ඇමැති නිහඬවම සිටියි
රටම බලා ඉන්නවා: විදුලි ප්‍රශ්නයට ආණ්ඩුව දෙන විසඳුම මොකක්ද – විපක්‍ෂ නායක සජිත්
කථානායකතුමා න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරගෙන යන්න – ඇමැති බිමල් රත්නායක
යූඑස්ඒඩ් සොයන්න තේරීම් කාරක සභාවක් පත්කරනවාද – දයාසිරි ජයසේකර
ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට මම සැලසුම් කරලා තිබෙනවා – කථානායක
විදුලි බිඳවැටීමක් නැවත අද (15 දා) දිනයේ සිදු වන්නේද කියා විමසමින් සහ විදුලි බිඳ වැටීම් නවත්වා
ගැනීමට ගනු ලබන පියවර පිළිබඳ ප්‍රකාශයක් කරන ලෙස ඉල්ලා සිටිමින් විපක්ෂ නායක ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී ඊයේ (14දා) දිනයේදී දිගින් දිගටම ප්‍රශ්න කරද්දී විදුලි බල ඇමැති කුමාර ජයකොඩි මහතා කිසිදු ප්‍රකාශයක් කිරීමෙන් වැළකී සිටියේය.
ආණ්ඩු වෙනුවෙන් වෙනත් ඇමැතිවරයකු ද ඒ සම්බන්ධයෙන් කිසිදු අදහසක් පළ නොකළ අතර විපක්ෂයේ බලවත් ප්‍රශ්නකිරීම් හමුවේ සභානායක, ඇමැති බිමල් රත්නායක මහතා “විදුලි බල ඇමැතිතුමා හෝ මණ්ඩලය ඒකට පිළිතුරු දෙයි කියලා මම හිතනවා” යැයි පමණක් අවසන් මොහොතේ කීය.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අදාළව ගොනු කර ඇති පෙත්සම්වලට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව දැනුම්දීම සඳහා ඊයේ (14දා) දින පෙ.ව 9.30ට පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබූ අතර එම තීන්දුව කථානායක විසින් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව සභාවේ මෙම ප්‍රශ්න කිරීම සිදු විය. එහිදී මතුවූ සංවාදය පහත පරිදිය.
සජිත් ප්‍රේමදාස මහතා- මේ මම කියන ප්‍රශ්න පිළිබඳව රට උත්තරයක් බලාපොරොත්තුවෙන් සිටිනවා. විදුලි බිඳවැටීම් දැන් දිගින් දිගටම වෙනවා. එය ඉදිරියටත් සිදු වෙනවාද? ආණ්ඩුව මොකක්ද මේ සඳහා දෙන විසඳුම්. ඒ වගේම දේශපාලන පළිගැනීම් දිගින් දිගටම කරගෙන යනවා.
බිමල් රත්නායක මහතා- නඩු තීන්දුවට අමතරව වෙනත් කරුණු කතා කරන්න යනවා. අද ව්‍යවස්ථාදායක සභාවත් රැස්වීමට නියමිතව තිබෙනවා. නඩු තීන්දුව ගැන අපිත් අධ්‍යයනය කළ යුතුයි. කථානායකතුමා න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරගෙන යන්න.
(විපක්ෂයෙන් බාධා)
සජිත් ප්‍රේමදාස මහතා – විදුලි බල ඇමැතිතුමාත් මෙම සභාවේ සිටින මොහොතේ මා අහන්න කැමතියි, මේ විදුලි බිඳ වැටීම් ගැන මේ සභාවට ප්‍රකාශයක් කරනවාද? මුළු රටම අහනවා මේ ඉරිදාටත් ලයිට් කපනවාද කියලා?
ඒ වගේම දේශපාලන පළිගැනීම් වෙනවා. ප්‍රධාන ලේකම්වරුන් පූල් එකට (සංචිතයට) දාලා තිබෙනවා. තානාපතිවරුත් පූල් එකට දැලා තිබෙනවා. විදෙස් ආයෝජකයන් අපේ රට අතහැර යනවා. තරගකාරී ක්‍රමයට විනිවිදභාවයෙන් මේ රටේ හැමදේම සිදුවිය යුතුයි. මේවාට මොකක්ද විසඳුම. මේ ඉරිදාටත් ඉල්ලුමට වඩා සැපයුම තිබුණොත් විදුලි බිඳ වැටීමක් විය හැකියි. ඇමැතිවරයා ප්‍රකාශයක් කරන්න. මේ ඉරිදා අලුතින් කර්මාන්තශාලා විවෘත කරලා යම් ස්ථාවරත්වයක් ඇති කරන්න කටයුතු කරනවාද?
දයාසිරි ජයසේකර මහතා- යූඑස්ඒඩ් ගනුදෙනු පිළිබඳව රටම කතාවෙනවා. ඒ ගැන නාමල් මන්ත්‍රීතුමා ඉල්ලා තිබෙනවා තේරීම් කාරක සභාවක් පත් කරන්න කියලා. මෙතන අගමැතිතුමියගේ නමත් ගෑවිලා තිබෙන නිසා මේක ආණ්ඩුවටත් හොඳ නෑ. ඒ නිසා කථානායකතුමා එවැනි තේරීම් කාරක සභාවක් පත් කරනවාද?
කථානායක- ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට මම සැලසුම් කරලා තිබෙනවා. මතක තබාගන්න.
ගයන්ත කරුණාතිලක මහතා- විදුලි බිඳ වැටීම ගැන අහනකොට සභානායකුමා කිව්වා ඒක කාලීන ප්‍රශ්නයක් නොවෙයි කියලා. අද රටම බලාගෙන ඉන්නවා. විශාල මුදලක් වැය කරලා පාර්ලිමේන්තුව අද රැස්වුණු වෙලාවේ විදුලි බල ඇමැතිවරයාට මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න කියන්න.
රංජිත් මද්දුම බණ්ඩාර මහතා- විදුලිය ප්‍රශ්නය විශාල ප්‍රශ්නයක්. මේ ගැන විශේෂ ප්‍රකාශයක් කරන්න කියා ඇමැතිතුමාට කියන්න.
සජිත් ප්‍රේමදාස මහතා- විදුලි බල ඇමැතිතුමා මේ සභාවේ ඉන්නවා. විදුලිය ඇනහිටීමේ අවදානමක් තිබෙනවා. එය කොයි මොහොතේ හෝ සිදු වෙයි. දැන් දිනපතාම විදුලිය කපනවා. මේ සති අන්තයේත් විදුලිය කපනවාද?
සභානායක- විදුලි බල ඇමැතිතුමා හෝ මණ්ඩලය ඒකට පිළිතුරු දෙයි කියලා මම හිතනවා.
අකිත පෙරේරා, රනිල් ධරමසේන