අදටත් කෙළින පැරණි පිස්සුව(76 වැනි නිදහස් දිනය නිමිත්තෙනි)

790

මෙයට අවුරුදු 76 කට පෙර අද වගේ දවසක ලංකාවට නිදහස ලැබිණ. අවුරුදු සිය ගණනක් පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යන අධිරාජ්‍යවාදීන්ට යටත් වී තැලී පෑගී සිරවී සිටි මේ රටේ ජනතාවට නිදහස යනු ඉතා අමුතු හැඟීමක් ගෙන දුන්නක් විය. ඒ වන විටත් ලංකාව අර්ධ වැඩවසම් රාජ්‍යයකි. 1800 අවසාන භාගයේදී මේ රටේ තිබූ වැඩවසම් පුරුදු එහෙම පිටින්ම පාහේ 1948 වන විට ද රට තුළ ඉතිරිව තිබිණ. පරණ මිනිරන් මුදලාලිලාගේ සල්ලිවල බලය ඒ වන විටත් ඉතිරිව තිබිණ. පරණ වංශවතුන්ගේ වලව් සංස්කෘතිය ඒ වන විටත් ඉතිරිව තිබිණ. වංශයක් නැති වලව්වත් නැති අලුත් සල්ලිකාරයන් හිස ඔසවන්නට පටන් ගත් ඒ කාලයේදී ඉතා වැදගත් යමක් සිදුවිය. එනම් මේ රටේ ආදායම් බෙදීයෑමේ විෂමතාව ආරම්භ වීමය. එනම් දුප්පතාගේ සාක්කුවේ රුපියලකුත්, ධනවතාගේ සාක්කුවේ රුපියල් දාහකුත් තිබීමය. මනුෂ්‍යයන් වූ මේ දෙගොල්ලටම තිබුණේ සමාන අවශ්‍යතාවන් ය. දුප්පතා එම අවශ්‍යතා රුපියලකින් ද, පොහොසතා එම අවශ්‍යතා රුපියල් දහසකින් ද පියවා ගත්හ. මේ නිසා ඇති නැති පරතරය ඉතා පැහැදිලි ලෙස නැඟ එන්නට වූයේ ය. මෙහි පළමු වටය අවසන් වන්නේ 1971 අප්‍රේල් කැරැල්ලෙනි. නිදහසින් පසු අවුරුදු 23 ක් ඉවසා සිටි ජන මනස 1971 දී ලංකාවේ සෑදූ තුවක්කු සහ අත්බෝම්බ රැගෙන පොලිසිවලට වෙඩිතබා රට යටත්කර ගන්නට තැත් කළහ. මෙය කිසි ලෙසකින්වත් හරි ගියේ නැත. එහිදී සිදුවුණේ තරුණයන් දහස් ගණනක් ආමි එකේ සහ පොලිසියේ වෙඩි පහරට ලක්වී මරණයට පත්වීමය. මෙහි දෙවන වටය 88, 89, 90 යන අවුරුදු තුනේදී එලෙසින් ම පුනරුච්ඡාරණය විය. එහිදී ද තරුණ තරුණියෝ 75,000 ක් පමණ ඝාතනයට ලක්වූහ.

1948 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් ලංකාවට නිදහස දෙන්නේ ඉතා කැමැත්තෙනි. මෙය වැඩිදෙනා නොදත් කතාවකි. ලංකාව හැමදාමත් පාඩුපිට දිවූ රටකි. එනම් අපේ එකවුන්ට් එකේ හැමදාමත් තිබුණේ CREDIT BALANCE එකකි. අධිරාජ්‍යවාදීන් විසින් අවුරුදු 500 ක් තිස්සේ තනන ලද යුරෝපීය ඇඳුම් අඳින නාගරික රටවැසි පරම්පරාව තියෙන දෙයක් කා දැමුවා මිස අලුතින් යමක් නිපදවීමට උත්සාහ කළේ නැත. එසේම සිංහල ගැමියා අධික මාන්නක්කාර කෙනෙකු වූ බැවින් ශ්‍රමය විකුණා මුදල් සොයා ගැනීමට අකැමැති විය. මේ පිළිබඳ කුඩා උදාහරණයක් කියමු. 1800 ගණන් වලදී ලංකාවට තේ වගාව හඳුන්වා දුන් ජේම්ස් ටේලර් එය ව්‍යාප්ත කිරීම සඳහා සිංහලයන්ගේ ශ්‍රමය මුදලට අපේක්‍ෂා කළේය. එහෙත් සල්ලිවලට ශ්‍රමය විකිණීම වෙනුවට අත්තමට වැඩ කිරීමට පුරුදුව සිටි සිංහලයා ජේම්ස් ටේලර්ට කියා සිටියේ තමන් ඔහුගේ තේ වතුවල නොමිලයේ වැඩ කරන බවත් තමන් කුඹුරු කරන කාලයට ටේලර් ඇතුළු පවුලේ උදවිය එම කුඹුරුවල නොමිලයේ වැඩ කළ යුතු බවත් ය. මෙය ඇසූ ටේලර්ට තාරකා වීසි විය. මඩ ගාගෙන අමුඩ ගසාගෙන කුඹුරු වැඩ කිරීම ඔවුන්ට පුරුදු වූයේ නැත. ඒ නිසා විකල්පයක් ලෙස ඉන්දියාවෙන් කම්කරුවන් ගෙන්වීමට ඔහු හිත හදා ගත්තේය. එයට ආණ්ඩුවේ අවසරය ද ලැබිණ. වතු කම්කරු ප්‍රශ්නය නමැති අදටත් පුපුරා නැති බෝම්බය පටන් ගන්නේ මෙතැනිනි. මේ බෝම්බය හරියාකාරව පිපිරූ දාට 1948 ලැබුණු නිදහසෙහි කෑලි සෙවීමට අපට සිදුවේ. ඉහත ඡේදය පුරා විස්තර කළ කුණු වූ තත්ත්වයන් හටගන්නේ මේ රටේ ජනතාවගේ මාන්නාධික ගොබ්බ චින්තනයත්, සුද්දන් විසින් මේ රටේ නාගරිකයන්ට උගන්වන ලද නරක පාඩමත් නිසාය. 1948 අප නිදහස ලබන විට මේ රට පාලනය කළ පරම්පරාවේ දිගුව විසින් අදටත් මේ රට පාලනය කරනු ලැබේ. ඒ නිසා හැමදාමත් මේ රටේ එකවුන්ට් එක තිබෙනුයේ CREDIT BALANCE එකේය. ලංකාව පිළිබඳ පළමු අය – වැය 1800 ගණන්වල මුලදී එංගලන්තයේ යටත්විජිත භාර ලේකම් විසින් සාදන ලදි. මේ රට බෙහෙවින් පාඩු ලබන රටක් බවත් ඉන්දියාව බෙහෙවින් ලාභ උපදවන රටක් බවත් එවිට සුද්දෝ හෙළිකර ගත්හ. ඉන්දියාවට නිදහස දී ඉතා කෙටි කලකට පසු ලංකාවට සිය කැමැත්තෙන් නිදහස දීමට සුද්දන් තීරණය කරන්නේ මේ ලෙඩ ගොඩෙන් ගැලවී ගාණක් ඉතිරිකර ගැනීම සඳහා ය.

නිදහස යනු ඉතා විසිතුරු වචනයකි. එයින් මූර්තිමත්වන අදහස විස්තර කිරීමට අවශ්‍ය වචන කිසිදු භාෂාවක නැති බව අපගේ හැඟීමය. එහෙත් 1948 දී මේ රටට ලැබුණු නිදහස විග්‍රහ කිරීම සඳහා ඕනෑ තරම් වචන තිබේ. නිදහස් රටක් බාරගැනීමට තරම් සුදුසු දේශපාලනඥයන් අපේ රටේ නොසිටි බැවින් නිදහස ලැබීම නිසා අපි නන්නත්තාර වීමු. පාඩු පිට දුවන රටක් අත්හැර දැමීම නිසා සුද්දෝ ගොඩ ගිය හ. පසුගිය අවුරුදු 76 පුරාම නිදහසේ චූන්එක මතක් කරමින් පෙබරවාරි 04 වැනිදාට අහස දිහා බලා ගුවන් යානා සංදර්ශන දැක අත්පුඩි ගැසුවාට වැඩි යමක් සිදු වී නැත. පෙබරවාරි 04 නිදහස සමරන මේ රටේ ජනයා පස්වැනිදා සිට හිස් සාක්කුවල දෑත් ඔබාගෙන වැඩට යති. නිදහස පිළිබඳ ආඩම්බර වීමට හෝ සතුටු වීමට කිසිවක් මේ රටේ දේශපාලනඥයන් අපට ඉතුරු කර නැත. ලංකාව කිසිදු ඉතිරියක් නැති රාජ්‍යයකි. පළමුව, ඉතිරි කිරීමට දෙයක් අප සතුව නැත. දෙවනුව, ඉතිරි කළ දෙයක් පවත්වාගෙන යෑමට ඕනෑකමක් අප තුළ නැත.

සිංහල රජ කාලේ පටන් ලංකාව යනු අඳුරු රාජ්‍යයකි. රජතුමා කොතරම් හොඳ මිනිහෙක් වුව ද, නිලමේලා සහ අධිකාරම්ලා විසින් ඔහුට කෙළවන ලදි. රජු සහ ජනයා අතර විශාල පරතරයක් සෑදීමටත් ඒ පරතරය තුළින් රිංගා රජු වෙත යෑමට සාමාන්‍ය ජනතාවට නොහැකි වන පරිදි කටයුතු කිරීමත් පෙර කී නිලමෙලාගේත් අධිකාරම්ලාගේත් කාලකණ්ණි පුරුද්ද විය.

ශ්‍රී වික්‍රම රාජසිංහ වඩුගයෙකු වුවද කන්ද උඩරට රාජධානිය බාරගන්නා විට බේබද්දෙක්ව සිටියේ නැත. එහෙත් අධිකාරම්ලා ඔහු වටකරගෙන ඔහුට බ්‍රැන්ඩි පොවා බේබද්දෙකු බවට පත් කළේය. ලංකාව සම්පූර්ණ යටත් විජිතයක් බවට පත්වන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ බ්‍රැන්ඩි බිබී පිස්සු කෙළින්නට පටන් ගත් හෙයිනි. ඒ පිස්සුව අදටත් එසේම කෙළිනු ලැබේ.

advertistmentadvertistment
advertistmentadvertistment