අද අවසන් ගමන් යන කටුගම්පල ජනතා හිතවාදියා

547

සමස්ත දේශයටම ආදර්ශවත් මිනිසෙක් යළිත් නික්ම ගොස් තිබේ. එක් අතකින් ඔහුගේ වියෝව ශ්‍රී ලාංකීය ජන මනසට ජනහිතකාමී සැබෑ දේශපාලනඥයා නැවත සිහි කරවන්නකි. ජනතා සේවය වෙනුවෙන් වූ කැපවීම, අධිෂ්ඨානය, ධන පරිත්‍යාගය සහ නිර්මාණශීලීත්වයට ඔහු හැර වෙනත් චරිතයක් ලංකාවේ දේශපාලනයේ නොමැති තරම් ය. කුරුණෑගල දිස්ත්‍රික්කය සහ වයඹ පළාත යනු කලෙක ජයවික්‍රම පෙරේරා ම විය. ඔහුගෙන් තොරව කුරුණෑගල ගැන හෝ වයඹ ගැන කතා කරන්නට කිසිවෙකුටවත් නොහැකි විය. එතරම්ම ඔහු ජනතාවට බද්ධව සිටි මිනිසෙකි. මල්ලව ආරච්චිගේ ගාමිණී ජයවික්‍රම පෙරේරා නම් වූ ආදරණීය සහෘදයාගේ නික්මයෑම හද කම්පා කරවන්නක් වුවද, මේ මොහොතේ අපේ රටේ මිනිස්සුන්ට වැඩ කරන සැබෑ මිනිසා හඳුනා ගන්නට යළිත් අවකාශයක් ඔහු විවර කර දී තිබේ.

1973 වසරේදී කටුගම්පොළ ආසනයේ වගකීම ඔහු බාරගන්නේ, තම මවගේ සහ භාර්යාව වූ රෝහිණි පෙරේරා මහත්මියගේ දැඩි විරෝධයක් තිබියදී ය. එවක විපක්ෂ නායක වූ ඩඩ්ලි සේනානායක මැතිතුමන් සහ ජේ. ආර්. ජයවර්ධන මැතිතුමන්ගේ බලවත් ඉල්ලීම මත එම විරෝධය සමනය කර ගනිමින් දේශපාලනයට ප්‍රවිෂ්ට වන්නට ඔහුට වාසනාව ලැබුණි. එවන් වූ ප්‍රබල චරිත දෙකක් ආරාධනා කරන්නට තරම් ජයවික්‍රම පෙරේරා නම් වූ තරුණයා, කෙතරම් සුවිශේෂී චරිතයක් වන්නට ඇත් ද?

කටුගම්පොල ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස 1977 මහ මැතිවරණයේදී 23475ක් වූ වැඩිම ඡන්ද සංඛ්‍යාවකින් කුළුඳුල් මැතිවරණයේදීම විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයට අලුත් පරිච්ඡේදයක් එක් කරමිනි. ඒ ප්‍රතිඵලය එසේ වන්නට පදනම දැමූ හේතු ගණනාවක් විය.

උපතින්ම සැප සම්පත් වලින් ආඩ්‍ය වූ පවුලිස් පෙරේරා සහ සෝමා පෙරේරා යන දානපති යුවළගේ දරුවන් හත් දෙනකුගෙන් යුතු පවුලේ දෙවන පිරිමි දරුවා ලෙස උපත ලබන ගාමිණී ජයවික්‍රම පෙරේරා ප්‍රාථමික අධ්‍යාපනය හදාරන්නේ බෝපිටිය කනිෂ්ඨ විද්‍යාලයෙනි. එය සත් කෝරළයේ කටුගම්පොල හත්පත්තුවේ පිහිටා තිබූ හොඳම ප්‍රාථමික පාසලකි. ඉන් පසුව උසස් අධ්‍යාපනය සඳහා කොළඹ නාලන්දා විද්‍යාලයට ඇතුල් වන ජයවික්‍රම පෙරේරා, විනයගරුක දක්ෂ කීර්තිමත් ශිෂ්‍යයෙක් වූ අතර නාලන්දේ 1960 වර්ෂයේ පළමු පෙළ ක්‍රිකට් නායකයා ලෙස එකල ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් අතර ඉහළින්ම දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙක් ද විය. එසේම මොහුගේ වැඩිමල් සොහොයුරු ලින්කන් සහ බාල සොයුරු අශෝක ද පිළිවෙළින් 1949 සහ 1962 වර්ෂ වලදී නාලන්දාවේ ක්‍රිකට් නායකයන් බවට පත්වීමත්, ශ්‍රී ලංකාවේ සොයුරන් තිදෙනෙක් එසේ නායකත්වයට පත් වූ පළමු අවස්ථාවද විය. ධනවත් පවුලක හැදී වැඩුණු කීර්තිමත් ජනප්‍රිය තරුණයෙක් වුවත්, මත්පැන්, දුම් වැටි භාවිතයෙන් සහ මස්, මාළු අනුභවයෙන් තොර වූ ජීවන රටාව එකල සමාජයේ බොහෝ දෙනාගේ අවධානය දිනා ගන්නක් බවට පත් විය. සර්වෝදය නිර්මාතෘ ඒ. ටී. ආරියරත්න මහතා සිදුකළ සමාජ සේවා කටයුතුවලට ජයවික්‍රම පෙරේරා නම් වූ තරුණයා දායක කර ගන්නේ එම පැවැත්ම විසින් ඔහු දිනාගත් පළමු ජයග්‍රහණය සටහන් කර ගනිමිනි.

පන්නල හැදලගමුවේ, යායමුල්ල ගමේ වැසිකිළි ව්‍යාපෘතියක් ආරම්භ කරමින් ඒ. ටී. ආරියරත්න මහතාගේ මඟ පෙන්වීම තුළින් ප්‍රදේශයේ සෞඛ්‍ය ගැටලුවට විසඳුමක් ලබාදෙන්නට නායකත්වය සපයන්නේ ජයවික්‍රම තරුණයා පෙරටු කරගත් තරුණ පිරිසකි. එසේ ම 1958 සහ 1960 වර්ෂවලදී පඬුවස්නුවර කණතොලුව වැව ශ්‍රමදාන කඳවුරු පවත්වමින්, සුද්ධ පවිත්‍ර කරමින් ගොවිතැන් කරන ජනතාවට ජලය සපයා දෙමින් සිදුකළ ජනප්‍රිය වැඩසටහනක් විය.

එයින් නොනැවතුනු ඔහු විශාල සමාජ සේවා වැඩ කොටසක් ඉටු කරමින් රටේ කීර්තිමත් මිනිසුන් ඇසුරු කරමින්, සහාය ලබා ගනිමින් තම ප්‍රදේශයට සේවය සැපයීම හේතුවෙන් හැත්තෑ හතේ මැතිවරණයට පෙරම ඔහු ජනතාවගේ හදවත් දිනාගෙන තිබුණි. පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ලැබීමත් සමග සඳලංකා සමුපකාර රෝහල රජයට පවරා ගනිමින් කාර්යක්ෂම රෝහලක් බවට පත්කිරීමත්, කදානේගෙදර තිබූ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය නමින් ඇලබඩගම නගරයට ගෙන ඒමත්, නෙස්ලේ කර්මාන්ත ශාලාව සහ සිම්ලයින් කර්මාන්තශාලාව ඇලබඩගම ආරම්භ කරමින් ප්‍රදේශයේ ජනතාවට රැකියා අවස්ථා ලබාදීමත් ඔහුගේ පළමු කාර්යයන් අතර විය. තම ඥාතීන් සහ හිත මිතුරන්ද අමනාප කර ගනිමින් ඔවුන්ගේ ඉඩම් රජයට පවරා ගෙන ගිරිඋල්ල වික්‍රමශීලා මධ්‍ය විද්‍යාලය ආරම්භ කරන්නේ තම ප්‍රදේශයේ දරුවන් ට උසස් අධ්‍යාපනය ලබාදීමේ මූලික අඩිතාලම සකසමිනි.

1978 වර්ෂයේදී කුරුණෑගල දිසා ඇමැතිවරයා වශයෙන් පත්වීමත් සමග ලෝක බැංකු ප්‍රතිපාදන ලබා ගනිමින් ග්‍රාමීය මාර්ග, වැව්- අමුණු, පාසල් ගොඩනැගිලි සහ ක්‍රීඩා පිටි දියුණු කරමින් පොල් හා අපනයන කෘෂිකර්ම සංවර්ධන කටයුතු වලට මුල් තැන දෙමින් ඇතිකළ පිබිදීම සමස්ත දිවයිනේම අවධානය දිනාගන්නතක් බවට පත්විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සිය කැමැත්තෙන්ම අත්හරිමින් දහතුන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පිහිටු වූ පළාත් සභා ක්‍රමයේ පළමු පළාත් සභා මැතිවරණයෙන් ජයග්‍රහණය කරමින් වයඹ මහ ඇමැති ධුරයට පත් වූ ජයවික්‍රම පෙරේරා, පළාත් සභාවකින් සිදුකළ හැකි මෙහෙය කුමක්දැයි මුළු රටටම කියා දුන් ප්‍රධාන අමාත්‍යවරයා විය. එකල කුමාර දේවපුර මහතාගේ අනුග්‍රහයෙන් දොඩම්ගස්ලන්ද ආසනයේ කරඳගොල්ල ඇඟලුම් කම්හල ආරම්භ කිරීම විවෘත කිරීමට පැමිණි රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා එය අනුගමනය කරමින් සමස්ත දිවයින පුරා ඇඟලුම් කම්හල් දෙසීයක් බිහිකිරීමේ වැඩසටහන ආරම්භ කිරීම තවත් හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත්විය. 2016 වසරේදී ආසියානු පැසිපික් ආර්ථික හා සමාජීය කොමිසමේ සභාපති ධුරයට පත්වන ඔහු, ආසියානු පැසිපික් කලාපීය සමුළුවේද සභාපති ධුරයට පත්වීම ඔහුගේ දේශපාලන බුද්ධිය ගැන උදාහරණ සැපයිය හැකි සංධිස්ථානයන් ය.

ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ධුරයත්, වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය ධුරයත්, වනජීවී හා තිරසර සංවර්ධන අමාත්‍ය ධුරයත්, වයඹ සංවර්ධන හා බුද්ධ ශාසන අමාත්‍ය ධුරයත් ඔහුගේ දේශපාලන ජීවිතය තුළ විවිධ ක්ෂේත්‍ර පිළිබඳ ඔහුගේ දායකත්වය වෙනුවෙන් ජනතාව දුන් තිළිණයන් ය. බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටු කළ ඔහු, “බුදු පුත් සුරක්ෂා රක්ෂණය” බිහිකිරීම තුළින් භික්ෂු ශාසනය සහ එම දෙමව්පියන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ගත් ප්‍රශංසනීය පියවරක් වශයෙන් අදටත් ක්‍රියාත්මක වෙමින් පවතියි. එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ට විශාල ශක්තියක් ලබා දෙමින් පක්ෂයේ කටයුතු සංවිධානය කරමින්, තම ශ්‍රමය බුද්ධිය, කාර්ය ශුර බව පක්ෂයට තිළිණ කළ ඔහු, මා දුටු අපේ කාලයේ අසහාය ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයා යැයි ප්‍රකාශ කිරීම අතිශයෝක්තියක් නොවෙයි. වර්තමානයේ ඔහුගේ පුත් අසංක පෙරේරා මහතා ද තම පියාගේ අඩි පාරේ යමින් එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කිරීමේ ගමනට සහාය දෙමින් සිටියි.

අද දවසේ අප අතරින් ඔහු නික්ම ගියද එදා මෙදා තුර මේ රටේ ජනතාව වෙනුවෙන් ඔහු කළ අපරිමිත සේවය පරම්පරා ගණනක් ගත වුවද මේ පොළොවේ මිනිසුන්ගේ හදවත් තුළ ශේෂව පවතිනු ඇත.

ගාමිණී ජයවික්‍රම පෙරේරා නම් වූ ආදරණීය ජ්‍යෙෂ්ඨ ගමන් සගයාණෙනි, ඔබට උතුම් වූ නිර්වාණ සම්පත්තිය ම ලැබේවා!

ශුභ ගමනක් වේවා !

පාලිත රංගේ බණ්ඩාර
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්

advertistmentadvertistment
advertistmentadvertistment