අදානි සල්ලි එන්ඩීටීවී බලය අල්ලයි

545

වයස අවුරුදු 16 දී පාසල හැරගිය අදානි මුම්බායි වෙත ගියේ, කාර්ය බහුල වෙළෙඳ දිස්ත්‍රික්කයේ දියමන්ති වෙළෙඳාම් කරමින් වාසනාව උරගා බැලීමට ය. ඔහුගේ මුල්කාලීන උත්සාහය වැඩිකල් පැවතුණේ නැත. වසර දෙකකට පසු තම උපන් ප්‍රාන්තය වන ගුජරාටයට නැවත පැමිණි ඔහු සහෝදරයකු පවත්වාගෙන ගිය ඇසුරුම් කම්හලකට එක්විය. පාසල අතරමඟින් හැරගොස් ව්‍යාපාර ක්ෂේත්‍රයට පිවිස බිලියනපතියකු වීමට මත්තෙන්, අදානි දෙවරක් නූලෙන් දිවි ගලවාගෙන තිබුණි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉතා ජනප්‍රිය පුවත්පතක් වන නිව්යෝර්ක් ටයිම්ස් හි යම් නොසන්සුන්තාවයක් හට ගෙන ඇති බව පසුගිය දිනවල වාර්තා වී තිබිණි. එහි සේවය කරන සේවකයන් 1000 කට අධික පිරිසක් සේවය හැරයන බවට නිකුත් කර ඇති අනතුරු ඇඟවීම මීට හේතුව වී තිබේ. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත තම සේවකයන් සඳහා පරිපූර්ණ සහ සාධාරණ ගිවිසුමක් සඳහා එළඹෙන දෙසැම්බර් 08 වැනි දින වන විට එකඟ නොවන්නේ නම්, එහි සේවය කරන 1000 කට අධික පිරිසක් සේවය හැර යන බවට එහි වෘත්තීය සමිතියක් විසින් ප්‍රකාශ කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි. සේවක ප්‍රශ්න ඕනෑම සමාගමක ආයතනයක ඇතිවන බව අමුතුවෙන් කිවයුතු නැත. ආර්ථික අර්බුද නිසා ලොව පුරා මාධ්‍ය ආයතනද බොහෝ ප්‍රශ්නවලට මුහුණ දී සිටී.

කවරක් නමුත් ඇමෙරිකාවේ නොව ඉන්දියාවේ මාධ්‍ය නිදහස ගැන වැඩි අවධානයක් යොමුව ඇත්තේ ධන කුවේර ගෞතම් අදානි විසින් නවදිල්ලි ටෙලිවිෂන් ලිමිටඩ් නොහොත් එන්ඩීටීවී පූර්ණ අයිතිය ලබා ගැනීමත් සමගය. 47 හැවිරිදි රවීෂ් කුමාර් පුරා දශක දෙකක් මේ රූපවාහිනි නාලිකාවේ සේවය කළ අතර ඔහු පසුගිය බදාදා සිය ධුරයෙන් ඉල්ලා අස්වූයේ අදානි බලය ඇල්ලීමත් සමගය. රවීෂ් කුමාර් ඉන්දියාවේ වඩාත්ම ජනප්‍රිය රූපවාහිනි මාධ්‍යවේදියකු වන අතර ඔහුගේ ඉල්ලා අස්වීම තුළින් ඉන්දියාවේ මාධ්‍ය නිදහස පිළිබඳ කනස්සල්ලක් මතුව ඇත. රවිෂ් මෝදී පාලනය තදින් විවේචනය කළ මාධ්‍යවේදියෙකි. නමුත් දැන් අගමැතිට හිතවත් පිරිසක් ඔහුගේ රූපවාහිනියේ අයිතිය පවරාගත් පසු මේ මාධ්‍යවේදියාට සිය සුපුරුදු කාර්යභාරය ඉටුකළ නොහැකිය. ගෙදර යන්නට සිදුවිය. නරේන්ද්‍ර මෝදි රජයට අවනත වන්නන් හැඳින්වීමට “ගෝඩි මීඩියා” යන යෙදුම නිර්මාණය කළ රවිෂ් කුමාර්, ඉන්දියාවේ පුවත්පත් කලාවේ අනාගතය පිළිබඳ දරුණු චිත්‍රයක් හෙළිකර තිබුණේ මීට කලකට පෙරය. “ලක්ෂ ගණන් වියදම් කරලා ඉගෙන ගන්න තරුණ තරුණියන්ට මාධ්‍යවේදීන් වෙන්න තැරැව්කාර වැඩ කරන්න සිද්ධ වෙනවා… ඒ වගේම දැනට මාධ්‍යවේදීන් විදියට වැඩ කරන හැමෝටම දුක් විඳින්න වෙනවා. සමහරු වෙහෙසට පත්ව සිටින අතර බොහෝ දෙනෙක් වෘත්තියෙන් ඉවත් වෙනවා බොහෝ දෙනා පවසන්නේ රැකියාවක් තබා ගැනීමට බල කිරීම හැර, මාධ්‍යවේදියකු වීමේ උද්යෝගයක් ඉතිරි වෙන්නේ නැහැ.

අදානි සල්ලි එන්ඩීටීවී බලය අල්ලයි

රවිෂ් ඉල්ලා අස්වූ දිනට පෙර දිනයේ මෙම රූපවාහිනි ජාලයේ ආරම්භකයන් වන ප්‍රනෝයි සහ රාධිකා රෝයි යුවල එහි අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස්විය. නවදිල්ලි ටෙලිවිෂන් ලිමිටඩ් හි නිර්මාතෘවරුන් වන රාධිකා සහ ප්‍රනෝයි රෝයි අධ්‍යක්ෂ තනතුරුවලින් ඉවත් වූ විගසම දශක තුනකට ආසන්න ස්වාධීන යුගයක අවසානය සනිටුහන් කරනු ලැබූ බව ඩෙකෑන් හෙරල්ඩ් පුවත්පතට ලිපියක් ලියමින් හිටපු හමුදා නිලධාරියෙක් වන ජී. ආර්. ගොපිනාත් සඳහන් කර ඇත. පුද්ගලික න්‍යාය පත්‍රවලින් පිරුණු ඉන්දීය රූපවාහිනි ප්‍රවෘත්ති ක්ෂේත්‍රයක් තුළ එන්ඩීටීවී සිය අපක්ෂපාතී ස්ථාවරය තබා ගෙන සිටි බව ප්‍රකට කරුණකි. රාධිකා රෝයි සහ ප්‍රනෝයි රෝයි විසින් 1998 දී ආරම්භ කරන ලද මෙම ආයතනය, බොහෝ විට මෝදිගේ රජය සහ එහි ප්‍රතිපත්ති පිළිබඳව විවේචනාත්මකව කතා කරන මාධ්‍ය කණ්ඩායම් කිහිපයෙන් එකක් ලෙස ප්‍රචලිතය. මෙම රූපවාහිනිය බොහෝ අවස්ථාවල මෝදිගේ පරිපාලනයේ සහ ඔහුගේ භාරතීය ජනතා පක්ෂයට අභියෝගාත්මක ලෙස කටයුතු කර තිබිණි. 2014 දී මෝදී බලයට පත් වීමෙන් පසුව, මුදල් විශුද්ධිකරණයේ සිට බදු පැහැර හැරීම දක්වා චෝදනා රැසකට එන්ඩීටීවී ආයතනය මුහුණ දී ඇත. රටේ විමර්ශන ආයතන එනම්, නීති බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ මණ්ඩලය, මධ්‍යම විමර්ශන කාර්යාංශය සහ ආදායම් බදු දෙපාර්තමේන්තුව එන්ඩීටීවී වෙත සහ එහි නිර්මාතෘවරුන්ට එරෙහිව නඩු කිහිපයක් පවරා ඇත. මේවායින් බොහොමයක් තවමත් විසඳී නොමැත. අගමැති ධුරයට පත් වූ දා සිට මාධ්‍ය හමුවක් පවත්වා නැති මෝදි තෝරාගත් මාධ්‍ය නාලිකා සඳහා ඉඳහිට සම්මුඛ සාකච්ඡා ලබා දී ඇති නමුත් කිසි දිනෙක මෙම රූපවාහිනි නාලිකාවේ පෙනී සිටියේ නැත. ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ ඉන්දියාව දැනටමත් පහළ මට්ටමේ 142 සිට 150 දක්වා පහත වැටී ඇත. 2014 දී අගමැති ධුරයට පත්වීමෙන් පසු නරේන්ද්‍ර මෝදි අහමදාබාද් සිට නවදිල්ලිය බලා පියාසර කළේ පුද්ගලික ගුවන් යානයකිනි. මෙම යානය මත අදානි එන්ටර්ප්‍රයිසස්හි නිල ලාංඡනය කැපී පෙනෙන ලෙස සලකුණු කර තිබුණේ ය. මෝදි දිල්ලියට පැමිණ තිබුණේ අදානිගේ ගුවන්යානයකින් බව පැහැදිලිවම පෙනෙන්නට තිබුණි. විපක්ෂය චෝදනා කළේ මෙය මෝදි සහ අදානි අතර පැවැති මිත්‍රත්වය ප්‍රදර්ශනය කිරීමේ ක්‍රමයක් බවයි. 2008 දී අදානිගේ ව්‍යාපාරික අධිරාජ්‍යයේ වටිනාකම ඇ.ඩො. බිලියන අටක් වූ අතර, 2021 වන විට එය ඇ.ඩො. බිලියන 78 දක්වා ඉහළ ගොස් තිබුණි. අදානිගේ වර්තමාන වත්කම ඩොලර් බිලියන 140ක් වන අතර ඔහු ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන අතර ලෝක ධනවතුන්ගේ ලයිස්තුවේ 03 වැනියා වේ. ඔහු දෙවැනි වූයේ ඊලොන් මස්ක් සහ ජෙෆ් බේසෝස්ට ය. ඔහු ලැයිස්තුගත වෙළෙඳාම් සමාගම් හතක්, සේවකයන් 23,000ක් සහ ඩොලර් බිලියන 230කට වැඩි වෙළෙඳපොළ ප්‍රාග්ධනයක් සහිත, වරායේ සිට බලශක්ති ක්ෂේත්‍රය දක්වා දිවෙන ආයතන සමූහයක් පවත්වාගෙන යයි.

අගමැති මෝදි සමග ගෞතම් අදානිගේ සබඳතා ඇරඹුණේ 2001 වසරේ දී ය. නරේන්ද්‍ර මෝදි ගුජරාටයේ මහ ඇමැතිව සිටිය දී, මුන්ද්‍රා වරායේ කළමනාකරණ කොන්ත්‍රාත්තුව අදානිට ලැබුණි. ඔහු බලශක්ති ක්ෂේත්‍රය තුළ ද ශක්තිමත් පදනමක් නිර්මාණයකර ගත්තේ ය. මෙය නරේන්ද්‍ර මෝදිගේ කාර්මික උපායමාර්ගය කෙරෙහි අදානි දැක්වූ විශ්වාසය වෙනුවෙන් සිදුකළ ප්‍රති උපකාරයක් විය. පසුගිය ජුලි මාසයේදී ඔහුගේ 60 වැනි උපන්දිනය සැමරීම සඳහා විවිධ සමාජ සත්කාර සඳහා අදානි රුපියල් බිලියන 600 ක පරිත්‍යාගයක් ද කළේය. ඔහු සල්ලි උල්පතකි. ඒ උල්පත පාදා ගැනීමට උපකාරවූ මෝදි අගමැතිට උපකාර කිරීමට මේ ව්‍යාපාරිකයා කිසිවිටක පසුබට වන්නේ ඇත. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය අදානි සමාගම වෙත ලබාදෙන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට බලපෑම් කළේ යැයි ලංකා විදුලිබල මණ්ඩලයේ එවක සභාපතිවරයා පසුගිය 2021 නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී අනාවරණයක් සිදුකළේ ය. කෙසේ නමුත්, මෙම ප්‍රකාශය සිදුකර දිනක් ගතවීමට ද මත්තෙන් සභාපතිවරයා අදාළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනුණි.

වයස අවුරුදු 16 දී පාසල හැරගිය අදානි මුම්බායි වෙත ගියේ, කාර්ය බහුල වෙළෙඳ දිස්ත්‍රික්කයේ දියමන්ති වෙළෙඳාම් කරමින් වාසනාව උරගා බැලීමට ය. ඔහුගේ මුල්කාලීන උත්සාහය වැඩිකල් පැවතුණේ නැත. වසර දෙකකට පසු තම උපන් ප්‍රාන්තය වන ගුජරාටයට නැවත පැමිණි ඔහු සහෝදරයකු පවත්වාගෙන ගිය ඇසුරුම් කම්හලකට එක්විය. පාසල අතරමඟින් හැරගොස් ව්‍යාපාර ක්ෂේත්‍රයට පිවිස බිලියනපතියකු වීමට මත්තෙන්, අදානි දෙවරක් නූලෙන් දිවි ගලවාගෙන තිබුණි. 1998 දී මෝටර් රථයක ගමන් කළ ඔහු සහ ඔහුගේ සගයෙක් අහමද්බාද්හි පිරිසක් විසින් කප්පම් ගැනීම සඳහා තුවක්කු පෙන්වා බියකොට පැහැර ගැනුනි. එසේම 2008 නොවැම්බර් 26 වැනි දා රාත්‍රියේ, එවකට ඉන්දියාවේ 10 වැනි ධනවතා වූ ගෞතම් අදානි මුම්බායිහි සුඛෝපභෝගී ටාජ් මහල් හෝටලයේ අවන්හලක රාත්‍රී ආහාරය ගනිමින් සිටියේ ය. එක් වරම එයට ඇතුළුවූ තුවක්කුකරුවෝ පිරිසක් සතර අත වෙඩි තබමින්, අත්බෝම්බ ප්‍රහාර එල්ල කරන්නට පටන්ගත්හ. මේ ප්‍රහාරයෙන්ද ඔහුගේ ජීවිතය බේරාගැනීමට හැකිවිය. “මම අඩි 15ක දුරින් ඉඳන් මරණය දැක්කා,” දිවි බේරාගෙන නැවත සිය පුද්ගලික ජෙට් යානයෙන් අහමදාබාද් වෙත පැමිණීමෙන් පසු ඔහු මාධ්‍ය හමුවේ පවසා තිබිණි.

අදානිගේ දියුණුවේ වේගය සහ පරිමාණය පෙර යුගවල කාර්මික දැවැන්තයන්ගේ වේගය හා සැසඳිය හැකිබව ප්‍රතිපත්ති විශ්ලේෂකයකු වන ජේම්ස් ක්‍රෑබ්ටි්‍ර තම The Billionaire Raj( Journey through Indiazs New Gilded Age කෘතියේ ලියා තිබේ. “ඉන්දියාවේ බිඳවැටුණු යටිතල පහසුකම් මත විශ්වාසය තැබිය නොහැකි බැවින් ඔහු තමාගේම දුම්රිය මාර්ග සහ විදුලි රැහැන් ඉදිකළේ ය. ඉන්දීය ගල් අඟුරු සඳහා පහසු ප්‍රවේශයක් නොමැතිකම නිසා ඔහු ඉන්දුනීසියාවේ සහ ඔස්ටේ්‍රලියාවේ පතල් මිලට ගෙන, ඒවායේ අන්තර්ගතයන් ඔහුගේම වරාය හරහා සිය රටට ගෙන ආවේ ය,” සඳහන් කරන ක්‍රෑබ්ටි්‍ර, ඔහුගේ “දියුණුව ඉන්දියාවේ දියුණුව විය,”යි යනුවෙන් සටහන් කර ඇත.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment