අදීන ජන සංස්කෘතික මහිමය කියන මාර්ටින් වික‍්‍රමසිංහ ජන කෞතුකාගාරය

237

දකුණු ලක කොග්ගල ග‍්‍රාමයෙහි ගිංපතලිය, කයිසාරුවත්ත, කරුවලගෙදර යන නම්වලින් ඈත අතීතයේ සිට හැඳින්වුණු භූමි භාගයෙහි පිහිටා ඇති අවුරුදු දෙසිය පනහකටත් වඩා පැරණි, මාර්ටින් වික‍්‍රමසිංහ මහා ප‍්‍රාඥයා උපත ලද මහගෙදර කේන්ද්‍ර කොටගත් සුවිසල් ගොඩනැඟිලි සංකීර්ණයකින් යුතු ජන සංස්කෘතික කෞතුකාගාරයට මේ වසර (2022) වනවිට අවුරුදු හතළිස් එකක් සපිරෙයි. මහගත්කරු මාර්ටින් වික‍්‍රමසිංහ මහතාගේ සිත තුළ පැවති අදහසක් මල්ඵල

ගන්වමින් මාර්ටින් වික‍්‍රමසිංහ භාරකාර මණ්ඩලය මඟින් එක්දහස් නවසිය අසූ එක වසරේදී ආරම්භ කරන ලද මෙම කෞතුකාගාරය වූකලී වැවෙන් උපන් සභ්‍යත්වය අරභයා හැත්තෑ වසරකට අධික කාලයක් වික‍්‍රමසිංහ ලියූ කියූ සියල්ල පික්‍ෂු කොට දක්වන සැමරුම් නිකේතනයක් වැන්න.

කාල නිර්ණය නිශ්චය කළ නොහැකි ඈත යුගයක සිට මෑත අතීතය දක්වා ජීවත්වූ ජනකායකගේ – විශේෂයෙන් ගැමි ජනකායකගේ ජීවන ක‍්‍රමය ගැන කියන කතාපුවත මෙම කෞතුකාගාරයේ කේන්ද්‍රීය විෂය වී තිබෙයි. ආගමික ඇදහිලි විශ්වාස පිළිබඳ පූජනීය උපභෝග පරිභෝග වස්තූන්, බලි තොවිල්, ශාන්ති කර්මවලට අදාළ වෙස් මුහුණු, රූකඩ නාට්‍ය කලාව පිළිබඳ නිරූපණ, කෙළිසෙල්ලම් සඳහා යොදාගත් භාණ්ඩ හා උපකරණ, පැරණි සැත්කම් ද ඇතුළත් වෙද හෙදකම් ගැන කියන දේශීය වෛද්‍ය ශාස්ත‍්‍රයට අදාළ උපකරණ, මාස් කැලැන්ඩර් රටා පවා නිර්මිත පන් පැදුරු, ගමන් මලූ, පුරාණ ස්ත‍්‍රී, පුරුෂයන් පැළඳි ඇඳුම් පැළඳුම් යනාදී කෞතුක භාණ්ඩයන්ගෙන් අනාවරණය වන එම කතාපුවත වූ කලි අදීන ලාංකේය ජනතාවක සතුව පැවති විශිෂ්ට සභ්‍යත්වයක පුරාවතයි.

අදීන ජන සංස්කෘතික මහිමය කියන මාර්ටින්  වික‍්‍රමසිංහ ජන කෞතුකාගාරය

සිංහල සංස්කෘතියේ එකමිතිය හා අදීනත්වය රැකුණේ වී ගොවිතැන නිසා එකට බැඳුණ ගැමි ජනකායකගෙන් බව මාර්ටින් වික‍්‍රමසිංහයෝ නොඑක් වර සඳහන් කළහ. මියයන්ට වසර දෙකකට පෙර ඔහු ලියූ ‘මානව විද්‍යාව හා සිංහල සංස්කෘතිය/ නමැති ග‍්‍රන්ථයෙහි එන කියුමක් මේය’

‘‘සිංහලයා පොදු ජනකායක් නොහොත් එකම කාර්යක් උදෙසා එකම අදහසකින් බඳිනු ලැබූ ජනකායක් ලෙස පළමුව සැදුණේ වැව් කැණීමත් වී ගොවිතැනත් නිසාය. සිංහලයන්ගේ ස්වාධීනත්වයටත් ශක්තියටත් දෙස් කියන කර්මාන්තයන් අතර වැව් හා වී ගොවිතැන පළමුවන තැන ගනී. වැව් කැණිය හැක්කේ පවුලක් කුලයක් වශයෙන් ජීවත්වන අතළොස්සක් විසින් නොවේත යම්කිසි පොදු හැඟීමකින් හා අපේක්ෂාවකින් එකට බැඳුණ ජනකායක් විසිනි.’’

වික‍්‍රමසිංහයන්ගේ එම කියුම කොග්ගල ජන සංස්කෘතික කෞතුකාගාරය සමුදයාර්ථයෙන් පික්‍ෂු කොට දැක්වීමක් වැන්න.

අදීන ජන සංස්කෘතික මහිමය කියන මාර්ටින්  වික‍්‍රමසිංහ ජන කෞතුකාගාරය

පාරම්පරික ගැමි තාක්ෂණය හා බැඳුණ මානව දැනුමේ මහිමය අනාගත පරපුරට හඳුන්වා දෙන අයුරින් විධිමත්ව සැකසී ඇති ජන කෞතුකාගාර ප‍්‍රධාන ගොඩනැඟිල්ල සුවිසල් මැදිරි පහකින් සමන්විත වෙයි. ලාංකේය ජන ජීවිතයේ අධ්‍යාත්මය පෝෂණය කළ ඉපැරණි බෞද්ධාගමික පූජනීය වස්තු ප‍්‍රදර්ශිත මැදිරියෙන් ආරම්භ වී විවිධ ආගමික ඇදහිලි හා සාක්ෂරතා පරිණාමය නිරූපණය කරන පුරාවස්තු කියන කතාව වනාහි සදාචාර සම්පන්න මානව සමාජයක වර්ධනයයි. වැවෙන් උපන් සභ්‍යත්වය සංකේතවත් කරන බිසෝ කොටුව ආකෘතිය පසුබිමේ දක්නා ලැබෙන ඉපැරණි යුගයකට අයත් වාන්පතුල්, සොකඩ, යොත්, වියළි කෙත් බිම් තෙත් කරන ජල චක‍්‍රය, දිය හොල්මන, දිය ඩොඟරය, නඟුල්, කමත් චක‍්‍රය, යනාදි වශයෙන් ආදී කාලීන ගැමියන් විසින් නිපදවන ලද දුර්ලභ ගණයේ කෘෂිකාර්මික ආම්පන්න එකතුව හා ධීවර ජනතාව විසින් පරිහරණය කරන ලද අතංගු, කෙමන, කරක්ගෙඩිය ආදී ආම්පන්න පළමුවන මැදිරියේ ප‍්‍රදර්ශනය වෙයි.

ශ‍්‍රී ලංකාවේ පැරණිතම වෙස්මුහුණු කට්ටලය හා බලි ශාන්ති කර්මයේදී යොදා ගැනුණු නවග‍්‍රහ විස්කම් බලිය පිළිබඳ දැනට පවත්නා එකම නිදර්ශනය දක්නට ලැබෙන්නේ කොග්ගල ජන කෞතුකාගාරයේ දෙවැනි මැදිරිය තුළදීය. ප‍්‍රතිමා ඇඹීම පිළිබඳ පැරණි ගැමි තාක්ෂණයේ මහිමය විදහාපාන විස්කම් බලිය සිංහල ගැමි කලාශිල්පීන්ගේ සහජ කුසලතා නිරූපණය කරන විශිෂ්ට නිර්මාණයකි.

පහතරට නර්තන ශිල්පයේ වෙසෙස් අංගයක් වන රූකඩ සන්දර්ශනයට ඇතුළත් පාරම්පරික පැරණි රූකඩ කට්ටලයද සහිත ඇහැලේපොළ නිලමේ, කුමාරිහාමි, මුදලි, ගැමියා ආදි චරිත ද වෙස්සන්තර, විදුර ජාතක නිරූපණය කරන රූකඩ ද එබඳු රංගයක් ඉදිරිපත් කරන ආකාරය පිළිබිඹු කරන ආකෘතිය ද නරඹන්නන්ගේ කුහුල, දැනුම හා ආස්වාදය වඩවයි.

අදීන ජන සංස්කෘතික මහිමය කියන මාර්ටින්  වික‍්‍රමසිංහ ජන කෞතුකාගාරය

ගමනාගමන පහසුකම් නොතිබුණ අතීතයේ දුරබැහැර පා ගමනින් ගිය මගීන්ගේ පිපාසය සංසිඳවා ගැනීම සඳහා මංමාවත් අසල පැවති පැන්තාලිය, කතුන් පැළඳි රන් රිදී අභරණ, කැවිලි පෙට්ටි, විසිතුරු රටාවලින් නිම කළ යෝද බුලත්මලූ, සාම්ප‍්‍රදායික මුළුතැන්ගේ ආදිය පසුකොට සිව්වැනි මැදිරියට පා නඟන විටම හමුවන්නේ යකඩ, වානේ හා පිත්තල කර්මාන්තයට අයත් කෞතුක භාණ්ඩයන් ය. ලොව මවිත කළ ලාංකේය වානේ තාක්ෂණය නිරූපණය කරන සමනල වැව ආකෘතිය හා එම භූමියේ කැණීම්වලින් මතු කොටගත් වානේ විඳින තොරපණය හා යකඩ පණ පෙවීම සඳහා යෝදාගත් ගල් ඔරුව ද කිණිහිහිරිය ද සහිත පැරණි කම්මලක ආකෘතියක් ද එහි ප‍්‍රදර්ශනය වෙයි.

අතීත යුගයේ ගැමි කතුන් අතින් නිමැයුණු රේන්ද විසිතුරු රටා මැවුණ පන් පැදුරු හා පතුරු භාණ්ඩ ද සමින් නිර්මිත රබර් බෙර ආදී තූර්ය භාණ්ඩ ද ගැමි කලා ශිල්ප ප‍්‍රදර්ශිත පස්වැනි මැදිරියේ දී දැකගත හැකිවෙයි. විවිධ දේශිය පන්වර්ග හා පතුරුවලින් සාදන ලද පැදුරු මලූ, පෙට්ටි ආදී කල් තබා ගත නොහැකි භාණ්ඩ පවා මෙහි සුරැකිව පවත්වා ගැනීම ගැන මවිතය කළ විදේශිකයන් ඒවා කවරම කෞතුකාගාරයකවත් දක්නට නොලැබෙන බව සඳහන් කොට ඇත.

ජන කෞතුකාගාරයේ ප‍්‍රධාන ගොඩනැඟිල්ල පසු කොට යන විට හමුවන පුරාණ ස්ත‍්‍රීන් හා පුරුෂයන් හැඳි ඇඳුමින් සැරසුණ නිරූපණ සමූහයට අනතුරුව පැරණි ගෘහ භාණ්ඩ තැන්පත් කොට ඇති ශාලාව දැකගත හැකිය. ශ‍්‍රී ලංකාවේ විවිධ පළාත් කොඩි ද ප‍්‍රදර්ශිත එම ශාලාවේ ඇති මේස පුටු අතර මාර්ටින් වික‍්‍රමසිංහ මහතා කලින් කල භාවිත කළ: එනම් මිරිඟුව, ගම්පෙරළිය, මඩොල් දූව විරාගය ආදී ග‍්‍රන්ථ රචනා කිරීමේදී යොදාගත් මේසද වෙයි.

කොග්ගල ජන කෞතුකාගාරයේ දක්නා ලැබෙන විශාලතම ගොඩනැඟිල්ල වන්නේ පැරැන්නන් ගොඩබිම් හා මුහුදු ප‍්‍රවාහනයේදී භාවිත ගැල් හා යාත‍්‍රා තැන්පත් කොට ඇති අඩි දෙසීයක් දිගින් යුතු ප‍්‍රදර්ශනාගාරයයි. අතීත යුගයේදී කොත්මලේ ආදී දුෂ්කර කඳුමුදුන් සහිත ප‍්‍රදේශවල වනපෙත් මැදින් විහිදුණු අඩිපාරවල් දිගේ

රෝගීන් තබා ඔසවාගෙන ගිය ‘කහලි වාරුව/ නමැති පදික ඇඳේ සිට දෝලාව, බණ කරත්තය, විවිධ ස්වරූපගත් ගැල්, අලි කරත්තය, අශ්ව කරත්තය දක්වා වූ ඉපැරණි ගොඩබිම් රිය පෙළත් අඟුලේ සිට සුවිසල් ඔරු පාරු දක්වා ගංගා හා සමුදුරු යාත‍්‍රාත් මෙම ප‍්‍රදර්ශනාගාරයේදී දැකිය හැකිය.

මෙහි ප‍්‍රදර්ශිත සමහර ගැල් මඩකලපුව, යාපනය, හලාවත, මීගමුව ආදී ප‍්‍රදේශවලින් සපයා ගනු ලැබූ දුර්ලභ ගණයේ පුරාවස්තූන්ය. දකුණු පළාතේ භාවිතව පැවති පෙර දවස ධර්ම දේශනා සඳහා භික්ෂූන් වහන්සේ වඩමාගෙන ගිය තුන් රෝද බණ කරත්තය මෙහි දක්නා ලැබෙන කුඩාම ගැල ය. හිමි නමක වඩා හිඳුවා දායකයකු විසින් තල්ලූ කරගෙන යනු ලැබූ මෙම තුන් රෝද ගැල දැනට ලංකාවේ දක්නට ඇති එබඳු වර්ගයේ එකම රිය විය හැකිය. ප‍්‍රදර්ශනයට තබා ඇති විශාලම ගැල ඇතකු බැඳ දක්නාගෙන ගිය අලි කරත්තයයි. එය හොරගොල්ල වලව්වේ සොලමන් ඩයස් බණ්ඩාරනායක මහ මුදළිඳු සතුව පැවත විත් පසු කාලෙක සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය විසින් මාර්ටින් වික‍්‍රමසිංහ ජන

කෞතුකාගාරයට පරිත්‍යාග කරන ලද්දකි. දිගින් අඩි හතළියක් හා පළලින් අඩි නවයක් විශාල මාදැල් පාරුවේ ඉතිහාසය අරුමය දනවනසුළුය. ගැඹුරු මුහුදේ යාත‍්‍රා කළ එය 2004 වසරේ ඇතිවූ සුනාමි රළ පහරට හසුව

ගසාගෙන ගොස් ගොස් කළුතර කටුකුරුන්දේ වන රොදක සිරවී පැවති යෝද යාත‍්‍රාවකි. මෙම දැවැන්ත මාදැල් පාරුව දැනට ලක්දිව ඇති ඒ වර්ගයේ එකම යාත‍්‍රාවයි. එම විශාල පාරුව මාර්ටින් වික‍්‍රමසිංහ ජන කෞතුකාගාරයේ මුහුදු යාත‍්‍රා එකතුවට ලබාදුන් එහි හිමිකරු පැවසුවේ එය සුමාත‍්‍රා හා ජාවා දිවයින් දක්වා පවා යාත‍්‍රා කරන ලද්දක් බවයි. රුවල් යෙදීමට භාවිත කළ දිගින් අඩි විස්සකින්

යුතු කුඹ ගසක් ඒ අසල වෙයි. දේශීය ධීවරයන් විසින් නිර්මාණය කරන ලද මෙහි ප‍්‍රදර්ශිත නැංගුරම ද කෞතුක වටිනාමකින් යුතුය.

අතීත යුගයේ පැවති අයුරින් සංරක්ෂණය කොට පවත්වාගෙන යනු ලබන අක්කර අටකට අධික භූමි ප‍්‍රමාණයෙන් යුතු කෞතුකාගාර පරිසරයේ පොල් රුප්පා මැද පිහිටි මාර්ටින් වික‍්‍රමසිංහ උපන් පාරම්පරික මහගෙදර වසර දෙසිය පනහකට පෙර සිට ප‍්‍රභූ පරපුරක් විසූ නිවසයි. වික‍්‍රමසිංහයන්ගේ උපන්දාසිට සහ වෙනත් ග‍්‍රන්ථයන් හි කියැවෙන පරිදි ආරච්චි ගෙදර, ඔපිසර

ගෙදර, වෙද ගෙදර, ගුරු ගෙදර, කරුවල ගෙදර, ආදී පැරණි නිවෙස්වලින් අද ඉතිරිව පවත්නේ ඔපිසර ගෙදර පමණි. ඊට දකුණු පසින් ආරච්චිගෙදර නටබුන් බිත්ති හා අත්තිවාරම් දැනුදු දැක්ක හැකිය. ඒ ගොඩනැඟිලි දෙක අතර පිහිටි අස්ව ඉස්තාලයේ අත්තිවාරම ද අද ඉතිරිව පවතී. එම නටබුන් අපට සිහිපත් කරවන්නේ දෙවැනි ලෝක යුද්ධ සමයේ (1942) අහස්නැව් තොටක් ඉදිකිරීම සඳහා බි‍්‍රතාන්‍ය සෙබළුන් විසින් එක් රැයක් තුළදී කොග්ගල ගමේ සිදු කළ මහා නිවාස සංහාරයයි. එදවස බි‍්‍රතාන්‍ය හමුදාවේ සුව සේවා නිලධාරිනියක තම නිල නිවස ලෙස භාවිතයට ගැනීම නිසා මාර්ටින් වික‍්‍රමසිංහ උපන් ඔපිසර ගෙදර ඉතිරිවිය. එම නිවස තුළ පවත්නා සංරක්ෂිත භාණ්ඩ අතර වික‍්‍රමසිංහයන් පරිහරණය කළ ඇඳුම් පැළඳුම් හා ගම්පෙරළියේ කියැවෙන කයිසාරුවත්තේ මුහන්දිරම් ගේ පරෙවි කූඩු වැනි කපොලූ සහිත ඉපැරණි මේසය හා ඒ මත මාර්ටින් වික‍්‍රමසිංහ පොත පත ලිවීම සඳහා භාවිත කළ උපකරණ ද වෙයි.

අප රටේ පැරණි යුගයේ ජීවත් වූ ගැමි ජන සංඝය තුළ පැවති සාමකාමී සාමූහික දිවි පෙවෙත ගැන අවබෝධයක් අද වෙසෙන දරුවන්ට ලබාගත හැක්කේ පත පොතින් පමණි. එදා සැබෑ ජීවන තතුම නොව ලේඛකයකුගේ පරිකල්පනයක පිළිබිඹුවක් පමණි. පැරණි ජන ජීවිතය පිළිබඳව පොතින් ලබන දැනුමට වඩා විශාල දැනුමක් ජන කෞතුකාගාරයකින් ලැබිය හැකිය. මාර්ටින් වික‍්‍රමසිංහ ජන කෞතුකාගාරය නැරඹීමට පැමිණෙන සිසු දරුවන්, ගුරු භවතුන්, වැඩිහිටියන් ආස්වාදනය කරන්නේ පැරණි ලාංකික ගැමි ජනකාය අතින් නිර්මාණය වුණු ඔවුන් අතපත ගා පරිහරණය කළ භාණ්ඩයන්ය. කෞතුකාගාරය තුළ ගත කරන කාලයේ ඔවුන් ජීවත් වන්නේ සත්‍ය දේවල් ඇසුරේයත හුස්ම හෙලන්නේ ඒ සොඳුරු අතීතය සිතින් ස්පර්ශ කරමිනි. ඒ අතීත ජීවිත සත්තාව මානසික ප‍්‍රබෝධය හා ප‍්‍රඥාස්වාදය වඩන්නකි.

ගතවූ හතළිස් එක් වසරක කාලය තුළ මාර්ටින් වික‍්‍රමසිංහ ජන සංස්කෘතික කෞතුකාගාරය නැරඹීමට පාසල් සිසුන් ඇතුළු මිලියන දහයකට අධික ජනකායක් පැමිණ ඇති බව පිවිසුම් අනුපිටපත් අනුව පෙනීයයි. පසුගිය දසවසර තුළ පමණක් මිලියන තුනක නරඹන්නන් සංඛ්‍යාවක් පැමිණ ඇත. විද්වත් සම්මන්ත‍්‍රණ, වික‍්‍රමසිංහ අනුස්මරණ වාර්ෂික උත්සව, රණවිරු චාරිකා ආදී විශේෂ අවස්ථාවන්ට ප‍්‍රවේශ පත‍්‍ර නොමැතිව සහභාගි වූ සියල්ලන් ඉහත සංඛ්‍යාවන්ට ඇතුළත් නොවේ. කෞතුකාගාරය හා ඊට අයත් සංරක්ෂිත පරිසරය නැරඹූ අමුත්තන් විසින් ලියන ලද ප‍්‍රශස්තීන්ගෙන් අමුත්තන්ගේ සටහන් පොත් පිරී පවතී. ජාතියට අභිෂ්ට මෙහෙයක් සැලසූ ප‍්‍රාඥයකු අරභයා නිමැයුණු ආසියාවේ හොඳම කෞතුකාගාරය එය බව විදෙස් නරඹන්නන් තැබූ සටහන්වල ලියැවී තිබේ.

දයාපාල ජයනෙත්ති
මාර්ටින් වික‍්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පරිපාලන ලේකම්

advertistmentadvertistment
advertistmentadvertistment