අද විගණන කොමිසම හොඳයි කියන අගමැති එදා එය අහෝසි කරන්න විස්සට අත ඉස්සුවා – විපක්‍ෂ නායක

106

විධායකය සතු බලතල ක්‍රමානුකූලව අඩුකර පාර්ලිමේන්තුවේ බලතල වැඩි කර ගනිමු
– අගමැති දිනේෂ් ගුණවර්ධන

ජනතාව ඉල්ලුවේ ව්‍යවස්ථාවක් මිස සංශෝධනයක් නොවෙයි
– සරත් වීරසේකර(ශ්‍රීලපොපෙ)

ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරන නිසා ඡන්දය දෙනවා
– කුමාර වෙල්ගම (සජබ)

ව්‍යවස්ථා සංශෝධන ජනතා අභිලාෂයන් අනුව කෙරෙන්නේ නෑ
– ඉමිතියාස් බාකිර් මාකර් (සජබ)

පක්‍ෂ මාරුව නැවැත්වීම ඇතුළු අප ගෙනා සාධනීය යෝජනා පිළිගෙන නැහැ
– අනුර කුමාර දිසානායක (ජාජබ)

විධායකය සතු බලතල ක්‍රමානුකූලව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීම මගින් සහ ස්ථාවර නියෝග වෙනස් කිරීමෙන් පාර්ලිමේන්තු බලතල ප්‍රමාණය වැඩි කර ගැනීමේ ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යමු යැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවසීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණි.

ප්‍රථමයෙන් නිවේදන, ලිපි ලේඛන, ඉදිරිපත් කිරීමෙන් පසුව, මන්ත්‍රීවරුන් විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසා තිබූ ප්‍රශ්න සඳහා අදාළ ඇමැතිවරු පිළිතුරු සැපයූහ. ඉන්පසුව, විසි දෙවෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්තා සංශෝධනය පිළිබඳ විවාදය දෙවැනි දිනට ආරම්භ විය.

විවාදය ආරම්භ කරමින් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා :

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවත්, ශ්‍රී ලංකාවේ ජනතාවත්, අපි කවුරුත් තේරුම් කර ගත යුතුයි 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 22වෙනි වරටත් සංශෝධනය කරන බව. අපි ආණ්ඩුක්‍රමය සංශෝධනය කරමින්, සංශෝධනය කරන ලද දේ ආපසු ඉවත් කරමින්, යළි සංශෝධනය කරමින් කටයුතු සිදු කරන පාර්ලිමේන්තුවක් බවට පත්වීම සැබවින්ම එක්තරා පැත්තකින් සමාජයේ විවේචනයට ලක්වෙලා. යම් යම් යෝජනාවල් මෙතනින් එහාට දේශපාලන යාන්ත්‍රණය සාර්ථක කර ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කරලා තිබුණා. මේ අවුරුද්දේ මුල සිට සාකච්ඡා ආරම්භ කරලා තිබුණා. මේ කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වුණ අවස්ථාවේදී ද ජනාධිතිවරයා හැටියට මූලාසනය දැරුවේ ගෝඨාභය රාජපක්ෂයි. එහි මූලික අංග පිළිබඳ එකඟතාවක් අමාත්‍යවරුන් සමඟ පැමිණියා. අග්‍රමාත්‍යවරයා හැටියට හිටියේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා, එදා අග්‍රාමාත්‍යතුමා. විරුද්ධ පක්ෂය සමඟත් සාකච්ඡා වාර විටින් විට පැවත්වුවා. ඒ වාගේම මේ ඉල්ලා සිටින උද්ඝෝෂණ ව්‍යාපාරයේ අය එක්කත් සාකච්ඡාවල් ඇතිවුණා. ඒ අනුව මේ, 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් වී, විවාද කරන අවස්ථාවේදී මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ, මෙයට අන්තර්ගත විය යුතු යම්කිසි ජනවරමක් අපටත් තිබෙනවා.

22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමඟම, සංශෝධනය සමඟම ඉතුරු ඉතිරි වී තිබෙන වැඩ කොටස නොකරොත් මේ 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් අවුල් තත්ත්වයට පත් වන්නට ඉඩ තිබෙනවා. මං ඉඩ තිබෙන බව කියන්නේ ඇයි? පාර්ලිමේන්තුවේ ඡන්ද ක්‍රමය හා ජනාධිපති ක්‍රමය අතර යම්කිසි මතභේදයක් තියෙනවා. මේ පළවෙනි වතාව නෙමෙයි.

17 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය

ගෙනාවා. මට මතකයි ඒ කාලේ අපේ තාවකාලික ආණ්ඩුවක් අපි ඇති කළා, චන්ද්‍රකා කුමාරතුංග මැතිනිය. තාවකාලික ආණ්ඩුවක් ඇති කරලා ඒ ඉල්ලීම් මාලාව ඇතුළත් කරලා පළවෙනි වරට ජනාධිපතිගේ බලතල සමඟ කටයුතු කරන්න පාර්ලිමේන්තු කමිටුවක් ඇති කිරීමට එකඟතාවයන් ඇති කළා. අපි අමතක නොකළ යුතුයි. 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තවත් වෙනසකට භාජනය කළා. ඒත් පාර්ලිමේන්තු බලය වැඩිකර ගැනීමට ජනාධිපති ධුරයේ. ඊට පස්සේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආවා. 18යි 19යි දෙකම සම්බන්ධ කළේ එකම පාර්ලිමේන්තුව. හිටපු පාර්ලිමේන්තුව. ඒ අතරතුර යම් යම් දේශපාලන පෙරළි වුණා. නමුත් එකම පාර්ලිමේන්තුව. දැන් අපි 20 වෙනි ආණ්ඩු ක්‍රම සංශෝධනයකුත් ගෙනාවා. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විශාල සංශෝධනයන් ඇති කළා එවකට තිබුණු ආණ්ඩුව. ඉතිං ඒකටත් ඡන්දය පාවිච්චි වුණා, 2/3 ක් ලබා දුන්නා. අපේ පක්ෂෙත් ලබාදුන්නා. මම එදා හිටියේ විපක්ෂේ. මම විරුද්ධ වුණා. සංශෝධන ගණනාවක් ගෙනාවා. සමහර ඒවා නවත්ව ගන්න පුළුවන් වුණා. නමුත් අපි ඡන්දය පාවිච්චි කළා. ඒ වගේම මේ 22න් ප්‍රශ්ණය සම්පූර්ණ ඉවත් වෙන්නේ නැහැ. 22න් එහාට ගියපු මේ ප්‍රතිසංස්කරණත් කළ යුතුයි කියලා ව්‍යවස්ථාදායක ඇමතිතුමාත් අපිත් අමාත්‍ය මණ්ඩලයත් සාකච්ඡා කළා.

දැන් ව්‍යවස්ථා සභාව නැවත ඇති කරලා තිබෙනවා. ව්‍යවස්ථා සභාවේ සංයුතිය සඳහන් වෙලා තිබෙනවා. සභාවේ නිර්දේශ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම සහ සභාවේ සභාපතිවරු සාමාජිකයන් පත් කිරීම, කොමිෂන් සභා නවයක් පිළිබඳ විශේෂයෙන් විගණන කොමිෂන් සභාව සුවිශේෂයි. විගණන කොමිෂන් සභාව පාර්ලිමේන්තුව එක්ක එකට වැඩ කරන්න බැරි නම්, පාර්ලිමේන්තුවය විගණන කොමිෂන් සභාව කියන දේට සවන් දෙන්න බැරි නම්, දේශපාලන වශයෙන් කාට රිදුනත් කමක් නෑ. සවන් දෙන්න බැරිනම්, විගණන කොමිෂන් සභාවකින් ඇතිවෙන ඵලක් නෑ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා :

ඇත්තටම අද එන්න තිබුනේ විසි දෙක නොවෙයි විසි දෙක ප්ලස්. මොකද අපිට හොඳටම කරන්න ඕනේ කියලානේ කිව්වේ. නමුත් අද මොකද වෙලා තිබෙන්නේ රට කාලා. බංකොළොත් කරලා. විනාශ කරලා. රට කුඩු පට්ටම් කරලා. ජනවරම විනාශ කරලා දැන් එනවා අපිට බණ දේශනා කරන්න. මේ අය කරන්නේ වමාර වමාර කන එකයි. අපේ ස්ථාවරය 20ත් නොවෙයි 22ත් නොවෙයි. අපේ අරමුණ 21යි.

අගමැතිතුමා කියනවා විගණන කොමිසම හොඳයි කියලා. නමුත් එදා විස්සට අත ඉස්සුවා විගණන කොමිසම අහෝසි කරන්න. හොඳටම කරන්නේ ඔය 20 ගෙනාවේ. තනි මතයට බලය මධ්‍යගත කරලා මොදක වුණේ. ඇයි අද 22 ගේන්නේ පොහොට්ටුවේ සද්භාවය නිසාද? නෑ. මහා ජන අරගලයක් ආවා. ඒ නිසයි මේ 22 වැනි සංශෝධනය ආවේ. මෙම 22 ආවේ ජනඅරගලය නිසයි. නැතුව තමුන්නාන්සේලා නිසා නොවෙයි. වහල්ලු වගේ මේ අය හිටියේ. මොල හතානෝ කියලාත් කිව්වා. අදත් බලනවානේ මොළ හතාගේ තීන්දු ක්‍රියාත්මක කරන්න. මොළ හතානෝ ආවේ විස්ස තිහ පිරිවරාගෙනනේ. නමුත් ජනතාව පැන්නුවා. අනේ ඔබතුමා වගේ ශ්‍රීමතෙක් බිහිවෙලා නෑ ඔබ තුමා ඉන්න කියලානේ හිටපු ජනාධිපතිට මේ අය කිව්වේ මේ රට වමාර වමාර කාලා දැන් එනවා බණ කියන්න. මේ 22න් දැන් ජනතා අපේක්ෂා විසඳෙනවාද? කෝ ජනතාවට සහන. ජනතාව කිව්වේ ප්‍රජාතන්ත්‍රවාදය ඕනා කියලා. කෝ දුන්නාද ජාතික සභාවක්. කෝ ඒකට බලයක් තිබෙනවාද? ඒකට නීතිමය ශක්තියක් ලබා දෙන්න ඕන. දැන් අපි මේ 22ට කැමැති ඇයි? අපි කොන්දේසි තුනක් දුන්නා. එකක් ද්විත්ව පුරවැසි තහනම. නැත්නම් කපුටා ආයෙත් මේ සභාවට එනවා. ඒ වගේම ව්‍යවස්ථාදායක සභාව ගැන. ඒකත් ඒ ලෙස වෙන්න ඕන. 22න් ජනාධිපති බලතල අඩු වෙන්නේ නෑ. නමුත් මම හිතනවා ජනාධිපති එහෙම කරන එකක් නෑ කියලා. මොකද එතුමානේ 19 වැනි සංශෝධනය ගෙනාවේ. අපි මේකට උදව් කරන්නේ බංකොළොත් වූ රට බංකොළොත්භාවයෙන් මුදා ගන්න. අපට බෑ ජීඑස්පී ප්ලස් නැති කර ගන්න. අපට බෑ ජාත්‍යන්තර සහාය ලැබෙන එක නැති කරන්න. අපට බෑ අයිඑම්එෆ් සහනය නැති කරන්න. මේ අය

ගියේ තනියම කරන්නනේ. නමුත් අපි අමාරු තීන්දුවක් ගත්තා රට වෙනුවෙන්. 22ට සහාය දෙන්න. දැන් මානව හිමිකම් මණ්ඩලය. මානව හිමිකම් විතරක් නොවෙයි ආර්ථික හානිය ගැනත් කතා කරනවා. දැන් ලෝක බැංකුව මෙහෙට පොහොර ටික දෙන්න ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳෙව්වේ නැැත්නම් ඒ ඩොලර් ටිකත් මේ අය කනවා කියලා දන්නවා. අද රටට අවශ්‍ය 22 නොවෙයි 22න් ඔබ්බට ගිය විසි එක් වෙනි සංශෝධනයයි.

නියෝජය කතානායක අජිත් රාජපක්ෂ මහතා මූලාසනයට පැමිණේ.

අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත

විධායක බලයේ වෙනස්කම් කිරීම ඇරඹුණේ 17 සංශෝධනයත් සමගයි. 19 ගේන විට අපි හිටියේ විපක්‍ෂයේ. ආණ්ඩුවට තිබුණේ ඡන්ද 46 යි. විපක්‍ෂයට 141 ක් තිබුණා. ඒත් 19 සම්මත කිරීමට ඡන්ද 212 ක් ලැබුණා. අපි 19 ට ඡන්දය දුන්නා. අදට වඩා එකහමාරකට වඩා ඡන්ද එදා විපක්‍ෂයට තිබුණා.

21 ගෙනාවේ විධායකය අහෝසි කරන්න. ඒත් අධිකරණය ඊට ජනමත විචාරණයක් අවශ්‍ය බව කිව්වා. 13 වන සංශෝධනය ෆෙඩරල් නොවන උපරිමයට

ගිහින් තියෙන්නේ. ඒ නිසා 13 හි වෙනස්කම්වත් බලය තව වැඩි කිරීමටවත් කරන්න බැහැ.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක (ජාජබ)-

නව ව්‍යවස්ථාවකට කෙටුම්පත් හැදුවත් ඒ ගැන කතාවක්වත් නැහැ. අපේ රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍යයි. එවැනි පියවරක් මේ ආණ්ඩුවලින් බලාපොරොත්තු වෙන්න බැහැ. 17 සිට 22 දක්වා හැම එකකටම අත උස්සන අය ඉන්නේ.

19 ගැන සංවාද වන්නේ. විසුරුවාහැරීමේ කාලය වසර දෙකහමාර වෙනස් වන්නේ නැහැ. නමුත් හතරාමාර දක්වා වැඩි කරන්නේ නම් සහාය දෙන බවට කතා යනවා. පැන්ෂන් එක ගන්නයි අවශ්‍ය වී ඇත්තේ. ඒ වගේම ව්‍යවස්ථාදායක මණ්ඩලය පත් කිරීම ගැන කතා කළ යුතු වුවත් ද්විත්ව පුරවැසි භාවය ගැන කතා කරනවා. දෙපැත්තෙ කකුල තියන් ඉන්න ඕනෑ නෑ. වංචා දූෂණ කරලා රටින් යන්න අවශ්‍ය වෙලා. පැන්ෂන් එකයි පුරවැසිභාවයයි ගැන විතරයි අද කතා කරන්නේ.

අද ජනවරමට පටහැනි පුද්ගලයකුයි ජනපති වී ඉන්නේ. ගෝඨාභයගෙත් දැඩි විවේචනය වූයේ රනිල් වික්‍රමසිංහගේ බැඳුම්කරයයි. එහෙම තිබියදී කොහොමද ඔහු ජනවරමට අනුකූල වන්නේ. ඔහු අනුප්‍රාප්තිකයා වෙලා.

පක්‍ෂවලින් පනින එක නැවැත්විය යුතුයි. විකෘති දේශපාලනයක් රටේ පවතින්නේ. ජනතාව දැඩි කලකිරීමට පත්ව සිටින්නේ. ඒ නිසා පක්‍ෂ මාරුවට තිත තැබීමට අපි යෝජනා ඉදිරිපත් කළා. ඒ සංශෝනවලට එදා අධිකරණ ඇමැති කැමති වුණා.

19 සංශෝධනයේ ඇමැති ධුර වැඩිකර ගැනීමට නීතියේ හිඩසක් තියෙනවා. ඇමැති ධුර 25යි, නියෝජ්‍ය ඇමැතිවරු 25 යි කියලා අපේ යෝජනාවක් තිබුණා. නමුත් එවැනි සාධනීය යෝජනා පිළිගැනීමක් සිදුවී නැහැ. එවැනි දෙයක් මේ ආණ්ඩුවලින් බලාපොරොත්තු වෙන්නත් බැහැ.

පත්කළ මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් (සජබ)-

අපේ පක්‍ෂය සංශෝධනයට පක්‍ෂ වුවත් මෙය ජනතා අභිලාෂයන් ඉටුවන බවට ඉන් කියැවෙන්නේ නැහැ. අපේ ව්‍යවස්ථාවට විටින් විට පැලැස්තර දැමීම නිසා හෑල්ලුවට ලක්වෙලා. රටක ව්‍යවස්ථාවක් මේ වගේ තත්ත්වයකට පත්විය යුතු නැහැ.

අපේ පාර්ලිමේන්තුව ගැන ජනතාවගේ විශ්වාසය බිඳවැටීම පුදුමයක් නොවෙයි. ජනතාවගේ අභිලාෂයන්ට අනුව කටයුතු කළ යුතු වුවත් අද එසේ වන්නේ නෑ. සාමූහික පදනම මත නොවෙයි මෙවැනි යෝජනා එන්නේ. පක්‍ෂවල පුද්ගලික අවශ්‍යතා මතයි. 19 ට පක්‍ෂව කතා කළ අය වෙනස් වී 20 ට වෙනස් විදියට කතා කරනවා. දැන් 22 ට ඊට වඩා වෙනස්ව කතා කරනවා. අද තත්ත්වය ඉතා නරකයි. සංශෝධන පරස්පර වුවත් හැම එකකටම අත ඉස්සුවා. ඇයි මෙහෙම වන්නේ.

පක්‍ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍යයි. මේ ගැන සාකච්ඡා කරන්න දැන් කාලය උදාවෙලා. එසේ නොවුණොත් ප්‍රභූ පවුල් කිහිපයක ග්‍රහණයට පක්‍ෂ ලක්වීම තවදුරටත් පවතීවි.

පත්කළ මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර (සජබ)-

1997 සිට ජනතාව ඡන්දය දුන්නේ විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්න. එසේ වූයේ නෑ. 17 වන සංශෝධනය ආවෙත් විධායක බලය අඩුකරන්න. ඒත් ඒ තත්ත්වය 18 හා 20 න් නැති වුණා. වැඩි බලයක් ඇති කරගත්ත ජනපති පස්සේ රටින් පැනලා ගියා.

අද ඉදිරිපත් වී තිබෙන්නේ 22 දියාරු වූ සංශෝධනයක්. අපි ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් පත්කිරීම ගැන ඉදිරිපත් කළ සංශෝධන ආණ්ඩුව පිළිගෙන තිබෙනවා.

පළාත් පාලන මැතිවරණ අත්හිටුවන්න ආණ්ඩුව උත්සාහ කරනවා. එවැනි ව්‍යවස්ථා විරෝධී වැඩකරන්න එපා කියලා ජනපතිට කියනවා. ඡන්දය කල්දාන්න විවිධ උප්පරවැට්ටි ගේනවා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සරත් වීරසේකර (ශ්‍රීලපොපෙ)

ජනතාව ඉල්ලුවේ නව ව්‍යවස්ථාවක් මිස ව්‍යවස්ථා සංශෝධනයක් නොවෙයි. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා ප්‍රවීණ නීති මඬුල්ලක් දාලා වසර දෙකක් නව ව්‍යවස්ථා කෙටුම්පතක් හැදුවා. ඒ නිසා අපි ඒ ගැන අවධානය යොමු කළ යුතුයි.

19 වැනි සංශෝධනයට මම ඡන්දය දුන්නේ නැහැ. 13 සංශෝධනය තියෙනකන් විධායක බලය නැති කළ යුතු නැහැ. 13 සංශෝධනය අපට බලෙන් පටවපු එකක්. ඇඳිරිනීතිය දාලා සම්මත කළේ. එහි සුජාතභාවය ගැන ප්‍රශ්නයක් තියෙනවා.

ඒකීය රටක් හා එක්සත් රටක් යන වචන දෙකේ තේරුම අද අය දන්නේ නැහැ. විශාල රටවල් තමයි එක්සත් හෝ ෆෙඩරල් කරන්නේ. අපේ පුංචි රට එක්සත් කරන්නේ බෙදන්න පමණයි. ඉඩම් හා පොලිස් බලතල පළාත් සභාවල පැවතීම ඉතා භයානකයි. බෙදුම්වාදීන්ට අවශ්‍ය දුර්වල මධ්‍යම රජයක්. ඒ නිසයි 13, 16, 19 ගෙනාවේ. ඒ නිසයි මම එයට ඡන්දය නොදුන්නේ.

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම (ශ්‍රීලපොපෙ)

අද ශෝක ප්‍රකාශ කරන යෝජනා දිනයක් වගෙයි. සමහරුන්ට එහෙම වෙන්න ඇති. නමුත් අපි 22 සංශෝධනය ගැන විවාද කරනවා. මෙය මහා හැරවුම් ලක්‍ෂයක් නොවෙයි. එහෙත් පාර්ලිමේන්තුවෙන් පිටත සිය බලය යම් ප්‍රමාණයක් යළි ලබාගන්න මේ තුළින් හැකිවෙනවා. අවුරුදු 44 ක් ඇතුළත ව්‍යවස්ථා සංශෝධන 22 ක් ඉදිරිපත් වී තියෙනවා. මේ ගැන කතා කළ යුතුමයි. මේ අපේ රටේ තුන්වන ව්‍යවස්ථාවයි. අපේ රටේ ව්‍යවස්ථා සංශෝධන ආවේ පක්‍ෂය හෝ පෞද්ගලිකත්වය මුල්කර ගෙනයි. ඡන්ද ක්‍රම හැදුනෙත් එහෙමයි.

1994 සිට හැම ජනාධිපතිවරණයකදීම පොරොන්දුවක් දුන්නා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා. ඒ හැම නායකයාම ජනාධිපති වුණා. පොරොන්දු කැඩුවා. පෞද්ගලික න්‍යාය පත්‍ර අනුව මේ අවස්ථාව පාවිච්චි කරන්න එපා.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න (සජබ) –

මේ ව්‍යවස්ථාවෙන් ජනාධිපති ක්‍රමය වගේම මැතිවරණ ක්‍රමයත් වෙනස් විය යුතුයි. 19 සංශෝධනයේදී අපි මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට යෝජනා ගෙනාවත් එය සිදුවූයේ නෑ. ව්‍යවස්ථාව සංශෝධනය කර කර අපි එක තැන කැරකෙනවා ලෝකය ඉදිරියට යනවා. අපි කොහෙද ඉන්නේ කියලා හිතන්න. අරගල සමයේදී නීතිඥ සංගමයත් ඉල්ලුවේ 19 යළි ගෙන ඒමත් ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමත්. 18 හා 20 සංශෝධන දෝෂ දර්ශනයට ලක් වුණා. ඒවා සාපේක්‍ෂිතයි.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න (ශ්‍රීලපොපෙ) –

ව්‍යවස්ථාවට පැලැස්තර දැමීමෙන් රටේ අර්බුදයට විසඳුම් ගේන්න බෑ. ඒ සඳහා නව ව්‍යවස්ථාවක් ගෙන ආ යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න ඉදිරි පියවර තැබිය යුතුයි. මේ මැතිවරණ ක්‍රමය නිසා ජනතාවට හරි සේවාවක් කරන්න අපට කාලය ලැබෙන්නේ නැහැ. දිස්ත්‍රික්කයක් පුරාම යන්න අවශ්‍යයි. ඊට අවශ්‍ය ප්‍රතිපාදනවත් නැහැ.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම

මහජනතාව තවත් ව්‍යවස්ථා සංශෝධනයක් බලාපොරොත්තු වුණේ නැහැ. ඔවුන් හිතුවේ අලුත් ව්‍යවස්ථාවක් එයි කියලා.

විධායක ජනාධිපතිට ඕන විදිහට තමයි සංශෝධනය එන්නේ. අලුත් ව්‍යවස්ථාවක් හදන්න මීට පෙර යම් යම් මැති ඇමැතිවරු උත්සාහ කළත් ඉටුවුණේ නැහැ.

19 සංශෝධනයේදී ලොකු වෙනසක් වෙයි කියලා ජනතාව හිතුවා. අපිත් කැමැත්තෙන් ඡන්දය දුන්නා. ඒ දුන්නා කියලා කිසිම වෙනසක් ඇති වුණේ නැහැ. 20 ට මම ඡන්දය දුන්නේ නැහැ. ද්විත්ව පුරවැසිභාවය ඇතුළු ප්‍රශ්න තිබූ නිසා 22 ට ඡන්දය දෙන්නේ ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරන නිසයි. මෙහෙ වැරදි කරලා රට පනින්න පුළුවන්. ඊට අපි විරුද්ධයි.

මට එදා ගහපු එක ත්‍රස්තවාදී ක්‍රියාවක්. තවම ත්‍රස්තවාදය තියෙනවා. ඇයි එහෙනම් ත්‍රස්තවාදී පනත ඉවත් කරන්නේ. යම් යම් අඩුපාඩු තියෙනවා. ඒත් ඉවත්කර ගතයුතු නැහැ. තවම ත්‍රස්තවාදය තිබෙනවා.

රටට බොරු කියන්න එපා කියලා නායකයන්ගෙන් ඉල්ලනවා. හොරාකාපු සල්ලි ආපහු ගන්නවා කියලා කෑ ගැහුවා. කවදාවත් බැහැ. ඕනෙ නම් සියයට දහයක් විතර ගන්න පුළුවන්. එහෙම නැතුව ඔක්කොම ගන්න බැහැ. බොරු කතා කිවයුතු නැහැ.

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා (සජබ)

අද වනවිට මේ රට බංකොලොත් රටක් වෙලා. මන්ත්‍රීවරුන්ගේ 75 කට වඩා නිවාස ගිනිබත් වෙලා. ජනාධිපති රටහැර ගියා. ඒ අරගලයේ ප්‍රතිඵලයක් ලෙසයි. පාර්ලිමේන්තුවේ ඩීල් සංස්කෘතිය, ඇමැති තන්හාව, මුදල් තන්හාව නිසා ව්‍යවස්ථා සංශෝධනය හරියට ආවේ නෑ. අද රජය බෙදිලා ඉන්නේ. අද පුටු හිස්වෙලා. එදා පොලිස් කොමිෂන්, රාජ්‍ය සේවා කොමිෂන් තිබ්බත් හරියට එහි කටයුතු ක්‍රියාත්මක වුණාද කියලා ප්‍රශ්නයක් තිබුණා. අද ජනතාවට අසීමිත ලෙස බදු ගහලා. ඩොලර් ගේන අපනයන කර්මාන්තවලට වැට් බදු ගහලා. පොලී අනුපාත වැඩි කරලා.

රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ –

ද්විත්ව පුරවැසියා කියන කතාව මහත් ආන්දෝලනයක් වෙලා. මම තීරණය කළා මගේ ද්විත්ව පුරවැසිභාවය ඉවත්කර ගන්න. මම ඉල්ලගෙන වුවමනාවෙන් කළේ. 22ත් මෙය ඉවත් කරන වගන්තිය තියෙන නිසාම ඊට අත උස්සන්න තීරණය කර අවසන්. 20 සංශෝධනය කරපු දවසේ මම අත ඉස්සුවේ නෑ. එදා පාර්ලිමේන්තුවට ඇවිත් ලයිබි්‍රයේ හැංඟුනා. මාව මහින්දානන්ද ඇමැති ඇතුළු පිරිස හෙව්වා. මම ආවෙම නෑ. ඡන්දය දුන්නේ නෑ. එත් මගෙන් පලිගත්තා. මට රාජ්‍ය ඇමැතිකම දුන්නේ නැහැ. කමක් නැහැ. මම කිසිවෙකුට බය නොවී නිවැරදි තීරණ ගත්තා. රටට ආදරේ නම් ජනතාවට ආදරේ නම් එහෙ මෙහෙ පුරවැසිභාවය තියාගෙන වැඩ කරන්න ඕන නෑ.

මම මගේ මිනිහා, දරුවා දේපළ අතහැරලා ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවට ආවා. මට පුළුවන් වුණා මේ වගේ තීරණයක් ගන්න. මේ පාර හැංගෙන්නේ නෑ. අත උස්සනවා.

මම කේජු කෑල්ලක් වෙන්න සූදානම් නෑ. ව්‍යවස්ථා ෂෝට් කට් ගන්නේ නැතිව ද්විත්ව පුරවැසිභාවය නැතිව එන්න.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රිනි තලතා අතුකෝරල – ජනාධිපති ධුරය අහෝසි කරනවා කියපු කවුරුවත් අහෝසි කළේ නෑ. දැන් ජනාධිපතිට අවස්ථාව ලැබී තිබෙනවා ඔහු අහෝසි කරන බව අවස්ථා කිහිපයකදීම කිව්වා දැන් කරලා පෙන්වන්න. මේ කලාපයේ කිසිම රටක මෙවැනි සංශෝධන කර නෑ. පවුල්වල අවශ්‍යතාවලට සංශෝධන කළේ.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක (සජබ) – අද දුප්පත්කම දෙගුණයකින් වැඩිවෙලා. පෝෂ්‍යදායී ආහාර ලැබෙන්නේ ජනතාවගෙන් සියයට 20කටයි. අද ජනතාව අන්ත අසරණ වෙලා. සමාජ පීඩනය පුපුරා

ගියොත් මූල්‍ය ස්ථාවරත්වය හෝ සමාජ ස්ථාවරත්වය ඇති වන්නේ නෑ. එහෙම වුණොත් දැවැන්ත ප්‍රහාරයක් එල්ල විය හැකියි. ජනපතිවරයෙක්ව පළවා හැරීමට ඒ බලයට හැකි වුණා. අපි වගකීමෙන් ක්‍රියාකළ යුතුයි. මොන අඩුපාඩු තිබුණත් මේ සංශෝධනය සම්මත කරගත යුතුයි.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්‍ෂ (ශ්‍රීලංපොපෙ) –

මොන විවේචන තිබ්බත් ගෝඨාභය ජනපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික කරුණු ආරක්‍ෂා කරගන්න හැකි වුණා. එහෙම කරපු ජනපතිවරයාට ධුරය දාලා යන්න සිදු වුණා. ඕනවට වඩා කරන්න ගියාම මෙහෙම වෙනවා.

පාර්ලිමේන්තුව නැවත ලබන මස (නොවැම්බර්) 08 දා පෙරවරු 9.30ට යළි රැස්වේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment