ආයුර්වේද හන්දියේ සිට වැලිකඩ තෙක් වාහන ගමන් සීමා කෙරේ
ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාරදෙන අද (15 වැනිදා) මැතිවරණ ලේකම් කාර්යාලය පිහිටි රාජගිරිය ප්‍රදේශයේ විශේෂ ආරක්ෂක හා රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මූලස්ථානය පවසයි.
ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර දීම අද පෙරවරු 8.00 සිට පෙරවරු 11.00 දක්වා සිදුකෙරෙන අතර ඒ අනුව අද පෙරවරු 8.00 සිට පස්වරු 2.00 දක්වා එම විශේෂ ආරක්ෂක හා රථවාහන සැලැස්ම ක්‍රියාත්මක බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා ‘දිවයින’ ට පැවසීය.
මෙම ආරක්ෂක වැඩපිළිවෙළ සහ රථවාහන සැලැස්ම සඳහා පොලිස් නිලධාරීන් දහසකට අධික පිරිසක් යොදවන බවද ඒ මහතා කීය.
අද ක්‍රියාත්මක කෙරෙන රථවාහන සැලැස්මට අනුව පොල්දූව දෙස සිට නාවල පාරෙන් කොළඹට ඇතුළු වන සියලුම වාහන සාමාන්‍ය පරිදි වැලිකඩ හන්දියට පැමිණ එතැන් සිට ආයුර්වේද හන්දිය දක්වා ගමන් කර සාමාන්‍ය පරිදි කොළඹට ඇතුළු විය හැකිය.
වැලිකඩ හන්දියත්, ආයුර්වේද හන්දියත් අතර අතුරු මාර්ගවලින් ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයට ඇතුළු වන සියලුම වාහන වමට හරවා බොරැල්ල ආයුර්වේද හන්දිය දෙසට ගමන් කළ යුතුය.
බොරැල්ල කොටා පාරෙන් හා කාසල් වීදියෙන් කොළඹින් පිටවන වාහන ආයුර්වේද හන්දියට පැමිණ පරණ පාර ඔස්සේ වැලිකඩ හන්දිය දක්වා ගමන් කළ හැකිය. එසේම, අතුරු මාර්ගවලින් පරණ පාරට ඇතුළු වන සියලුම වාහන වමට හරවා වැලිකඩ හන්දිය දෙසට ගමන් කළ යුතුය.
ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ ආයුර්වේද හන්දියේ සිට වැලිකඩ දක්වා අද පෙරවරු 8.00 සිට පස්වරු 2.00 දක්වා කොළඹට ඇතුළු වන සහ පිටවන වාහන ගමන් සීමාකෙරේ. එසේම තලවතුගොඩ හන්දියේ සිට කොළඹ දෙසට ගමන් කරන සියලුම වාහන තලවතුගොඩ හන්දිය, කිඹුලාවල හන්දිය ඔස්සේ පිටකෝට්ටේ හන්දියට පැමිණ නාවල පාර ඔස්සේ නාරාහේන්පිට දෙසට හෝ
නුගේගොඩ දෙසට ගමන් කර කොළඹ දෙසට ගමන් කළ හැකිය.
ඔබේසේකරපුර මාර්ගයෙන් පරණ පාරට පැමිණෙන වාහන මාදින්නාගොඩ හරහා වැලිකඩ හන්දියට ගමන් කළ යුතු අතර, පොල්දූව හන්දියේ සිට බොරැල්ල දෙසට සහ බොරැල්ල සිට පොල්දූව හන්දිය දෙසට කන්ටේනර් රථ, ගල්, වැලි ටිපර් රථවලට ඇතුළුවීම සීමා කෙරෙන බවද හෙතෙම කියා සිටියේය.
එසේම, 176 බස් රථ මාර්ගය නාවල පාරෙන් වැලිකඩ හන්දියට පැමිණ ශ්‍රී ජයවර්ධනපුර මාර්ගය ඔස්සේ ආයුර්වේද හන්දියට පැමිණ ගමනාන්තය දක්වා ගමන් කළ යුතු අතර, මාර්ග අංක 170, 171, 175, 177, 190 යන මාර්ගවල බස්රථ වැලිකඩ හන්දියට පැමිණ ශ්‍රී ජයවර්ධනපුර මාර්ගය ඔස්සේ ආයුර්වේද හන්දිය වෙත පැමිණ
ගමනාන්තය දක්වා ගමන් කළ යුතුය.
රාජගිරිය හන්දිය සිට කොටා පාර, ආයුර්වේද හන්දිය, පරණ පාර, බොරැල්ල හන්දිය දක්වා මාර්ගය අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා පමණක් භාවිත කරන ලෙස පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා