ආසියා මහද්වීපයේ රටවල්වල රැකියා උග්‍ර හිඟයක් පවතී. උදාහරණයක් වශයෙන් පාකිස්තානයේ රාජ්‍ය ආයතනයකට පියන් කෙනකු අවශ්‍ය විය. එම බඳවා ගැනීම සඳහා පුවත්පත්වල දැන්වීම් පළ කෙරුණු අතර එයට අයදුම් කළ ගණන පහළොස් ලක්ෂයක් විය. ඉන්දියාවේද මේ අර්බුදය මෙසේම නොවූවද යම් ප්‍රමාණයකට තිබේ. ලංකාවේත් රැකියා විරහිතයෝ නිතරම ආණ්ඩුවේ රස්සාවක් බලාපොරොත්තු වෙති. එය එක්තරා මාන්දමකි. රජයේ රැකියාවක් කරන විට ආණ්ඩුවෙන් ලබාගත හැකි ලෝන්ද, රජයේ නිවාඩු විශාල ප්‍රමාණයක් භුක්ති විඳීමට ඇති හැකියාව ද විශ්‍රාම වැටුප ද අයිස් ගැහීමට ඇති ඉඩකඩ ද (අයිස් මත්ද්‍රව්‍ය නොව නිකන් සිටීම ගැන මෙහින් කියැවේ.) හේතුවෙනි. ලංකාවේ රජයේ රැකියාවලට වඩා පහසුකම් පෞද්ගලික අංශයේ රැකියාවලට ඇත. එහෙත් බංග්ලාදේශයේ පුද්ගලික අංශයට වඩා රාජ්‍ය අංශය හොඳය. මේ නිසා හැමෝම ආණ්ඩුවේ රස්සාවක් ලබාගැනීමට බලා සිටිති. මෙය ලංකාවේත් රජයේ රැකියා මාන්දමට වඩා වෙනස් තත්ත්වයකි. බංග්ලාදේශයේ රජයේ රැකියා දෙන ලද්දේ කෝටා ක්‍රමයකට අනුවය. 1971දී පාකිස්තානයෙන් කැඩී බංග්ලාදේශය බිහි වූ අතර එම සටනට නායකත්වය දුන්නේ ෂෙයික් හසීනාගේ පියා ෂෙයික් මුජිබර් රහමන්ය. එය බංග්ලාදේශ නිදහස් සටන ලෙස හඳුන්වනු ලැබේ. මේ සටනින් විශාල පිරිසක් මියගොස් තව පිරිසක් අබ්බගාත වූහ. වැන්දඹුවෝ දස දහස් ගණනක් බංග්ලාදේශය තුළ තනි වූහ. ඒ අනුව බංග්ලාදේශයේ රජයේ රැකියා ලබාදීමේදී නිදහස් සටනේ සාමාජිකයන්ගේ පවුල්වලට විශාල වශයෙන් රැකියා දෙන ලදී. මෙය කෝටාවකි. කලකට පෙර මේ කෝටාව අහෝසි කළ නමුදු ළඟදී පටන් එය වඩාත් වැඩි කොට ක්‍රියාත්මක කළේය. මේ නිසා තමන්ට හිමි රජයේ රැකියා අවස්ථාව අඩුවන බව දුටු බංග්ලාදේශයේ සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාරට බැස්ස බවත් අන්තිමේදී එරට අගමැති ෂෙයික් හසීනා රටින් පැන ගිය බවත් සියලු දෙනා දනිති. ලංකාවේ අරගලය බංග්ලාදේශයේ අරගලයට වඩා වෙනස්ය. ගෝඨාභය රාජපක්ෂ රටින් පැන ගිය සැණින් අරගලය නැවැත්වූ අරගල නායකයෝ ඒ ගැන ප්‍රකාශයක් කර ගෙවල් බලා නික්ම ගියහ. මෙවිට මහපාරේ ඉතුරු වූයේ කොල්ලකරුවන් පමණි. ඔවුහු ගෝඨාභය විසූ ජනාධිපති මන්දිරය සුද්ද කළ අතර ස්වීමින් පූල් එකට චූ කළහ. ඉන්පසු පොලිසිය ලවා මේ අය ගෙවල්වලට දක්කන ලදී. ගෝල්ෆේස් අරගල භූමිය පිරිසිදු කෙරුණු අතර ජනාධිපති මන්දිරයට පැන්න සියලුම කොල්ලකරුවන්ද අත්අඩංගුවට ගැණින.
ලංකාවේ අරගලය අවසානය මෙසේ වුවද බංග්ලාදේශයේ අරගලය තවමත් අවසන් වී නැත. එම අරගලයට නායකත්වය දෙන විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝද ඔවුන්ට මුවා වූ ත්‍රාඩකාරයෝද තවමත් අරගලය පවත්වාගෙන යති. ෂෙයික් හසීනා පැන ගිය පසු හමුදා ආණ්ඩුවක් පිහිටවූ අතර අරගලකාරී ශිෂ්‍යයන් කළ යුතුව තිබුණේ හමුදාවට ආණ්ඩුව කරගෙන යෑමට ඉඩ හැර ගෙවල් බලා යෑමය. එහෙත් අරගලකරුවෝ නොනැවතීම අරගලය ඉදිරියට ගෙන ගියහ. ඔවුන් මුලින්ම කළේ රටේ අගනුවර පැවති ප්‍රධාන ගොඩනැඟිලි ගිනි තැබීමය. ඉන්පසුව ඔවුහු පාර්ලිමේන්තුවට පහර දුන්හ. තෙවනුව ෂෙයික් හසීනාගේ අවාමි ලීග් පක්ෂ කාර්යාලවලට බෝම්බ ගැසූහ. ඉන්පසු ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල්වලට පහරදීමත් ඔවුන් මරා දැමීමත් සිදුවිය. මේ වනවිට ෂෙයික් හසීනාගේ මන්ත්‍රීවරුන් 30කට කිට්ටු ප්‍රමාණයක් ඝාතනය කර තිබේ. එමතුද නොව ඇතැමුන්ගේ මළ සිරුරු පාලම්වල එල්ලා තිබේ. මේ ත්‍රස්ත ක්‍රියාවලින් පසු අරගලකරුවෝත් ඔවුන් පසුපසින් ආ ත්‍රාඩකාරයෝත් රටේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොස් විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වූහ. ශ්‍රේෂ්ඨාධිකරණයේ බහුතර කාර්ය මණ්ඩලය අරගලකරුවන්ට ඇති බිය නිසා මේ විරෝධතාකරුවන් එක් වූ අතර පැය කිහිපයක් යනවිට බංග්ලාදේශයේ අගවිනිසුරු ඉල්ලා අස්විය. අරගලකරුවන්ගේ ඊළඟ ඉලක්කය වූයේ රටේ මහ බැංකුවය. කඩු, පොලු සහ තුවක්කු අතින් ගත් පිරිසක් මහ බැංකුව වෙත එන බව ඇසීමත් සමඟ මහ බැංකු අධිපතිතුමා ඉල්ලා අස්වී පැන ගියේය. අරගලකරුවන්ට එයින්ද සෑහීමකට පත්වීමට ලැබුණේ නැත. ඊළඟට ඔවුහු බංග්ලාදේශයේ වෙසෙන හින්දු ආගමිකයන්ගේ ගෙවල් ගිනි තබන්නට පටන් ගත්හ. මෙය කිසිසේත්ම නොකළ යුතු දෙයකි. 1971දී පාකිස්තානය දෙකට කඩා බංග්ලාදේශය බිහිකර දෙන ලද්දේ ඉන්දියාව විසිනි. මේ සඳහා ඉන්දියානු ඔත්තු සේවයේ ආරම්භක ප්‍රධානියා වූ එන්. කේ. රාඕ විශාල මෙහෙවරක් කළේය. ඒ නිසා බංග්ලාදේශය තම රටේ සිටින ඉන්දියානු සම්භවයක් ඇති හින්දුවරුන්ට මල් පුදා වන්දනාමාන කළ යුතුය. අරගලකරුවන් ඕනෑවට වඩා නටන්නට පටන් ගත්තොත් ඉන්දියාව ඒ සම්බන්ධයෙන් දරුණු පළියක් ගැනීමට ඉඩ තිබේ. තමන්ට අනභිමත ලෙස ක්‍රියා කරන අසල්වැසි රටවලට ඉන්දියාව දරුණු පාඩම් උගන්වා ඇත. මෙයට ඇති හොඳම උදාහරණය ශ්‍රී ලංකාවය. අසල්වැසි නේපාලය දඟලන්නට පටන් ගත්විට ඉන්දියාව ඒ රටට පනිෂ්මන්ට් දෙන්නට පටන් ගනී. ඒ නිසා බංග්ලාදේශ අරගලකරුවන් ඕනෑවට වඩා දැඟලීම නැවැත්විය යුතුය.
බංග්ලාදේශයේ අරගලය අවුලවා ෂෙයික් හසීනාට රටින් පැන යෑමට කටයුතු කළේ කවුද යන්න අදටත් විසඳී නැති ප්‍රශ්නයකි. ෂෙයික් හසීනා විශ්වාස කරන්නේ බංග්ලාදේශයට අයත් දූපත් නිමිති කරගෙන ඇමරිකාව මේ ගේම් එක දුන් බවය. මේ සිද්ධිය පිටුපස රෝ සංවිධානය සිටින බව ඇතැම් අය විශ්වාස කරති. එසේම පාකිස්තානයේ ජාතික බුද්ධි සේවය මේ ගින්න ඇවිල වූ බව තවත් සමහරු කියති. බංග්ලාදේශයේ අරගලය සම්බන්ධයෙන් ලංකාව, නේපාලය සහ භූතානය යන රටවල් කාටවත් සැක නැත. ලෝකයේ ඉතාම දුර්වල බුද්ධි අංශ මේ රටවල් තුනේ තිබෙන බව හැමෝම දනිති. කෙසේ වුවද බංග්ලාදේශයේ නොනිමි අරගලය දැන් නිමාවට පත්විය යුතුය. නැත්නම් කිසියම් බලවත් රාජ්‍යයක් මැදිහත්ව මේ අරගලය නිමා කළ යුතුය.