අද නොඑන ගුරුවරුන්ගේ වැටුප් කපන තීරණයක් නෑ – අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා

289

අද (21 දා) දිනයේ පාසල් නොපැමිණෙන ගුරු විදුහල්පතිවරුන්ගේ නොවැම්බර් මාසයේ වැටුප් කප්පාදුවක් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණයක් ගෙන නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

එවැනි වැටුප් කප්පාදුවක් කිරීමට ජනාධිපතිවරයා හෝ අධ්‍යාපන ඇමැතිවරයා තමාට උපදෙසක් දී නැතැයි ද අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කළේය.

කලබල නොවී ගුරු විදුහල්පතිවරුන්ගේ ගැටලූව ඉතා සුහදව විසඳා ගත යුතු කරුණක් බව ද හෙතෙම කීවේය.

ලබන 25 වැනිදා සඳුදා ගුරු විදුහල්පති සියලූදෙනා පැමිණෙන බවට එම වෘත්තීය සංගම් තමාට දැනුම් දී තිබෙන බවත් අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කළේය.

ගුරු වෘත්තීය සංගම්වලින් ධනාත්මක ප‍්‍රතිචාරයක් ලැබී තිබෙන බැවින් සැලසුම් කර තිබෙන පරිදි පාසල් ආරම්භ කර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට හැකියාවක් පවතින බව ද කීය.

අද (21 දා) දිනයේ දිවයින පුරා සිසුන් 200 ට අඩු පාසල් 5106 ක් ආරම්භ කෙරෙන බවත් මේ අවස්ථාව ප‍්‍රයෝජනයට ගෙන චකිතයකින් තොරව දරුවා පාසල් එවන ලෙස ද අධ්‍යාපන ලේකම්වරයා දෙමවුපියන්ගෙන් ඉල්ලා සිටියේය.

ළමා දිනය අදයි කියා සිතා දරුවන් පාසලට එවන ලෙසත්, දරුවන් බලාගැනීමට අවශ්‍ය සියලූ කටයුතු යොදා ඇති බවත් අද දිනයේ ගුරුවරුන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ගුරු ගීතයක් ද ළමයින් සඳහා ළමා ගීතයක් ද ගායනා කිරීමට කටයුතු යොදා ඇතැයි ද අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අනුර බාලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment