණ සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීමට ලේකම්වරුන්ට කෝප් එකෙන් උපදෙස් දෙනවා කියා ඔබ කිව්වා. නමුත් මහජනතාව අතර මතයක් තියෙනවා පාර්ලිමේන්තුවට එන නවක මන්ත්‍රීවරුන්ටත් හොරකම් කරන්න උගන්වන්නේ ලේකම්වරු කියලා ?

නිලධාරීන්ගෙත් විශාල ප්‍රමාණයක් දූෂිත බව ඇත්ත. ඒ වගේම දේශපාලකයොත් ඒවට සම්බන්ධයි. මේ දෙකම එකිනෙකට සම්බන්ධයි. නිලධාරීන්ගේ ඇස් වහලත් දේශපාලකයෝ හොරකම් කරනවා. දේශපාලකයන්ගේ ඇස් වහලත් නිලධාරීන් හොරකම් කරනවා. මේ දෙගොල්ල එකතුවෙලාත් කරනවා. රාජ්‍ය ව්‍යවසායකයන්ගෙ තියෙන මේ සොරා කෑම නවත්තන එක රටක දියුණුවට අනිවාර්ය දෙයක්. ඒක තාම අපිට කරගන්න බැරි වෙලා තියෙනවා.

මේ පවතින දේශපාලන සංක්‍රාන්ති සමයත් එක්ක නව සන්ධාන එළියට එනවා පේනවා. නමුත් ඒවයේ තියෙන්නෙ පරණ මුහුණුමයිනෙ ?

අපි නම් පරණ නෑ. අපි බොහොම අලුත් අය. සන්ධානවල විවිධ අය ඉන්නවා වෙන්න පුළුවන්. අපි ඉන්නෙ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු විදියට ඉන්න ගමන් නිදහස ජනතා සභාව කියන අලුත් සංවාදයක් ඇතිකරමින්. ඒක සන්ධානයක් නෙවෙයි සංවාදයක්. ඒ සංවාදය රට තුළ වහා ක්‍රියාත්මක කරල ඉස්සරහට යන්නයි අපේ බලාපොරොත්තුව. මොකද අපි යෝජනා කරපු ජනාධිපතිවරයාට ඡන්දය දුන්න හැට නව ලක්ෂයක් ඉන්නවා. මේ ජනතාව දැන් විශාල මානසික තැවුලකින් ඉන්නෙ මොනවද කරන්නෙ කියල. ඉතින් ඒ ජනතාව එක්ක සංවාදයක් ගොඩනඟන්න ඕන මොකක්ද වුණේ කියල. මොකද මම පාර්ලිමේන්තුවට ආවට මට කිසිම විධායකය පැත්තෙන් වගකීමක් දුන්නෙ නෑ. මම මේ රටේ හිටිය විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් විදියට, අමාත්‍යාංශ ලේකම්වරයෙක් විදියට යම් කිසි දෙයක් සමාජයට කරල පෙන්නුව කෙනෙක්. හැබැයි ගෝඨාභය මහත්තයාගේ ආණ්ඩුව ඇතුලේ එතුමාගේ බුද්ධියට අනුව මට කිසිම වගකීමක් නොදිය යුතුයි කියල තමයි තීරණය කළේ. ඒ වගේ දේ කරල විශාල අවුලකට ආණ්ඩුව තල්ලු කරල ඒකෙන් එතුමාලම විනාශ වෙලා ගියා.

සාකච්ඡා කළේ
තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment