අද (18දා) මැදියම් රැයත් සමග උදාවන දේශපාලන නොනගතය විසින් මුළු රටම හෝරා කීපයක් දීර්ඝ නිද්‍රාවක සතපවනු ඇත. එහෙත් ඒ නැකැත් සිරිත් නොතකන ඇතැම් කෙනෙක් ඒ නිද්‍රාව බිඳ, නැතහොත් එයට උඩින් පැන ක්‍රියා කිරීමට ද ඉඩ තිබේ. කුමක් වුවත් තව හෝරා 48ක ඇවෑමෙන් මෙරටේ ඡන්ද බලය හිමි පුරවැසියෝ නව ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ගාම්භීර කාර්ය භාර්යයට දායක වන්නාහ. මෙම හෝරා කීපය ඒ සියලු පුරවැසි ජනතාව තම අභිමතය, ප්‍රසාදය අනුව රටේ භාරකාරත්වය සඳහා ජනාධිපතිවරණ සටනේ ඉදිරියෙන්ම සිටින තුන් හතර දෙනාගෙන් කෙනකු තෝරා ගනිති. ජනාධිපතිවරණය සඳහා තිස්නව දෙනකු ඉදිරිපත් වුවත් එයින් ඉදිරියෙන්ම පසුවන අපේක්ෂකයන් තිදෙනා හෝ සිව්දෙනා පිළිබඳ මේ වනවිටත් බොහෝ දේ කියැවීත් ඇත. ලියැවීත් ඇත. නගර -ගම්දොර වෙනසක් නොමැතිව පැතිර ගිය අපේක්ෂකයන්ගේ ප්‍රචාරක රැස්වීම් ද ඔවුන්ගේ අනුගාමිකයන්ගේ ආමන්ත්‍රණ මගින් ද ජනතාවට ඉදිරිපත් වූ කරුණු සැලසුම් ආදිය කෙබඳුදැයි ඒ ජනතාවට යම් අවබෝධයක් ද විය හැකිය. එහෙත් මේ වනවිට ඉදිරියෙන්ම සිටින අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති හෝ රට තුළ උද්ගතව තිබෙන දේශපාලන හැසිරීම් පිළිබඳව හෝ ඒ බහුතර ජනතාව තුළ ගැඹුරු අවබෝධයක් තිබේ ද යන්න කිව නොහැක.
මෙවර ජනාධිපති අපේක්ෂකයන් පිළිබඳ පුළුල් සංවාදයක් ගොඩනැඟීම සඳහා ඉදිරිපත්වූ, මාර්තු 12 ව්‍යාපාරය විසින් සැලසුම් කරන ලද විවාද මණ්ඩපයක් ද විය. එහෙත් ප්‍රධාන අපේක්ෂකයෝ ඒ අවස්ථාව මඟ හැර සිටියහ. මෙබඳු සංවාද ප්‍රජාතන්ත්‍රවාදී සමාජවල දියුණු ලක්ෂණයකි. ඇමරිකාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් හා කමලා හැරිස් දෙදෙනාගේ රූපවාහිනි විවාදය ගැන මෙරටේත් කතා බහ සිදුවේ. ඇත්ත වශයෙන්ම ට්‍රම්ප් සමග පළමු විවාදයට එක්වූයේ ජෝ බයිඩන් වත්මන් ජනාධිපතිය.
එහෙත් බයිඩන්ගේ අසාර්ථකත්වය නිසා ඔහුට ජනාධිපතිවරණයෙන් ඉවත්වීමට ද සිදුවිය. බයිඩන් එසේ තරගයෙන් ඉවත් වූයේ රටේත් පක්ෂයේත් යහපත් වෙනුවෙන් බව පවසමින්ය. ඒ ඇමරිකාවේය. අපේ රටේ තත්ත්වය කුමක්ද? ජනතා ආකර්ෂණය තබා ඇප මුදලවත් බේරාගැනීමට අසමත් වන කී දෙනෙක් මෙරටේ ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටිත්ද? මේ මොන විගඩමක්දැයි ප්‍රබුද්ධ පුරවැසියන් පමණක් නොව, යම් ප්‍රමාණයක හෝ දේශපාලන සාක්ෂරතාවක් සහිත ජනතාව ද කල්පනා කරති.
2024 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සමාජ දේශපාලන ක්ෂේත්‍රවල ප්‍රාමාණික විද්වතුන් විසින් කරන ලද විවේචන හා විමර්ශනවලින් වුවද පැහැදිලි වූයේ මේ රට ආර්ථික වශයෙන් පමණක් නොව දේශපාලන වශයෙන් ද පරිහානියට පත්ව තිබෙන බවය. සමහරු එය ආර්ථික හා දේශපාලන බංකොලභාවයක් ලෙස හැඳින්වූහ. මෙරටේ දිගු කාලයක් දේශපාලන බලය කේන්ද්‍ර වූ පැරණිම පක්ෂ ලෙසත් හැඳින්විය හැකි එජාපය හා ශ්‍රීලනිපය අද අභාවයට ගොස් තිබේ. එජාපයෙන් බිඳීගිය පිරිසක් සජබයත්, ශ්‍රීලනිපයෙන් ඉවත් වී ගිය අය ගොඩනැඟූ ශ්‍රීලංකා පොදුජන පෙරමුණත් ලෙස මේ ජනාධිපතිවරණ සටන් බිමේ වෙති. පොදුජන පෙරමුණ සම්බන්ධයෙන් වුවද ඇත්තේ ව්‍යාකූලත්වයකි. එයින් වෙන් වූ අය ද විවිධ සන්ධාන සමග සිටිති. මේ වනවිට ඒ සන්ධාන අතර ද විවිධ ගැටුම් ද ප්‍රතිවිරෝධතාවන් ද මතුව තිබේ. ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු මේ සන්ධාන දේශපාලනය තවත් විපර්යාසවලට ලක්නොවේ යැයි සිතිය හැකිද?
අපට හැඟෙන පරිදි මෙම ජනාධිපතිවරණය මෙරටේ පැවැති හැම ජනාධිපතිවරණයකටම වඩා වෙනස් පසුබිමක පැවැත්වෙන්නකි. එය ඉහත දැක්වූ ප්‍රධාන දේශපාලන පක්ෂ දියවී යෑම පමණක් නොව, ඉන් ඔබ්බට ගිය සමාජ – ආර්ථික දේශපාලනයක තෙරපීම් ද සහිත වූවකි. 2022දී ඇති වූ පුළුල් ජනතා විරෝධතාව විසින් අපේක්ෂා කරන ලද සමාජ – ආර්ථික – දේශපාලන වෙනස සමග ඉදිරියට යන ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය මෙම ජනාධිපතිවරණය ජයගන්නා කාහට වුවද යටපත් කිරීම අසීරු වනු ඇත. මෙම ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තිබෙන එක් මතයක් වන්නේ කිසිදු අපේක්ෂකයකුට සියයට පනහ ඉක්මවා යන ඡන්ද ප්‍රතිශතයක් ලබාගත නොහැකි බවය. මැතිවරණ ප්‍රතිඵල පිළිබඳ යම් අදහසක් ඇති කරගැනීමට ස්වාධීන මැතිවරණ සමීක්ෂණ වැනි විමසීම් කටයුතු ඉවහල් වේ. එහෙත් අපට එබඳු දියුණු විමර්ශන ක්‍රියාදාමයක් නැත. ඒ බොහෝ නිරීක්ෂණ යොදා ගනු ලැබ ඇත්තේ කිසියම් අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීමටය.
ජනාධිපතිවරණ අපේක්ෂකයන් සහභාගි වූ රැලිවලට රොක්ව සිටින ජන සමූහය දෙස බලා වුවද කිසිදු අනුමාන අදහසක් හෝ ඇති කරගත නොහැක. ඩ්‍රෝන කැමරාවල උපකාරයෙන් ජනතා අබියසට ගෙන එනු ලබන රූපරාමු වුවද ප්‍රචාරක උපක්‍රමයකැයි සිතිය හැකිය. අපට ඒ ඒ අපේක්ෂකයා පිළිබඳව මේ අවස්ථාවේ අදහසක් දැක්විය නොහැකි වුවද ඒ බොහෝ වේදිකාවල සිදු වූයේ ප්‍රතිපත්තිමය විවේචනවලට වඩා වෙනස් අවලාද, අනතුරු ඇඟැවීම් පමණක් නොව, පටු දෘෂ්ටිවාදීන් විසින් කරන ලද විකෘති හා නිෂ්ක්‍රීය අර්ථකථනයන්ය. එසේම දැනට තිබෙන ආර්ථික අර්බුදය කළමනාකරණය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තිබෙන සාධනීය තත්ත්වයන් ගැන ප්‍රධාන අපේක්ෂකයන් අතර බරපතළ විෂමතාවක් ඇති බවක් ද නොපෙනේ. මේ අතර ඇතැම් ප්‍රතිවාදී අපේක්ෂකයන් සම්බන්ධයෙන් සිදු කෙරෙන ඉතා සාවද්‍ය විවේචනද ඇසෙයි. සමස්තයක් ලෙස දුප්පත්කම දුරලීම සඳහා කෙරෙන බොහෝ යෝජනා, මැතිවරණ වේදිකාවල කඳු ගසනු ලබන මුසාවාද බව ද කිව යුතුය. මෙතෙක් මෙරටේ හැම මැතිවරණයකම මෙම දුගීභාවය බලය වෙනුවෙන් කපටි දේශපාලනඥයන් විසින් යොදා ගත් ආකාරය ද අපට මතකය. මෙතෙක් බලයට පත් වූ හැම ජනාධිපතිවරයකු විසින්ම මේ රට සුඛිත මුදිත කිරීමට පොරොන්දු වූ ආකාරයත් ඒ කිසිවක් ඉටු නොකර ජනතාව රැවටූ බවටත් විවෘත චෝදනා ද ඇත. එසේ වුවද 1977දී බලයට පත් ජේ. ආර්. ජයවර්ධන ඔහුගේ මූලික යෝජනා වූ විධායක ක්‍රමය ඇති කිරීම හා විවෘත ආර්ථිකය සමාජගත කිරීමට පියවර ගෙන තිබුණි. ඔහුට නොහැකි වූයේ ධර්මිෂ්ට රාජ්‍යයක් බිහිකිරීමටත් ධාන්‍ය රාත්තල් 8ක් ලබාදීමටත්ය. ජයවර්ධනගේ ඒ ක්‍රියාවල බරපතළ විපාක අද දක්වාත් ඇදී තිබෙන බව ද සිහිපත් කළ යුතුය.
මේ ජයවර්ධන යුගයේ අතිශය ආන්දෝලනාත්මක ක්‍රියාකාරකම් ද විය. නීතියට ඉහළින් සිටින පාලකයකු හා වරප්‍රසාද සහිත මැති ඇමැතිවරුන්ට සිත් සේ ධනය ඉපයීමට ද එදා බාධාවක් නොවීය. ජනාධිපති විශ්‍රාම වැටුප්, මන්ත්‍රී විශ්‍රාම ඇතුළු තවත් ප්‍රතිලාභ, පවුල්වාදය ක්‍රමයෙන් මේ දේශපාලනයම වසා ගත් ආකාරය කවුරුත් දනිති. එහෙත් පූර්ව යුගයේ මෙරටේ අගමැතිවරුන්ට පවා සුවිශේෂ වරප්‍රසාද නොවීය. අගමැති ධුරය හෙබවූ ඩබ්ලිව්. දසනායක එයින් පරාජයට පත්ව ගාල්ලට ගියේ මිතුරකුගේ වාහනයකින් බව ද කියති. බොහෝ මන්ත්‍රිවරුන් ලබාගත්තේ ද පොදු ප්‍රවාහන පහසුකම්ය. වාහන බලපත්‍ර, බාර් පර්මිට්, මහා පරිමාණ ව්‍යාපෘතිවල කොමිස් ආදිය ගැන එදා ඇසුණේ ද නැත. ගරු මන්ත්‍රීතුමා යන යෙදුම හැම අතින්ම ඒ කාලයේ මැතිවරුන්ට සාධාරණ විශේෂණයක් විය. එහෙත් අද ඒවා දේශපාලන ඉතිහාසයේ වාර්තා පමණි. එසේ වූයේ ඇයි? දේශපාලනය මහජන සේවයක් සඳහා වූ ව්‍යාපාරයක් නොව, මූල්‍ය ප්‍රතිලාභ හා වරප්‍රසාද සහිත දූෂිත මෙහෙයුමක් බවට අද පත්ව තිබේ. (මේ සඳහා උදාහරණ තිබුණත් ඒවා මේ අවස්ථාවේ දැක්විය නොහැක.)
දේශපාලනය හා සාරධාර්මික සමාජය අතර තිබෙන සබඳතාව ජනතාව නොමඟ යැවීමට භාවිත වන ආකාරයට සකසා ගැනීමට ද අද අපේ බොහෝ නායකයෝ සමත් වෙති. බුදුන් වහන්සේ ඒ පිළිබඳව සූත්‍ර ගණනාවකම සඳහන් කර ඇත. චක්කවත්තිසිහනාද, කූටදන්ත වැනි සූත්‍රවල ධනය සාධාරණව බෙදී නොයෑම නිසා වන විපත දක්වා තිබේ. ධනවත් හා නිර්ධන ප්‍රභේදයත්, පන්ති සමාජයක් පිළිබඳව පසුකාලීන සමාජ ආර්ථික විශේෂඥයන්ට වඩා ඉදිරි දැක්මක් සහිත කරුණු ඒ සූත්‍රවල ඇතුළත් වේ. මූලික මිනිස් අවශ්‍යතා සපුරාලීමට රාජ්‍ය පාලකයාත් ව්‍යාපාරිකයාත් ඉදිරිපත් විය යුතු බව ද එහි දැක්වේ. ඉතා සැකෙවින් කිවහොත් මානව ශ්‍රමයට පහසුකම් ලබාදීම හෙවත් වැඩ කළ හැකි අයට රැකියා ලබාදීම, ධනය සාධාරණව බෙදී යෑම, කෘෂිකර්මයට අවශ්‍ය බීජ, වාරි ජලය, උපකරණ ගොවීන්ට ලබාදීම, ප්‍රාග්ධන හිමියන් ව්‍යාපාරවලට සම්බන්ධ කරගැනීම, රාජ්‍ය සේවයට නිසි වැටුප් හා පහසුකම් ලබාදීම, ආහාර සුරක්ෂිතතාව, සාධාරණ බදු ප්‍රතිපත්තිය, නීතිය – සමානාත්මතාව තහවුරු කිරීම, පරිසර සුරැකුම, සමස්ත ආර්ථිකයම කළමනාකරණය කිරීම වැනි කරුණු බුදුහු අනුදැන වදාළහ. පාලකයා ජනතාවට වගකියන අයෙක් විය යුතු බව ද අවධාරණය ඇත.
එදා ජේ. ආර්. ජයවර්ධන (1978) ධර්මිෂ්ට සමාජයක් පිළිබඳ ජනතාවට ප්‍රතිඥා දුන් පළමු ජනාධිපතිවරයායි. දසරාජ ධර්ම, අපරිහානිය ධර්ම වැනි ගාම්භීර දර්ශන ගැන අදත් වේදිකාවල රැව් දෙයි. බෞද්ධ සංඝ සමාජය ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජවාදය පිළිබඳ සංකල්ප මත පදනම් වූ බව නවීන සමාජ විද්‍යාඥයෝ ද පිළිගනිති. පාලකයා හැමවිටම ජනතාව විමසිය යුතු බවත් සංහිඳියාව තහවුරු කළ යුතු බවත් එහි දැක්වේ. බියෙන් තොරව ජීවත්වීම, මිනිසාට මෙන්ම සතුන්ට ද රැකවරණය ලබාදීම, ධර්මය උල්ලංඝනය නොකිරීම පාලකයාගේ පදනම විය යුතුය. මෙලොව ජීවිතය පවත්වා ගෙන යෑමට අවම වසයෙන් ආහාර පාන, ඇඳුම්, නිවාස හා බෙහෙත් ලබාදීම අනිවාර්ය කර තිබේ. මෙය භික්ෂුන්ට ලබාදෙන සිව්පසයට ද අදාළය. බුදුන් වහන්සේ මිහිපිට තිබෙන දරුණුම රෝගය ලෙස හැඳින්වූයේ ද සාහිත්‍යය (ජී ගච්ඡා පරමා රෝගා). එසේම පුද්ගලයකු ලබන පරම සුවය නිරෝගී බව ලෙස හැඳින්වූහ (ආරෝග්‍යා පරමා ලාභා).
ජනතාව තම පාලකයා ලෙස තෝරාගත යුත්තේ ඒ වගකීම් ඉටු කළ හැකි අධිෂ්ඨානශීලි අයෙකි. දුකට පත් ගිලනුන්ට දෙන ඔසුවෙන් හෙවත් බෙහෙත්වලින් ගසාකන නිවටයෝ මෙරටේ සිටිති. එනිසාම මෙම ජනාධිපතිවරණයේදීත් ප්‍රබල තේමාවක් බවට පත්ව තිබෙන්නේ දූෂණ මර්දනයයි. දූෂණ, වංචා, අල්ලස, නාස්තිය ආදී සමාජ විරෝධී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වන චෝදනාවලට දඬුවම් දීම දශක දෙක තුනක් මුළුල්ලේම දේශපාලන වේදිකාවලත්, ප්‍රතිපත්ති ප්‍රකාශවලත් සඳහන් වන ප්‍රතිඥාවකි. නීතිය පවා දේශපාලන අභිමතය පරිදි නවා ගත් අලජ්ජී ආකාරයට ද නිදසුන් සුලබය. දූෂණය මෙන්ම භීෂණය සම්බන්ධයෙන් ද අනුබල අනුග්‍රහ ලැබෙන්නේ දේශපාලනඥයන්ගෙන් හා දූෂිත නිලධාරීන්ගෙනි. ‘චෞර වළල්ල’ යන යෙදුම සුලබව සමාජ දේශපාලන ක්ෂේත්‍රවල හමුවේ. දූෂණ, වංචා, කොමිස් ආදිය ගැන ප්‍රසිද්ධියේ චෝදනා පවා එල්ල වෙයි. බදු පැහැර හැරීම, රාජ්‍ය දේපොළ අවභාවිත කිරීම් යනු සාමාන්‍ය ක්‍රියා තරමට සිදුවෙයි. මේ දූෂිත ක්‍රමය මැඬලන දැඩි නීති මෙන්ම රාජ්‍ය මූල්‍ය පාලනය සම්බන්ධ ප්‍රතිපත්තිමය හා ස්ථාවර වැඩපිළිවෙළක් ද අද රටට අවශ්‍යය.
ලබන 21 වැනිදා තේරී පත්වන ජනාධිපතිවරයකුට තිබෙන අභියෝග සුළු පටු නැත. දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වයක් අද රටට අවශ්‍යය. ඉහත දැක්වූ ආකාරයටම රටේ පැරණිතම දේශපාලන පක්ෂ දෙක (එජාප – ශ්‍රීලනිප) පමණක් නොව, වමේ ව්‍යාපාරය ද දුර්වල වී තිබේ. මෙම ජනාධිපතිවරණ ප්‍රතිපත්ති අතරට විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කෙරෙන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන ද සඳහන් වේ. එහෙත් 2022 අරගලය අපේක්ෂා කළ රැඩිකල් වෙනස යථාර්ථයක් බවට පත් කළ හැකි ද යන ප්‍රශ්නය යළිත් සමහරු නඟති. අද මේ රට මුහුණ දී සිටින ආර්ථික හා දේශපාලන අර්බුදයට පැලැස්තර දැමීමෙන් නම් පලක් නැති බව කිව යුතුය. මොන පොරොන්දුව හෝ සහනය හෝ ලබාදීමේ තරගයක් ද ඇතැම් දේශපාලන ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එහෙත් මේ සමාජ – ආර්ථික හා දේශපාලන අර්බුදය සුළුවෙන් තැකිය යුතු නැති බව ද කිව යුතුය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලි කොසැක් පවසා තිබුණේ, ලංකාව මේ වන විට විශාල ප්‍රගතියක් අත්කර ගෙන තිබුණත් තවමත් ආර්ථික අවදානමෙන් මිදී නොමැති බවය. ජනාධිපතිවරණ වේදිකාවල කෙබඳු ප්‍රකාශ කළත් රටේ ආර්ථික ප්‍රගතියට අදාළ සාධනීය පියවර හඳුනා ගැනීමත් ඒ අනුව නිෂ්පාදන ආර්ථිකයක් ලබා ගැනීමත් යන කරුණු මෙබඳු දුෂ්කර අභියෝගයක් ජය ගැනමේදී ඉවහල් වන බව ඒ ක්‍ෂේත්‍රවල විද්වත්හු ද අවධාරණය කරති. ඇත්ත වශයෙන්ම බිඳවැටුණු ආර්ථිකය ගොඩනැංවීම සඳහා මෙරටේ බදු ගෙවන ජනතාවට අමතරව වෙනත් වෘත්තිකයෝ ද අප්‍රමාණ බදු බර, පීඩා දුක් ඉවසූහ. තම දෛනික ජීවිතවල රටාව එහෙමපිටින්ම වෙනස් කළහ. එහෙත් රාජ්‍ය අංශවල කෙළවරක් නොමැති අනවශ්‍ය වියදම්, නාස්ති ක්‍රියාකාරකම් ද සිදුවූ බව ද කිව යුතුය.
අද බංග්ලාදේශය සම්බන්ධයෙන් සිදු කෙරෙන විවිධ විමර්ශන, විග්‍රහවලදී අපට දැනෙන එක් දෙයක් ඇත. ඒ වායේ හරය වී ඇත්තේ ආර්ථික වශයෙන් කඩා වැටුණු රටක් ගොඩනැංවීමේ අභියෝගය අතිශය දුෂ්කර බවය. බංග්ලාදේශයේ ගමන්මඟ වෙනස් කිරීම සම්බන්ධයෙන් මොහමඩ් යුනුස් දරන ප්‍රයත්නය ඉතා පැහැදිලිය. ලංකාව විපතට පත් වෙද්දී අපට ඩොලර් මිලියන 200ක් දීමට තරම් ප්‍රබල ආර්ථිකයක් තිබුණු රටක අද තත්ත්වය කෙතරම් බිහිසුණු ද? අපේ දේශපාලනඥයන් මෙන්ම නිලධාරීන් ඇතුළු බොහෝ දෙනකුට ලබාගත හැකි පාඩම් ගණනාවක්ම බංග්ලාදේශය සපයා තිබේ. එහෙත් මේ රටේ මුග්ධ දේශපාලනඥයන් ලංකාව බංග්ලාදේශයක් බවට පත් කිරීමේ වුවමනාවක් ඇති බවට කරනු ලබන පදනම් විරහිත අනතුරු ඇඟවීමක් ද ඇත. එය බරපතළ මුළා කිරීමකි. කෙක්කෙන් බැරි නම් කොක්කෙන් හෝ බලය ලබා ගැනීමට දත කන දේශපාලන තරගය මේ රටට අලුත් දෙයක් නොවේ.
2022 ඓතිහාසික විරෝධතාව වැරදි කොන්නි අල්ලා ගත් අය මේ ජනාධිපතිවරණය හා බැඳී තිබෙන ජනතා අපේක්ෂා අමතක කරති. 69 ලක්ෂයක ජනවරමක් ලබාගත් ගෝඨාභය ජනාධිපති ධුරය අතහැර පලායෑම එක් අතකට පුදුමයක් වන්නේ ඔහු දිගු කාලීන ත්‍රස්තවාදයක් මර්දනය කළ සෙන්පතියකු වැනි චරිතයක් ද වීම නිසාය. මෙරටේ සමාරම්භක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන බලය අභ්‍යාස කළේ සුප්‍රකට මැකියාවෙලිගේ “ද ප්‍රන්ස්” (The Prince) කෘතිය සිහිපත් කරවන ආකාරයටය. බලය සඳහා සාධාරණය, සාරධර්ම කිසිවක් අදාළ නැතැයි මැකියාවෙලි එදා පළ කළ අදහස් අද ලෝකයේ බොහෝ රටවල ජනතා නැඟිටීම් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ. මැකියාවෙලි මෙන්ම කෞටිල්‍යගේ දේශපාලන සටකපටකම් අපේ ජනාධිපතිවරුන් කීපදෙනකුට හෝ තිබුණු බව රහසක් නොවේ. එහෙත් අද ප්‍රභූතන්ත්‍ර පාලනය මෙන්ම වැඩවසම් දේශපාලනය නඩත්තු කිරීම අපහසු බව පසක් කරගැනීම ජනාධිපති ධුරය අපේක්‍ෂා කරන අයගේ යහපතට හේතු වනු ඇත. සම්ප්‍රදායි දේශපාලන හර පද්ධතීන් වෙනස් විය යුතුය යන සංඥාව 2022 අරගලයෙන් ලබාදී තිබේ. තුන්වන ලෝකයේ ඇතැම් රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල පුරවැසි අයිතිවාසිකම් පිළිබඳ පරිච්ඡේද ඇතුළත් කර තිබේ. ලංකාවේ ද එබඳු ව්‍යවස්ථාමය ප්‍රතිපාදන සලසා තිබුණත් ඒවා ජනතාවට සමීප නොවන බව ද කිව යුතුය. විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව සමාජගත වූ විරෝධයට ද අභිනව ජනාධිපතිවරයාට පිළිතුරු දීමට සිදුවනු ඇත. ඒ වෙනස ප්‍රධාන අපේක්ෂකයෝ පිළිගනිති.
දැන් අවසන් වශයෙන් අපගේ අවධානය යොමු වන්නේ මේ දේශපාලන නොනගතය සමග උදාවන කාලය තුළ නීතියට හා යුක්තියට එකඟව ක්‍රියා කිරීමේ වගකීම පිළිබඳවය. ජනතාවගේ අපේක්ෂාව ද තමන්ගේ අභිමතය ස්වාධීනව ප්‍රකාශයට පත් කෙරෙන ඡන්දය බියෙන් තොරව භාවිත කිරීම පමණි. ඒ සඳහා වුවමනා ප්‍රජාතන්ත්‍රවාදී හා සමාකාමී පරිසරයකි. එසේ වුව ද නිර්බාධිතව ඡන්දපළට ගොස් ඡන්දය පාවිච්චි කිරීමට පසුබිම සකස් කළ යුත්තේ මැතිවරණ කොමිසම පමණක් නොවේ. ඒ හා සමානවම රාජ්‍ය බලය සහිත පිරිස් ද විපක්ෂවල අය ද තම සහාය ලබාදිය යුතු වෙති. මැතිවරණ කොමිසම වරක් ප්‍රකාශ කර තිබුණේ ජාතික කොඩිය ප්‍රචාරක කටයුතුවලට භාවිත කිරීමේ වැරදිකරුවන්ට එරෙහිව ක්‍රියා කිරීමට දුෂ්කර බවය. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ද ආයාචනයක් කර තිබුණි. ජාති, ආගම් භේද අවුස්සනසුලු ප්‍රකාශ කිරීමත් කවර හෝ ආකාරයක වෛරී ප්‍රකාශ සමාජගත කරමින් ජනතාව කුපිත කිරීමත් නොකළ යුතු බව ඔවුන්ගේ අවධාරණයයි. සාමාන්‍යයෙන් අන්තිම මොහොතේ විවිධ ක්‍රම මගින් රට ගිනි තබන ප්‍රකාශ කිරීම පිළිබඳ කුප්‍රකට දේශපාලන අනුගාමිකයෝ බොහෝ පක්ෂවල සිටිති. මේ අය පාලනය කිරීම පක්ෂවල වගකීමකි.
පැෆරල් සංවිධානයට අනුව නම් මෙවර බරපතළ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවී නැත. එසේ වුව ද තර්ජන ගර්ජන හා බිය වැද්දීම සිදුවී ඇති බව ඔවුහු සඳහන් කරති.
ගාමිණි සුමනසේකර