අද පාළුයි ගුණේ අයියගේ කාමරේ…

323

ප්‍රබුද්ධ – පීචං වර්ගීකරණයේ සුප්‍රබුද්ධ බයිලාව

වසර 40කට වැඩි ඇසුරක් තුළ සුහදම මිතුරකු වූ ඔබ දිවියෙන් සමුගැනීම ඉතාම දුක්බර පුවතකි. නමුත් යනදාට යායුතුය. කාගෙත් ආදරය ලබාගෙන කාටත් ආදරය ලබාදුන් මිතුරාණනි, ඔබට අමාමහ නිවන් සුව අත්වේවා. උපදින කිසිම ආත්මයක දී මෙවන් අකල් මරණයක් සිදුනොවේවා!

මේ සටහන මා නිහාල් නෙල්සන් අරභයා ලියූවක් නොවේ. පසුගියදා අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධන සම්බන්ධව නිහාල් සිය මුහුණුපොතේ තැබූ සටහනකි. ඊට දින කීපයකට පසු නිහාල් නෙල්සන්ටත් නුවන් මෙන්ම සිය දිවිසැරිය නිමා කරන්නට සිදුවෙතැයි ඔහු කිසිසේත්ම නොසිතන්නට ඇත. ජීවිතයේ හැටි එහෙමය. අනියතය.

එහෙත් නිහාල් ගායකයකු ලෙස සුවහසක් සහෘද සන්තානයන්හි තැන්පත් කළ මතකය, මිහිර හෝ ගී නිමැවුම් ඊටත් වැඩි කාලයක් රඳා පවතිනු ඇත. නිහාල් නෙල්සන් ගායකයකු ලෙස ප්‍රකට කරළියට පිවිසෙන්නේ ප්‍රවීණ සංගීතවේදී ආර්. ඒ. චන්ද්‍රසේන නිසාය. චන්ද්‍රසේනට නිහාල් මුණගස්වන්නේ සංගීතවේදී ඒ. ජේ. කරීම් ය.

ඒ වනවිට ආර්. ඒ. චන්ද්‍රසේන කැන්ඩි ලේක් ක්ලබ්වල සංගීත ප්‍රසංග සඳහා සංගීතය මෙහෙය විය. කොළඹ විහාර මහාදේවි උයනේ ද පංචාංගනී, චතුරාංගනී, ලලිතාංගනී නමින් සංගීත ප්‍රසංග පවත්වමින් සිටියේය. නිහාල් නෙල්සන්ට ආධුනික ගායකයකු ලෙස කලඑළියට පිවිසෙන්නට වරම් ලැබෙන්නේ මෙම ප්‍රසංග ඔස්සේය. වික්ටර් රත්නයක ද ආධුනික ගායකයකු ලෙස කරළියට පිවිසියේ මෙම කැන්ඩි ලේක් ක්ලබ් සංගීත සන්ධ්‍යාවකිනි.

නිහාල්ගේ පළමු ගීතය ආර්.ඒ. චන්ද්‍රසේනයන් ගේ සංගීතයෙන් හැඩ වී නිර්මාණය කෙරෙන්නේ 1963 වසරේ ය. ගීතය “ලස්සනට පිපුණු වනමල.. ය. නිහාල්ට ගුවන් විදුලියේ දොරටු විවර කළ කරුණාරත්න අබේසේකරට මුණ ගස්වන්නේ ද චන්ද්‍රසේන මාස්ටර් ය. මෙය සරත් මුණසිංහගේ රචනයකි.

“ලස්සනට පිපුණු වනමල් ගල්
පීරෙන දියවැල්
මං ආස කරන මැණික් කැටේ නිල්
දුර ඈත කැලේ ගල් ගුහාවක ගෙවනව කල්
ලස්සන මගෙ කිරිල්ලි සුරතල්…”

1963 මාර්තු 31 වැනිදා මේ ගීය ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූ දා සිට අද වනතුරුත් එය එකසේ ජනප්‍රිය ය. නිහාල් ගේ ගී මුලින්ම වෙළෙඳ තැටියකට නැඟෙන්නේ 1969 වසරේ දී ආර්. ඒ. චන්ද්‍රසේන මාස්ටර් තවත් ව්‍යාපාරිකයකු සමග එක්ව ආධුනිකයන් සඳහා නිපදවූ ගී තැටියකට ය. වික්ටර් රත්නායක, නිහාල් නෙල්සන්, චම්පා අතපත්තු සහ සමනලයෝ සංගීත කණ්ඩායමේ ගීත 04ක් ඊට ඇතුළත් විය. සියලු ගී රචනා කළේ සිරිල් ඒ. සීලවිමල ය. නිහාල් ගැයුවේ “සිරි ලංකාවේ සුරංගනා ලෝකේ” නම් ගීයයි.

නිහාල් නෙල්සන් බයිලා ගායකයකු ලෙස ජනප්‍රිය වූවද ඊට වෙනස් ආරකින් ගැයූ ගීත ද ඔහුගේ ගීතාවලියට අන්තර්ගත වෙයි. මේ එවැන්නකි.

කරුණා සුවඳ තවරාලූ හද පියුමේ
මවගේ සෙනෙහසයි උල්පත සැනසීමේ
දුවලා ඇවිත් පෙර ලෙස මා එක පිම්මේ
අම්මා කියන්නේ කාටද අද අම්මේ

වර්නන් පෙරේරාගේ සහ නිහාල් නෙල්සන්ගේ සුසංයෝගයෙන් බිහිවූ මේ ගීතයේ සිංහලෙන් ලියැවී ඇති මවුගුණ ගී අතර සුවිශේෂ අනන්‍යතාවක් පළකරන්නකි.

නිහාල් නෙල්සන්ගේ ගී ගමන් මගේ විප්ලවීය වෙනසක් ඇති වූයේ 1978 දී නිර්මාණ වූ ගුණෙ අයියගෙ කාමරේ ගීයෙනි.

“සොමියට වරෙන් පුතා
අගුල දාල නෑ දොරේ
අහපන් රියල් කතා ගුණෙ අයියගෙ කාමරේ
හිටපන් සයිඩ් එකෙන් වාඩිවෙලා සුමිතුරේ
මස්කට් පැණි බූන්දි
තියෙනව මගෙ කාමරේ
මේක ගුණෙ අයියගෙ
බජව් දාන කාමරේ…..

සිනමා පුවත්පතක තිබූ “ගුණෙ අයියගෙ කාමරේ, නම්වූ තීරු ලිපි මාලාවේ ශීර්ෂය මුල් කරගෙන මේ ගීතය රචනා කරන ලද්දේ සාමූහිකවය. වර්නන් පෙරේරා, නිහාල් නෙල්සන් සහ හේමසිරි හල්පිට වැනි කිහිපදෙනෙක් ඊට දායක වූහ. ගීතයේ ජනප්‍රියත්වය නිසා ම 1985 දී තිලක් වේහැල්ල අධ්‍යක්‍ෂණය කළ ‘පුතුනි මට සමාවෙන්න’ චිත්‍රපටයට ද එය ඇතුළත් විය. එහිදී එම ගීතය ගයමින් එම ජවනිකාවට පෙනී සිටියේ ද නිහාල් නෙල්සන් ම වීම විශේෂත්වයකි.

නිහාල් ප්‍රසංග වේදිකාවේ දී ඔහුට ම අනන්‍ය ප්‍රාසාංගික විලාසයක් අනුගමනය කළේය. ගීය ගයන අතර මයික්‍රෆෝනය අතින් ගිලිහෙන්නට සලස්වා අනිත් අතින් අල්ලාගැනීම ඒ අතර විශේෂය. සෙසු අය අතර සුහද මිතුරකු වූ ඔහුට තමන් දරන මතය වෙනුවෙන් ඍජුව පෙනී සිටීමට තරම් ශක්තිමත් කශේරුකාවක් තිබිණි. 1970 දසකයේ දී ඇතිවූ ප්‍රබුද්ධ – පීචං වාදය තුළ එච්. ආර්. ජෝතිපාල, නිහාල් නෙල්සන් ඇතුළු ශිල්පීන් පීචං කුලකයට වර්ගීකරණ කෙරිණි. නිහාල් ඊට පිළිතුර දුන්නේ තනි වාක්‍යයකිනි.

“එයාල ප්‍රබුද්ධ නම් අපි සුප්‍රබුද්ධ!”

කිරිදුන්නේ දරුවන්ටයි, පත්තරවල විස්තරවල පන්සල් පල්ලිය, කොත්තු රොටිය, සල්ලි මිටි ගණන් වැනි ඔහුගේ බොහෝ ගීතවල තිබුණේ සමාජ සංශෝධනවාදී අදහස්ය. ඒවා විද්වත් සමාජය තුළ සංවාදයට පාත්‍රවූයේ නැත.

නිහාල් නෙල්සන් දක්‍ෂ ගීත රචකයෙකි. ඔහු සිය බිරිඳ වෙනුවෙන් ලියූ මාලි ගීතය ද අතිශයින් ජනප්‍රිය විය.

1974 දී ඔහුගේ ජීවිතයට එකතුවූ මාලිනී ශ්‍රියාලතා 2020 දී ජීවිතයෙන් සමුගත්තා ය. ඔවුන්ගේ එකම පුතු තරංග ය. අවසාන කාලයේ නිහාල්ගේ ප්‍රාණසම සම්පත වූයේ මිණිපිරිය වූ කයිලි අමේලියාන් ය.

නිහාල් නෙල්සන් චිත්‍රපට පසුබිම් ගායනයට ද එක්විය. 1975 දී තිරගත කෙරුණු ලුවී වැන්ඩ්‍රස්ට්‍රාවන්ගේ ‘පෙම් කුරුල්ලෝ’ චිත්‍රපටයට ඔහු ගැයූ පළමු චිත්‍රපට ගීතයට සංගීතය මුසුකළේ ටෝනි වීරතුංග ය. පද චන්ද්‍රදාස ප්‍රනාන්දුගේ ය.

“කසිලිං බිසිලි නෑ අතේ පච්ච නෑ
බජාර් එකේ හොඳ කකුලකි මං
ඇදිලි පැදිලි නෑ හිතේ බයක් නෑ
ඉදිරියට ම යන කොල්ලෙකි මං”

එතැන් සිට දියමන්ති, ලෝක හොරු, හරියනකොට ඔහොම තමයි, සඳවට රන්තරු, වාලම්පුරි, සක්විති සුවය, රතු මකරා, බෝනික්කා, ශිරාණි, පුතුනි මට සමාවෙන්න, මල්වරුසා, රෝදය වැනි චිත්‍රපටවලට පසුබිම් ගී ගායනා කළේය.

නිහාල් නෙල්සන්ගේ අවසන් චිත්‍රපට ගීතය රචනා කිරීමේ වරම හිමිවූයේ මෙම ලියුම්කරුට ය. ඒ, සිකුරුයෝගය චිත්‍රපටය වෙනුවෙනි. එහෙත් ඔහු කිසිදු දිනක සම්මාන සම්භාවනා අපේක්‍ෂා නොකළේය. මියයන තෙක්ම ප්‍රසංග වේදිකාවේ සක්‍රීය ගායකයකු වූ නිහාල් ඒ දක්වාම නොඅඩුව ජනතා සම්මානයට පාත්‍ර වූයේය. සිය උපන්ගමේ කලාකරුවන් එක්ව ඔහුට පිරිනැමූ “මොරටුපුත්‍ර අභිමානී” සම්මානයත් මොරටුව රාවතාවත්තේ පාරක් “නිහාල් නෙල්සන් මාවත” නමින් නම් කිරීමත් ඉහළ සංකේතාත්මක වටිනාකම්වලින් හෙබි ජනතා සම්මාන විය.

ඔහු ගැයූ ගීත 5000 කට අධික සංඛ්‍යාවක්, කැසට් පට 113ක් තරම් සංරක්‍ෂිත ගී ගබඩාවක් හෙට දවසේ ඔහු වෙනුවෙන් හඬ අවදිකරනු ඇත. 1946 ජනවාරි 09 වැනිදා උපත ලද නිහාල් නෙල්සන් 2022 දෙසැම්බර් 13 වැනිදා අප අතුරින් සදහට ම සමුගත්තේ 76 වසරක කීර්තිය ශේෂ කොට තබමිනි.

අද පාළුයි ගුණේ අයියගේ කාමරේ…

නිලාර් එන්. කාසිම්
සම සභාපති
ශ්‍රී ලාංකේය ගේය පද රචක සංගමය

advertistmentadvertistment
advertistmentadvertistment