අදහස් නිදහස් වීම

91

මා සතු පොත් කිහිපය පුස්තකාලයකට දීමට මා තීරණය කළා. මා ඒ බව කියන්නේ මගේ ගුණවත් බවක් ප්‍රකාශ කරන්න නො වේ. මට ඇති ගුණවත් බවක් නැහැ. මා ගැන කියන බොහෝ දෙනා ප්‍රසිද්ධියේත් මා ගැන කියන්නේ මගෙන් බැණුම් අහන්න වේවි ද වගේ සමාජයේ මා පිළිබඳ ඇති මතය.

පොත් ටික දූවිලි පිහදා සකස් කිරීමේ දී මට සිහිපත් වූයේ පොත්වල ලියැවී ඇති අදහස් කීයක් සමාජයේ අදත් පවතිනවා ද යන්නයි. ඇතැම් අදහස් එහි අනුගාමිකයන් කිහිප දෙනකු අතර පමණක් තියෙන්න පුළුවන්. එහෙත් පළල් සමාජයේ ඒ අදහස් අද නැහැ. මාක්ස්වාදී අදහස් කීයක් අද සමාජයට වැදගත් ද? මා සමාජය කියන්නේ මෙරට සමාජයටත් පිටරට සමාජයටත්. රුසියාවේ චීනයේ මාක්ස්වාදී අදහස් ක්‍රියාත්මක වන්නේ නැහැ. වියට්නාමයේ නමින් පමණක් කොමියුනිස්ට් වූ කොමියුනිස්ට් පක්ෂය අද මෙහෙයවනු ලබන්නේ ඇමෙරිකාවෙන්. මෙරට ඇතැම් ඊනියා මාක්ස්වාදී පක්ෂයකට බටහිර ධනවාදී කියන රටවලින්, මෙරට ව්‍යාපාරිකයන්ගෙන් ආධාර නො ලැබෙන්නේ ද?

මනෝ විශ්ලේෂණය බටහිර විද්‍යාවක් නොවේ යැයි කීවේ කාල් මාක්ස් නොව කාල් පොපර්. කාල් පොපර් ඒ සමග ජ්‍යොතිෂයත් මාක්ස්වාදයත් විද්‍යාත්මක නොවේ යැයි කියා සිටියා. මාක්ස්වාදය විද්‍යාත්මක වූවත් නොවූවත් ඒ අදහස් ලොවේ කිසි දා කිසි තැනක වැඩ කෙළේ නැහැ. එක්තරා විචාරකයකුට අනුව රුසියන් විප්ලවය පදනම් වූයේ රුසියන් ජාතික චින්තනය මතයි. හෙට (17) උපහාර ලබන ගුණදාස අමරසේකර ජාතික චින්තනය කියන අදහස ලබා ගත්තේ එකී විචාරකයාගෙන්.

එසේ වුණත් මාක්ස්වාදය අවුරුදු දෙසීයක් පමණ කාලයකින් කුඩා සංවාදවලට පමණක් සීමා වී සිහින ලෝකවල ජීවත්වන්නවුන්ට මාතෘකා සැපයුවත් ජ්‍යොතිෂය ලංකාවේත් ඉන්දියාවේත් වෙනත් රටවලත් අවුරුදු දහස් ගණනක් පවතිනවා. මට තේරෙන අන්දමට ජ්‍යොතිෂය වර්ධනය වෙනවා. විවිධ ජ්‍යොතිෂ ක්‍රමත් ලෝකයේ පවතිනවා. අද ඒ ඉන්දියාව මුල් කරගෙන. මාක්ස්වාදයේත් විවිධ ගුරුකුල තිබුණත් හතරවැනි ජාත්‍යන්තරය කුල හැටහතරකට වඩා කැඩී තිබුණත් ඒ සමාජගත වෙන්නේ නැහැ. ඉතා කෙටියෙන් කියන්නේ නම් ඒ අදහස් වැඩ කරන්නේ නැහැ.

ඊනියා පශ්චාත් නූතනවාදය ගැනත් කියන්න පුළුවන් එවැනිම දෙයක් පමණයි. බටහිර විද්‍යාවේ හැරෙන්න බටහිර අදහස්වල ඇත්තේ බංකොළොත් බවක්. බටහිර ආර්ථික විද්‍යාව දෙස බලන්න. ටික කලක් මහා පෙරළියක් කළ මිල්ටන් ෆ්‍රීඩ්මාන්ගේ අදහස් අද වලංගු නැහැ. බටහිර අදහස් ටිකක් හරි වැඩ කරන්න නම් යම් ප්‍රමාණයකට හරි වියුක්ත වෙන්න ඕන. ඒ වියුක්ත බවේ මහා දරදඬු ගතියක් නිර්දය බවක් අනුකම්පා විරහිත බවක් තියෙනවා. වියුක්ත චින්තනයෙහි කප්පිත්තන් යුදෙව්වන්. ඊශ්‍රායලය ඔවුන්ගේ නිජබිම. මෝසෙස්ගේ කාලයේ සිට ඔවුන්ට අවශ්‍ය වූයේ තමන් පන්නනු ලැබූ ඊශ්‍රායලයට නැවත පැමිණීම. අද ඊශ්‍රායලය අනුකම්පා විරහිතව ගාසා තීරය සුසාන භූමියක් කරලා.

මට කියන්න අවශ්‍ය ඒ කාරණය නොවෙයි. ඇතැම් අදහසක් පමණක් දීර්ඝ කාලයක් තිස්සේ ලෝකයේ පවතින්නෙත් ඇතැම් අදහසක් වසර සීයක් දෙසීයක් සමහර විට සතියක් දෙකක් පමණක් ලෝකයේ පවතින්නේ ඇයි? එය වියුක්ත භාවය පිළිබඳ ප්‍රශ්නයක් නො වෙයි. යුදෙව්වන්ගේ වියුක්ත යෙහෝවා දෙවියන් වහන්සේ මෙන්ම බ්‍රහ්මන් ද වෙනත් දෙවියන් ද අවුරුදු දහස් ගණනක් ලෝකයේ පවතිනවා. සියලු දැනුම් ඉවතලීමෙන් පසුව සම්මාබෝධ වෙන නිවන ද අවුරුදු දෙදහස් පන්සීයකට වැඩි කාලයක් ලෝකයේ පවතිනවා. මෙයින් කියන්නේ නිවන පවතින බවක් නොවන බව ද පඬි නැට්ටන්ගේ දැනුම් උදෙසා කියන්න වෙනවා.

මගේ පොත් ටික බැලුවම මට හිනහා යනවා. කලක් මහත් උද්්‍යාගයකින් හැදෑරු කෘති අද සත පහක් නොවටිනා දේ බවට පත් වී තියෙනවා. පුස්තකාලයකට දුන්නත් කී දෙනකු ඒ කියවයි ද? එක් කාල පරිච්ඡේදයක දී වැදගත් කියා හිතන අදහස් තවත් කාල පරිච්ඡේදයක දී හරයක් නැති අදහස් බවට පත්වෙනවා. කවුරු හරි කියන්න බැරි නැහැ ඒ හරයක් නැතැයි කියන අදහස් අනාගතයේ දී වැදගත් වේය කියා. රනිල් 2048ක් ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නවා.

ඒ අතර ඇතැම් අදහසක් යල් පැන ගිහින් ඇති මුත් ඒ අදහස වෙනුවට වෙනත් අදහස් ඇති වී ඇති නමුත් ඒ අලුත් අදහස් පැරණි අදහත තේරුම් කරන අදහසක් පමණක් ලෙස සැලකෙනවා. උදාහරණයක් වශයෙන් නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය නැත්නම් කතාව ගන්න පුළුවන්. ඇපල් හරි පොල් හරි පොළොවට වැටෙන්නේ ගුරුත්වාකර්ෂණය නිසා කියා බොහෝ බටහිර භෞතික විද්‍යාඥයන් ද තවමත් හිතනවා. මෙරට පඬි නැට්ටන් එසේ සිතීම ගැන මා පුදුම වෙන්නේ නැහැ.

ඇපල් හරි පොල් හරි පොළාවට වැටෙන්නේ කොහොම ද කියන එකට අයින්ස්ටයින් දුන් පිළිතුර වුණේ අවකාශ කාල වක්‍රතාව. අයින්ස්ටයින් පවා ඒ ගැන හිතුවේ ගුරුත්වාකර්ෂණය වක්‍රතාව නිසා ඇතිවන්නක් ලෙස. එය වෙනම අදහසක් බව බටහිර භෞතික විද්‍යාඥයන්ට තේරුම් ගැනීම අපහසුයි. ඊනියා ප්‍රවාද යනු කතන්දර බවත් ඇතැම් නිරීක්ෂණයකට කතා කිහිපයක් ගෙතිය හැකි බවත් ඒ සෑම කතාවක්ම ඒ නිරීක්ෂණය නිසා ඇති වන බවත් තේරුම් ගැනීම පහසු නැහැ. උදාහරණයක් ලෙස ගතහොත් පොල් වැටෙන්නේ ගුරුත්වාකර්ෂණය නිසා නොව ගුරුත්වාකර්ෂණය ඇත්තේ පොල් වැටෙන නිසා බව තේරුම් ගන්නේ නැහැ.

මෙය හේතුවාදයේ ප්‍රතිඵලයක්. අප හේතු කියන්නේ අප තනා ගන්නා කතන්දරවලට පමණයි. ඒ කතන්දරවලට අපෙන් තොර ඊනියා පැවැත්මක් නැති බව අපට අමතක වෙනවා. ප්‍රථම හේතුව සම්බන්ධයෙන් හැරෙන්න අනෙක් හැම තැනකම ඊනියා හේතු හදන්න පුළුවන්. ප්‍රථම හේතුවට හේතුවක් හැදුවොත් ඒ දෙවැන්න ප්‍රථම හේතුව බවට පත්වෙනවා. මේ රේඛීය චින්තනයේ ප්‍රශ්නයක්. බුදුදහම රේඛීය චින්තනයේ නොවෙයි.

පොත් ටික දීමෙන් පසු මගේ අදහස් තවත් නිදහස් වේවි.

අදහස් නිදහස් වීම

මහාචාර්ය
නලින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment