අදටත් ඇවැසි පාණදුරාවාදයේ පන්නරය

157

ශ‍්‍රී බුද්ධ වර්ෂ 2417 නිකිණි මාසයේ දී හෙවත් ක‍්‍රිස්තු වර්ෂ 1873 අගෝස්තු මාසයේ දී අප රටේ සිදු වූයේ ඉන් පෙර නො දුටු හා නො ඇසූ විරූ මහා පෙරළියකි. 1818 සහ 1848 වසර වල දී දියත් කෙරුණු නිදහස් අරගල තුළින් ලද පරාජයෙන් දුර්මුඛව හා හෙම්බත්ව සිටි දේශපේ‍්‍රමී හෙළයා හිරු නොබසින්නේ යැයි විරුදාවලී ලත් බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලන තන්ත‍්‍රයට එරෙහිව ලද පළමු තීරණාත්මක ජයග‍්‍රහණය සනිටුහන් කළ විප්ලවයකි. අපේ ජාතික ආගමික හා සංස්කෘතික උරුමයන් පාගා දමමින් සහ වහල් මානසිකත්වයක් සහිත කළු සුද්දන් ගෙන් සමන්විත පරපුරක් බිහි කරමින් අපගේ දේශය සදාකාලිකවම ඉංග‍්‍රීසි පාලනයකට නතු කර තබා ගැනීමට අධිරාජ්‍යවාදීන් දියත් කර තිබූ උපායමාර්ගික ප‍්‍රවේශය සුණු විසුණු කර දැමීමකි. ඒ අන් කිසිවක් නොව මේ වසරේ දී 148 වැනි අනුස්මරණය යෙදී ඇති ඓතිහාසික පාණදුරා මහා වාදයයි.

19 වැනි සියවස ආරම්භ වන විට මුහුදුබඩ ප‍්‍රදේශවල ජීවත් වූ ස්වදේශිකයෝ වසර 300 ක පමණ ප‍්‍රතිකාල්, ලන්දේසි හා ඉංග‍්‍රීසි යටත්විජිතවාදීන්ගේ යකඩ සපත්තුවේ හා බයිනෙත්තුවේ බිහිසුණුකම හොඳින් තේරුම්ගෙන සිටිය හ. විශේෂයෙන්ම බස්නාහිර පළාතේ කොළොම්තොට ආසන්න ප‍්‍රදේශවල සිංහල ජනතාවට මෙම බලපෑම තදින්ම දැනී තිබිණි. 1815 දී උඩරට ගිවිසුම හරහා සිංහලේ පාලනය සම්පූර්ණයෙන් යටත් කරගත් පසු ජාතියේ මුල් උදුරා දැමීමේ අධිරාජ්‍යවාදී මෙහෙයුම වඩාත් තීව‍්‍ර කෙරිණි. බුදුසසුන සුරකින බවට උඩරට ගිවිසුමෙන් දුන් පොරොන්දු අමතක කරමින් බෞද්ධත්වය මත ගොඩනැඟී තිබූ දේශීය සංස්කෘතික පදනම බිඳ දැමීමට රාජ්‍ය අනුග‍්‍රහය සහිතව සැලසුම් ක‍්‍රියාත්මක විය. විශේෂයෙන් බෞද්ධයන් තලා පෙළා දමමින්, ඔවුන්ගේ ආගමික කටයුතුවලට අවහිර කෙරුණු අතර අන්‍යාගම්වලට හැරෙන්නන්ට විශේෂ වරප‍්‍රසාද හිමිකර දෙන ලදී. රාජ්‍ය අය-වැය තුළින් සම්පාදනය කෙරුණු මූල්‍ය ප‍්‍රතිපාදන මත මිෂනාරී සමාගම්වලට පහසුකම් සපයා දෙමින් ස්වදේශීකයා බුදු දහමින් හා ඉන් පෝෂණය ලද දේශීය සංස්කෘතියෙන් බැහැර කරවීමේ උපායමාර්ග බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී පාලකයන් විසින් දියත් කර තිබිණි. පාණදුරේ බෞද්ධ ජනතාව තමන්ට මුහුණපෑමට සිදු වී ඇති අභාග්‍යසම්පන්න තත්ත්වය සඳහන් කරමින් ආණ්ඩුකාරවරයා අමතා 1826 වසරේ දී යවන ලද සංවිධානාත්මක විරෝධතා පෙත්සමෙන් මේ බව මනාව පිළිබිඹු වෙයි.

නිදහස උදෙසා ආයුධ සන්නද්ධව කරන ලද විමුක්ති අරගල දෙකක් අධිරාජ්‍යවාදී සුදු පාලකයන් විසින් සමූල ඝාතනයන් ඔස්සේ නිර්දය ලෙස මර්දනය කරනු ලැබීමෙන් දුර්මුඛව සිටි දේශීයයන්ට රාජ්‍ය මැදිහත්වීම මත දියත් කර තිබූ මෙම සංස්කෘතිකමය ආක‍්‍රමණයට මුහුණදීමට අවශ්‍ය මතවාදී ශක්තිය හෝ මූල්‍ය සම්පත් නො තිබිණි. සිදුවෙමින් පැවැති සෝදා පාළුව දෙස සංවේගයෙන් බලාසිටිනු හැර වෙන යම් විකල්පයක් ඔවුන් සතුව නො වී ය. තම සිදත් සඟරා විවරණය නමැති කෘතියට සැපයූ සංඥාපනය තුළ 19 වැනි සියවස අග වන විට ලක්දිවෙන් බුදුදහම අතුරුදන් වනු ඇතැයි ජේම්ස් ද අල්විස් පඬිතුමා විසින් 1850 දී පුරෝකථනය කරන ලද්දේ මේ නිසා විය යුතු ය.

සිංහල බෞද්ධයා තුළ වූ ආගමික ආධ්‍යාත්මය මතවාදීමය ලෙස උදුරා දැමීමෙන් විනා තම අධිරාජ්‍යවාදී පාලනය ලක්දිව තුළ තහවුරු කළ නොහැකි බව බි‍්‍රතාන්‍යයන් වටහා ගත්තේ යම් සේ ද, තම ජාතියට යළි ස්වෛරීත්වය උදාකර දීමට නම් හෙළ බොදු ආධ්‍යාත්මය වැනසීමේ අධිරාජ්‍යවාදී ප‍්‍රයත්නය පරාජය කර ජාතික මතවාදය ශක්තිමත් කළ යුතු බව සිංහල බෞද්ධ නායකයන්ට ක‍්‍රමයෙන් අවබෝධ වන්නට ඇත. විශේෂයෙන්ම, සුද්දන්ගේ සංස්කෘතික ආක‍්‍රමණයට ප‍්‍රතිරෝධය දැක්වීමට යම් පමණක ආධ්‍යාත්මික හා ආර්ථිකමය ශක්තියක් සහිතව සිටි බව පෙනෙන පාණදුරා වාසී බෞද්ධයන්ට මේ බව පසක් වී තිබී ඇති බව පෙනී යයි. පාණදුරා වාදය තුළින් මෝදු වන්නේ මෙම උපාය මාර්ගික ප‍්‍රවේශයේ ප‍්‍රතිඵලයකි.

පාණදුරේ වලනේ සිරි සිද්ධත්ථාරාමය මෙම ජාතික පුනරුද මෙහෙවරෙහි මූලස්ථානයක් වූයේ එහි වැඩ වෙසෙමින් ගුණවත් හා නැණවත් සඟ පරපුරක් බිහි කිරීමෙහිලා නායකත්වය සැපයූ වලානේ සිද්ථාර්ථ නා හිමිපාණන් වහන්සේ නිසා ය. 1839 දී රත්මලානේ පරම ධම්ම චේතිය පිරිවෙන ඇරඹෙන්නේ උන්වහන්සේ විසිනි. එහි ප‍්‍රධානත්වය දරමින් බෞද්ධයාට අත්‍යවශ්‍යව තිබූ මතවාදී ශක්තිය එන්නත් කිරීමට උන්වහන්සේ විසින් ගෙන ඇත්තේ ඉතා අගනා ප‍්‍රයත්නයකි. ඊට දශක කීපයකට පසු ජාතික කෙත්යායේ සශ‍්‍රීකක්වයට උපස්ථම්භක වූ ප‍්‍රධාන නියමුවන් වලානේ හිමියන් සෙවනේ පරම ධම්ම චේතිය පිරිවෙනෙහි උගත් සිසුන් වීම තුළින් මේ බව පිළිබිඹු වෙයි. පසු කලෙක (1873) විද්‍යෝදය පිරිවෙන ස්ථාපනය කළ හික්කඩුවේ ශ‍්‍රී සුමංගල නා හිමි, විද්‍යාලංකාර පිරිවෙනෙහි (1876) නිර්මාතෘ රත්මලානේ ධර්මාලෝක නා හිමි මෙන්ම සියම් මහ රජතුමන්ට සිප්සතර ඉගැන්වූ රාජගුරු වස්කඩුවේ ශ‍්‍රී සුභූති නා හිමි ද මෙම පළමු සිසු පිරිස අතර වූ හ. උන්වහන්සේලා පාණදුරාවාදයේ ශාස්ත‍්‍රීය ජය‍්‍රග‍්‍රහණය පසුපස සිටි මතවාදී බල කණු වීම තුළ මේ බව තවදුරටත් සනාථ වෙයි. 1873 දී පාණදුරාවාදය තුළින් අධිරාජ්‍යවාදයට යළි හිස එසවිය නොහැකි වන තීරණාත්මක මතවාදී ප‍්‍රහාරයක් තම ශිෂ්‍ය හිමිවරුන් විසින් එල්ලකෙරෙනු දැක සතුටු වීමට වලානේ සිරි සිද්ධාර්ථ මාහිමිපාණන්වහන්සේ සතු වූ ආයුෂ වසර කිහිපයකින් මඳ වීම අභාග්‍යයකි.

එවක ගල්කන්දේ පන්සල නමින් හැඳින්වුණු පාණදුරේ රන්කොත් විහාරය මූලික කෙරෙමින් ක‍්‍රියාත්මක වූ ජාතික හා ආගමික මෙහෙවර ද සුළු පටු නොවේ. මෙතෝදිස්ත දේවස්ථානය ලෙස වර්තමානයේ හැඳින්වෙන්නා වූ එවක වෙස්ලියන් පල්ලිය මූලස්ථානය කර ගනිමින් දාවිත් ද සිල්වා දේවගැතිතුමා විසින් බුදුදහමේ ඉගැන්වීම් විවේචනයට ලක් කරමින් 1873 ජූනි මස 12 දින පවත්වන ලද දෙසුම් තාක්ෂණික පටිගතකිරීම් කිසිවක් නොමැති අවදියක ඉතා සූක්ෂ්ම පරිදි ලබා ගනිමින් ඒවාට හරියටම සතියක් තුළ මතවාදී පිළිතුරු සැපයීමට ගල්කන්දේ පන්සල කේන්ද්‍රකරගත් බෞද්ධ බලවේගවලට හැකිවීමම වුවද මේ වගට ප‍්‍රමාණවත් සාක්ෂි සපයයි. විහාරාධිපති පූජ්‍ය වල්පිට ගුණරතනතිස්ස මාහිමියන් මෙන්ම එවක ගල්කන්දේ පන්සලේ වැඩසිටිමින් ජාතික ආගමික මෙහෙවරෙහි නිරත මහා පඬිරුවනක් වූ වැලිගම ශ‍්‍රී සුමංගල නායක හිමිපාණන් ද මේ සඳහා පෙරමුණ ගෙන ඇත. ඒ වන විටත් ක‍්‍රිස්තියානි මිෂනාරීන්ට එරෙහිව වාද කීපයක් පවත්වා සිටි සහ වාදයෙහි දක්ෂ බවට ප‍්‍රසිද්ධ යතිවරයන්වහන්සේ නමක් වූ මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් ගල්කන්දේ විහාරස්ථානයට වඩමවා දාවිත් ද සිල්වා දේවගැතිතුමා විසින් බුදුදහමේ ඉගැන්වීම් සම්බන්ධයෙන් කරන ලද විවේචනයන්ට පිළිතුරු සපයමින් දෙසුම් සංවිධානය කිරීමට පියවර ගනු ලැබ තිබේ. මෙසේ දෙපසකට වී අදහස් හුවමාරු කිරීම වෙනුවට එක වේදිකාවක හිඳිමින් මුහුණට මුහුණ ලා සංවාද කිරීමට බෞද්ධ පාර්ශ්වය වෙනුවෙන් ප‍්‍රදේශයේ ප‍්‍රභූවරයකු වූ පොන්නහැන්නැදිගේ ජෙරමියෙස් දියෙස් හා කුරුකුලසූරියගේ කොර්නේලිස් පේ‍්‍රරා කරුණාරත්න මහත්වරුන්ගේ නායකත්වයෙන් සහ ක‍්‍රිස්තියානි පක්ෂය වෙනුවෙන් පාණදුරේ උසාවියේ පෙරකදෝරුවරයකු වූ පීතර් දානියෙල් මහතාගේ හා පාණදුරේ පට්ටියේ පදිංචි මත්තෙස් සුවාරිස් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් ලිඛිතව එකඟ වීමත් සමඟ ජාතික නිදහස් අරගලයේ පළමු ජයග‍්‍රාහී කඩඉම සනිටුහන් කෙරුණු ලෝක ප‍්‍රසිද්ධ පාණදුරා මහා වාදයට මාවත විවර වී ඇත.

අදටත් ඇවැසි පාණදුරාවාදයේ පන්නරය

1873 අගෝස්තු 26 හා 28 දෙ දින පාණදුරේ ජෙරමියෙස් දියෙස් මහතාට අයත් දොඹගහවත්ත නමැති භූමියේ ඉදිකරන ලද වේදිකාවක පාණදුරා වාදය පැවැත්විණි. අතිපූජ්‍ය හික්කඩුවේ ශ‍්‍රී සුමංගල, වැලිගම ශ‍්‍රී සුමංගල, රත්මලානේ ධර්මාලෝක, බුලත්ගම ධර්මාලංකාර සිරි සුමනතිස්ස, පොතුවිල ඉන්දජෝති, කොග්ගල සංඝතිස්ස, රාජගුරු වස්කඩුවේ ශ‍්‍රී සුභූති, තලාහේනේ අමරමෝලි, රන්දොඹේ ධම්මාලංකාර හා එවක පාණදුරේ රන්කොත් මහා විහාරාධිපතී වල්පිට ගුණරතනතිස්ස වැනි මහ තෙරුන්වහන්සේලා හා බටුවන්තුඩාවේ දේවපතිරාජ පඬිතුමා බෞද්ධ පාර්ශ්වය වෙනුවෙන් දාර්ශනික දායකත්වය ලබා දුන් අතර වාදීභසිංහයන් ලෙස ලොව පතළ වූ අතිපූජ්‍ය මොහොට්ටිවත්තේ ගුණානන්ද නා හිමිපාණන්වහන්සේ බෞද්ධ පාර්ශ්වය වෙනුවෙන් වාදාභිමුඛ වූ සේක. ක‍්‍රිස්තියානි පාර්ශ්වයට මතවාදී දායකත්වය ඇස්. ලැන්ග්ඩන්, ආර්. ටැබ්, ඇස්. කොලින්ස්, සී. ජයසිංහ, පී. රුද්‍රිගු ප‍්‍රනාන්දු, ඇල්. නතානියෙල්ස්, ඕ. ජේ. ගුණසේකර, ජේ. එච්. අබේසේකර, එච්. මාටිනස්. ජුවන් ද සිල්වා ඞී. පොන්සේකා හා චාර්ල්ස් ද සිල්වා වැනි පියතුමන්ලා විසින් ලබා දෙනු ලද අතර වාදාභිමුඛ වූයේ දාවිත් ද සිල්වා දෙවගැතිතුමා සහ සිරිමාන්න කතිසේරුතුමා පමණි. තව ද, හුණුපොළ නිලමේ, සුසෙව් ද සොයිසා මුදියන්සේ රාලහාමි හා ස්ටේපල් දොස්තර මහතා ද ක‍්‍රිස්තියානි පාර්ශ්වයේ සහයට පැමිණ සිටියහ.

එක් පාර්ශ්වයක් පැයක් බැගින් මාරුවෙන් මාරුවට කතා අටක් පවත්වා ඇත. ධර්ම කරුණු මෙන්ම තර්කන ශක්තිය ද එම දෙසුම්වලදී උර ගා බලනු ලැබ තිබේ. වාදය නැරඹීම සඳහා දෙපාර්ශ්වයෙන්ම දසදහසක පමණ පේ‍්‍රක්ෂකයන් වාද භූමියට රැස්ව සිට ඇත. වාදයේ කරුණු පිළිබඳ එම ස්ථානයේ සිට සටහන් තබමින් පුවත්පත් ඔස්සේ ප‍්‍රසිද්ධ කිරීමට සිලෝන් ටයිම්ස් පත‍්‍රයේ එඩවඞ් පෙරේරා ලේඛකතුමා සහ ජෝන් කැපර් කතුතුමා ඇතුළු විවිධ පුවත්පත් වාර්තාකරුවෝ පියවර ගත්හ. වාදයේදී නොසන්සුන්තාවක් ඇතිවුවහොත් මුහුණදීම උදෙසා පාණදුරේ පොලිසියේ මුලාදෑනි මහතුන් එහි රැස් වී සිටි නමුදු එවැනි කිසිදු කලබලයක් එහි ඇති නො වූ බව ද, තමන්ට හුරු පුරුදු යුරෝපයේ නම් එවැනි තත්ත්වයක් පිළිබඳ සිතීමටවත් නො හැකි බව ද වාදය තම දෑසින් නිරීක්ෂණය කළ ක‍්‍රිස්තියානි පාර්ශ්වයේ ප‍්‍රභූවරයකු වූ ලැන්ග්ඩන් පියතුමා විසින් සඳහන් කරනු ලැබ තිබීම විශේෂයකි. දෙදිනක වාදය අවසානයේ බෞද්ධ පාර්ශ්වයේ පේ‍්‍රක්ෂකයන් වෙතින් නැඟුණු ජයග‍්‍රාහී සාධුකාර නාදය මුහුද ගොඩගලන්නාක් මෙන් ඇසුණු බව පාණදුරාවාද වාර්තාවන්හි සඳහන් වෙයි.

පාණදුරා මහා වාදයේ දී බෞද්ධයන් ලද ජයග‍්‍රහණය හුදු වාදයක් වාචිකව දිනීමක් පමණක් නො වීය. ඉන් උද්දීපනය වූ බෞද්ධ ආධ්‍යාත්මය ඉන් ඔබිබෙහි ඇතිවූ ජාතික පුනරුද ව්‍යාපාරයට අත්තිවාරම සැකසී ය. එතුවක් පරාජිතව සිටි දේශීයයා නව ජවයකින් නැඟී සිටියේ මිෂනාරී ආගමික ආක‍්‍රමණය පිටු දැකීමට පමණක් නොවේ; දේශය නතු කරගෙන සිටි අධිරාජ්‍යවාදයට එරෙහිව නැඟී සිටීමට අවශ්‍ය ශක්තිය හා ආත්ම ධෛර්යය ද අලූතින් ලබා ගනිමිනි. පාණදුරා වාදයේ කාහල නාදය අධිරාජ්‍යවාදයට එල්ලවුණු පළමුවැනි මරු පහර වූයේ ය. ඉන් කරකැවීම ඇරඹුණු ජාතික විමුක්ති ව්‍යාපාරයේ ජව රෝදය තවත් වසර හැත්තෑපහක් තුළ දේශයේ අධිරාජ්‍යවාදී බැමි මූලික වශයෙන් සිඳ දැමීමට අවශ්‍ය සියලූ විභව ශක්තීන් ජනනය කර දීමට සමත් විය. විසිවැනි සියවස ආරම්භයේ දී ජාතික පුනරුදයේ ප‍්‍රධාන නියමුවා ලෙස බුහුමනට පාත‍්‍රවෙන අනගාරික ධර්මපාලතුමන් දස වියැති ළමයකු ලෙස පාණදුරා වාදය නරඹා තිබීමෙන් ජාතික චින්තනයේ මූල බීජයන් එතුමා තුළ රෝපණය වීමට ඉන් ලද පිටිවහල පෙන්නුම් කෙරෙයි. කර්නල් හෙන්රි ඕල්කට්තුමා ලංකාවට පැමිණෙන්නේ සිලෝන් ටයිම්ස් පත‍්‍රය විසින් අතිරේකයක් ලෙස මුද්‍රණය කර බෙදා හැර තිබූ පාණදුරාවාද වාර්තාව මත පදනම්ව ජේ. එම්. පීබල්ස් මහතා විසින් පාණදුරා වාදය පිළිබඳව රචනා කරන ලද පොත කියැවීමෙනි. පරම විඥානාර්ථ බෞද්ධ සමාගම සහ දේශීය ගිහි-පැවිදි බෞද්ධ ප‍්‍රභූන්ගේ ද සහය ඇතිව බෞද්ධ පාසල් ඇති කිරීමෙන් බෞද්ධ අධ්‍යාපනය නඟාසිටුවීමට පියවර ගැනීම එහි ප‍්‍රතිඵලයකි. ජේම්ස් ද අල්විස් පඬිතුමා ගේ අනාවැකි බොරු කරමින් විසි වැනි සියවස ඇරැඹෙනවිට බුදු දහම අතුරුදන් වනු වෙනුවට වඩවඩාත් ශක්තිමත්ව දීප්තිමත්ව හා ප‍්‍රචලිතව බැබළීමේ පසුබිම සැකැසුණේ ඒ අනුව ය. මේ සියල්ලට පදනම් වූ තීරණාත්මක සාධකය පාණදුරා වාදය බව ඉන් සනාථ වෙයි.

ජාතික නිදහස් අරගලයේ මතවාදය නිර්මාණය කිරීමෙහි ලා පාණදුරා වාදයේ ජයග‍්‍රහණයෙන් ලැබී ඇති පිටුබලය ද සුළු පටු නැත. පීටර්ලා පියදාසලා බවට පත් වීමේ පටන් අධිරාජ්‍ය ගැති වහල් මානසිකත්වයෙන් ස්වදේශිකයා මුදවාලීම තෙක් සුවිසල් සංස්කෘතික පුනරුදයකට මංපෙත් විවර කළේ පාණදුරා වාදයයි. වලිසිංහ හරිස්චන්ද්‍ර, කුමාරතුංග මුනිදාස, පියදාස සිරිසේන, ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි වැනි දේශමාමකයන්ට මෙන්ම ඞී. බී. ජයතිලක, එෆ්. ආර්. සේනානායක වැනි ජාතික නායකයන්ට පන්නරය සැපයූයේ ද ඒ මහා වාදයේ ශක්තියෙන් කරකැවුණු ජාතික මෙහෙයුම් ජව රෝදයෙනි. පාණදුරා මහා වාදය හුදු ආගමික සංසිද්ධියකට ඔබ්බෙන් වූ ජාතික විමුක්ති සටනේ තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස සැලකිය යුතු වන්නේ ඒ නිසා ය.

වර්තමානයේ ද අප රට – දැය හා සමය මුහුණ දී ඇත්තේ සුළු පටු අභියෝගයන් සමූහයකට නොවේ. ජාතිකත්වය අවතක්සේරු කිරීමට හා විදේශීය සංස්කෘතීන් උසස් කොට සැලකීමට අනාගත පරපුර පොළඹවන සූක්ෂ්ම ව්‍යාපාරයන් දියත් වී ඇති බව ඇස් කන් හා හද ගැස්ම ඇති දේශීයයාට නිසැකවම තේරුම් යා යුතු ය. බටහිර වෙළෙඳ උපක‍්‍රම නමැති බාඳුරා බොකු වෙත ජන විඤ්ඤාණය ආකර්ෂණය කිරීමේ පටන් ඉන්දියානු සෞන්දර්යාත්මක ඩැහැගැනීම් හරහා දේශීය ඓතිහාසික උරුමයන් හා අපගේ ජාතික හරපද්ධතීන් අවතක්සේරු කිරීම තෙක් මෙම ව්‍යාපාර ප‍්‍රවාහයන් ගලායන බව පෙනේ. සිංහල භාෂා භාවිතය නැවත ද වටයක් කුස්සි මුල්ලට තල්ලූ කෙරෙමින් පවතින්නේ නීති විද්‍යාලය ඇතුළු උසස් අධ්‍යාපන ආයතනවල පමණක් නොව බොහෝ පෙරපාසල්වල පවා අධ්‍යාපනයේ භාෂා මාධ්‍යය ඉංග‍්‍රීසියට හරවමිනි. සමහර දහම්පාසල් ද වර්තමානය වන විට මේ ඉංගිරිසි මාධ්‍ය උමතුවට ගොදුරු වෙමින් පවතී. උපතේ පටන් තම දරුවන්ගේ භාවිතමය භාෂාව ඉංගිරිසියට හැරවීමට සිංහල දෙමාපියන් දරන බව පෙනෙන ප‍්‍රයත්නය මීට සියවසකට පමණ පෙර සිට මෙම ඉංගිරිසි වෛරසයෙන් හෙළ බස හා දේශීය සංස්කෘතික දේහය මියයෑම වැළැක්වීමට ජීවිත පරිත්‍යාගයෙන් වෙහෙසුණු පාණදුරා වාදයේ සැබෑ උරුමකරුවන් ඇතුළු දේශපේ‍්‍රමීන්ට කරන අවඥාවකි – නිග‍්‍රහයකි. ජාතික අනන්‍යතාව හා හෙළ සංස්කෘතික දේහයේ ජීවය රැඳී ඇත්තේ හෙළ බසෙහි බව වටහා නොගැනීම බරපතළ ජාතික අනතුරකි – ඛේදවාචකයකි. මීට අමතරව, ජාතික රාජ්‍ය ව්‍යුහය බිඳ දැමීමේ තර්ජනය ද තව දුරටත් සක‍්‍රීයව පවතී.
උපාය මාර්ගික වැදගත්කමකින් යුතු ආර්ථික මර්මස්ථාන හා ජාතික සම්පත් විජාතික බලවේල වල ග‍්‍රහණයට නතු කෙරෙමින් ඇත. ඒ අතර ම, කිසි කලෙකත් නො වූ විරූ පරිදි ජාතිකමය බලවේග නිහඬ, නිද්‍රාශීලී හා අකර්මණ්‍ය තත්වයකට පත්ව ඇති බව ද නිරීක්ෂණය කරනු ලැබිය හැකි ය. මෙම ප‍්‍රවණතාවන්හි නියත ප‍්‍රතිඵලය වනු ඇත්තේ අනාගත ශ‍්‍රී ලාංකිකයාගේ මානසිකත්වය තුළින් දේශීයත්වය, නිවහල් බව හා ජාතික අනන්‍යතාවය තුරන් වී යෑමයි. දේශයේ ඒකාග‍්‍රතා රාමුව බිඳවැටීමයි; ආර්ථික ශක්තිය දිය වීමයි; කෙටියෙන් පවසතොත්, සියවස් එකහමාරකට පමණ පෙර පාණදුරා වාදයෙන් ඇරැඹි ජාතික බලවේග විසින් පරාජය කරන ලද විජාතික බල කඳවුරුවලට නැවත පාවඩ එළීමයි.

සැබෑ දේශීය බලවේග විසින් උපායශීලීව නව පන්නයේ ජාතික අරගලයක් දියත් කළයුතු වීමට ඇවැසි වාස්තවික තත්වයන් මේ වනවිට ඕනෑවටත් වඩා නිර්මාණය වී ඇති බව ඒ අනුව ඉතා පැහැදිලි ය. ජාතියේ අනාගත සුරක්ෂිතතාව හා අභිවෘද්ධීය තහවුරු කිරීමට නම් එ වැනි ස්වදේශික ප‍්‍රයත්නයක් ඔස්සේ මෙම අභියෝගයන්ට සාර්ථකව මුහුණ දී ජය ගැනීම අනිවාර්ය අවශ්‍යතාවකි. ජාතික අර්බුදකාරී තත්වයන් හමුවේ දේශීය මංපෙතෙහි හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කළ පාණදුරා වාදයෙන් ඒ උදෙසා උගත හැකි පාඩම්, ලද හැකි ආභාෂය හා උකහා ගත හැකි ධෛර්යය සුවිශාල වෙයි. අධිරාජ්‍යවාදී යකඩ සපත්තුවට පෑගෙමින් සිටි අදටත් වඩා දුෂ්කර වූ යුගයක පාණදුරා වාදය වැනි සංසිද්ධියක් ඔස්සේ නැඟිටීමට අප ගේ මුතුන්මිත්තන්ට හැකි වූයේ නම් වර්තමාන අභියෝග ජය ගැනීම ඔවුන් ගේ රුධිරයෙන් ධමනි පෝෂණය වී ඇති ජාතික බලවේගවලට අසීරු විය නො හැකි ය. ඒ වෙනුවෙන් පාණදුරා වාද එකක් නොව දහයක් වුව ද කිරීමට අප දිරිමත් විය යුත්තේ එබැවිනි.

ලලිතසිරි ගුණරුවන්

advertistmentadvertistment
advertistmentadvertistment