අද පාර්ලිමේන්තුවේ පිළිබිඹු වුණේ  ජනතා කැමැත්ත නොවේ විකෘතියක් – පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක

48

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමේ දී ලැබෙන ප්‍රතිඵලය ගැන තමන් පෙර සිටම දැන සිටි බව ජාතික ජනබල වේගයේ නායක, කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20 දා) පැවසීය.

නව ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වීමෙන් අනතුරුව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය අද පාර්ලිමේන්තුවේ පිළිබිඹු වූයේ ජනතා කැමැත්ත නොවන බවත් ජනතා කැමැත්තේ විකෘතියක් පමණක් බවත් හෙතෙම කියා සිටියේය. මෙම ප්‍රතිඵලය හා විපක්ෂයේ ශක්තිමත් වීමක් පෙන්නුම් කරමින් පවතින බව හෙතෙම කීවේය. කෙසේ වෙතත් ජනාධිපති ධූරය හා අගමැති ධූරය අනාගත බල ව්‍යාපෘතියක් නොමැති පාර්ශව වෙතට ලබාදිය යුතු බවට යෝජනා වී තිබුණ බව ඒ මහතා ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද කීවේය.

“මම ප්‍රථමයෙන්ම සුබ පතනවා අභිනව ජනාධිපතිවරයාට. අපිට යම් ශක්තිමත් ප්‍රතිවිරුද්ධ කඳවුරක් නිර්මාණය වී තිබෙනවා. මෙම ඡන්ද ප්‍රතිඵලය තුළින් පෙන්වන දේ මම භාරගන්න ලෑස්තියි. මේක තමයි දේශපාලනය. මේ කඳවුරු දෙක අතර ඡන්දයක් පැවතුණා. මා අපිට අනන්‍ය ලෙස තරග වැදුණා. මේ තමයි අද අපේ රටේ පාර්ලිමේන්තුවේ පෙන්නුම් කරමින් තිබෙන සංයුතියේ ස්වභාවය.

ඒ සංයුතිය නෙවෙයි අද මහ පොළාවේ සංයුතිය. ජනතාව තුළ තිබෙන කැමැත්තේ විකෘති වූ පිළිබිඹුවක් තමයි මේ පාර්ලිමේන්තුවේ පෙන්නුම් කළේ. එළියේ ජනතාවත් මේ සභාවත් අතර විශාල ප්‍රතිවිරෝධයක් නිර්මාණය වී තිබෙනවා. රට විශාල ව්‍යසනයකට පත්වී තිබෙනවා. තරුණ පරම්පරාව තමන්ගේ අනාගතය පිළිබඳ විශාල අපේක්ෂා භංගත්වයකට පත්වී තිබෙනවා. අශිෂ්ට මිනිසුන්ගෙන් මේ පාර්ලිමේන්තුව පිරී තිබෙනවා. නව ජනවරමකට අවස්ථාවක් ලබාදිය යුතුයි කියන ස්ථාවරයේ තමයි මම ඉන්නේ.

අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment