අද සහනයක් නොලැබුණොත් රාජ්‍ය සේවය අඩපණයි

624

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයට අයත් දිසාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු වෘත්තීන් 18ක පමණ රාජ්‍ය නිලධාරීන් සඳහා ඉල්ලා ඇති විධායක දීමනාවට අද (24දා) කැබිනට් මණ්ඩලයෙන් සහනයක් නොලැබුණහොත් හෙට සහ අනිද්දා (25දා සහ 26දා) අසනීප නිවාඩු වාර්තා කර දෙදින සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ඊයේ (23දා) තීරණය කළේය.

ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන් රුපියල් 72,000ක් වැනි ප්‍රාථමික මට්ටමේ වැටුපක් ලබන විට මහ බැංකුවේ කාර්යාල කාර්යසහායකයකු රුපියල් 1,88,817ක් වැනි වැටුපක් ලබාගන්නා තත්ත්වයට පත්ව ඇති බවත්, එවැනි තත්ත්වයක් නිසා පරිපාලන සේවයට නිලධාරීන් බැඳීමේ හිඟයක් ඇතිවෙමින් පවතින බවත් එම සංගමයේ සභාපති මහේෂ් ගම්මන්පිල මහතා ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.

රාජ්‍ය සේවයේ කාර්යාල කාර්යසහායකයකු රුපියල් 44,550ක්, සහකාර ප්‍රාදේශීය ලේකම්වරයකු රුපියල් 62,790ක් වැනි වැටුප් ලබන විට මහ බැංකුවේ මාණ්ඩලික ෂ ශ්‍රේණියේ නිලධාරියකු රුපියල් 5,26,648ක්, නියෝජ්‍ය අධිපතිවරයකු ලක්ෂ 17ක් වැනි වැටුපක් ලබන බවත් කැබිනට් ලේකම්වරයෙක්ගේ පවා වැටුප රුපියල් 1,91,450ක් බවත් හෙතෙම කීය.

ශ්‍රී ලංකා පරිපාලන සේවය අමාත්‍යාංශ ලේකම්, දිසාපති, ප්‍රාදේශීය ලේකම්, සහකාර ප්‍රාදේශීය ලේකම්, රාජ්‍ය ආයතන ප්‍රධානීන්, නාගරික කොමසාරිස්වරුන් ඇතුළු 2500ක පමණ පිරිසක් නියෝජනය කරන අතර, වෘත්තීය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වුවහොත් සියලුම රාජ්‍ය ආයතනවල කාර්යන් අඩපණවන බවද ඒ මහතා කීය.

තම ඉල්ලීම්වලට විසඳුමක් ඉල්ලා පසුගිය පෙබරවාරි මාසයේදී ලිපියක් භාරදුන් බවත්, ඊට අදාළව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන ලද බවත් ගම්මන්පිල මහතා කීය. එම කමිටු වාර්තාව පසුගිය 19වැනිදා භාරදී තිබෙන බවත් එය අද අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත වුවත් ඉදිරිපත් නොවන තත්ත්වයක් පවතින බව දැනගන්නට තිබෙන බවත් ඒ මහතා පැවැසීය.

පරිපාලන සේවා සංගමයේ ඉල්ලීම් ලබාදුනහොත් අනෙකුත් සේවාවන්ට අසාධාරණයක් සිදුවන බව පවසමින් තම ඉල්ලීම් ඉවත දැමීමට උත්සාහ කරන අතර එසේ සිදුකළහොත් නියම කරගත් පරිදි වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවද ඔහු කීය. වෛiවරුන්ට, මහ බැංකු සේවකයන්ට වැටුප් වැඩි කිරීම මගින් අනෙකුත් සේවාවන්ට අසාධාරණයක් වුවත් ඒ ගැන සලකා බැලුවා දැයි තම සංගමය ප්‍රශ්න කරන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

චමින්ද සිල්වා

අපිත් සටනට එනවා – ගණකාධිකාරිවරු කියති

අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණවීමට රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව වසින් ගෙන ඇති තීරණය අනුව එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සමග එක්වීමට වෘත්තීයවේදීන් වන ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවය ද තීරණය කර ඇති බව නිවේදනය කර තිබේ.

කෙසේ වෙතත් මහජනතාවට සහ රජයේ සෙසු නිලධරයන්ට සිදුවන බලපෑම අවම වන පරිදි සහ ජුනි මස වැටුප නියමිත පරිදි ගෙවීමට බාධාවක් නොවන අයුරින්, මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන අතර විධායක නිලධාරීන් හට බලපා ඇති වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් විසඳුම් ලබාදීමට රජය විසින් ක්‍රියා නොකරන්නේ නම්, රාජ්‍ය මූල්‍ය කළමනාකරණයෙහි ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටුකරන ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවයේ නිලධාරීන් රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීම්, සෞඛ්‍ය – අධ්‍යාපනය ඇතුළු රජයේ සියලුම ප්‍රමුඛ කාර්යයන්ගෙන් ඉවත්වීමට ක්‍රියා කරන බවද එහි ලේකම් බී.එම්.එන්.එස්.කේ. බන්නැහැක හා සභාපති සී.යූ. විජේසිංහ සඳහන් කර සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment