අධ්‍යාපන සිස්ටම් චේන්ජ් කරමුද

281

අද අප රටේ අධ්‍යාපන ක්‍රමය ඉතා තරගකාරී මුහුණුවරක් ගනී. දරුවකු ඉපදෙන්නටත් පෙරාතුව අයැදුම් කරන පාසල තීරණය කරන සමාජයක් තුළ දරුවාට දිය යුතු අධ්‍යාපනය කෙබඳු දැයි සොයා නොලැබීම කනගාටුවට කරුණකි.

මනුෂ්‍යාගේ කුළුඳුල් දස වසර හිමි වනුයේ මානව සම්බන්ධතා, යහපත් ආකල්ප, ගුණධර්ම, සෞන්දර්යාත්මක ගනුදෙනු, නිර්මාණත්මක කුසලතා වර්ධනය කර ගැනීමටය. නමුත් අවාසනාවන්ත ලෙස ඒ සියලු අධ්‍යාත්මික පෝෂණ සාධක මගහැරමින් තරගකාරී අධ්‍යාපනයක ළමයා දිවවීම අකටයුත්තක් නොවේද?

6 වසරෙන් ඉහළ සිට සාමාන්‍ය පෙළ දක්වා සිසුන්ගේ යෝධ පොත් මල්ල තුළ 100% ක් ප්‍රායෝගික ජීවිතයේදී අවශ්‍ය වන කරුණු කාරණා අන්තර්ගතද? අධික බරින් යුතු පාසල් බෑගය මේ වන විට දරුවන්ගේ සෞඛ්‍යයට බලවත් තර්ජනයක් වී හමාරය. පාසල් බෑගයක තිබිය යුතු බර පිළිබඳ අන්තර්ජාතික ප්‍රමිතියක් ඇත්තේය. ඒ ප්‍රමිතියට අනුව බෑගයෙහි මුළු බර දරුවාගේ සිරුරු බරින් 10% කටත් වඩා අඩු වන්නේ නම් වඩා හොඳ බව තීරණය කර ඇත. ඒ අනුව දරුවන් උසුලන් යන යෝධ පොත් මල්ල දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර බව පැහැදිලි කරමින් වෛද්‍ය සංගමයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා ද තොරතුරු සපයා ඇත. නමුත් මේ පොත් බෑග් බර කන්ද දරුවාගේ කරපිටින් අයින් කරන්නේ කෙසේද කියා බලධාරීන් තවමත් සිතා නැත.

1 ශ්‍රේණියේ සිට සාමාන්‍ය පෙළ පන්ති දක්වා අවම වසර 10 ක් 11 ක් අප ඉගෙන ගන්නා ලද විෂය ධාරාවන්ගෙන් අප ප්‍රායෝගික ජීවිතයේ ප්‍රයෝජනයට ගන්නේ කිනම් කොටසද? එම ප්‍රශ්නය අප අපෙන්ම අසා දැනගත යුතුය. එමෙන්ම පාසලෙන් පිට අප වෘත්තීය වශයෙන් යම් ක්ෂේත්‍රයකට එළඹුණු පසුව අප උගත් කිනම් විෂය ධාරාවක් ඔස්සේ අප වෘත්තීය තෝරාගෙන ඇතිද? කවදා කොතැන අපට වැරදුණාද? අප සිතා බැලිය යුතුය. අඩුම තරමින් අප ශ්‍රී ලංකාවේ සිවිල් නීතියවත් එම විෂය පද්ධතිය තුළ අන්තර්ගත වූයේ නම් එක් පැත්තකින් නීතිය කඩකිරීම්වත් ප්‍රතිශතයක් ලෙස අඩු වීමේ හැකියාවක් ඇත. ඒත් එවැනි විෂයන් පාසල් පොතට නැත.

ළමා හා කාන්තා අයිතිවාසිකම් ගැන, මාර්ග නීති රෙගුලාසි, මත්ද්‍රව්‍ය හා විනය විරෝධී නීති පිළිබඳව සැකෙවින් හෝ හැදෑරීමක් පාසල් අධ්‍යාපනයට සුදුසු මුත් අදටත් එවැනි දේ ගැන බලධාරීන්ගේ අවධානය යොමුවී නැත.

ළමා හා කාන්තා අයිතිවාසිකම් යටතේ විධිමත් විෂය ක්ෂේත්‍රයක් ද ලුහුඬින් හෝ පාසල් පද්ධතියක් තුළ ඉගැන්විය යුතුය.

මන්දයත් එක් පැත්තකින් කාන්තාවකගේ වටිනාකම, ඔවුන්ට හිමි තැන ඔවුන් නොදන්නා බැවින් යම් අපයෝජනයකට හෝ යම් හිංසනයකට ලක් වුවහොත් දැන්විය යුතු පුද්ගලයන්, ගතයුතු ක්‍රියාමාර්ග, ඔවුන් දැන ගැනීම වැදගත්ය. එමෙන්ම අප අධ්‍යාපන රටාව පොතේ පතේ දැනුමට පමණක් සීමා නොකොට ප්‍රායෝගික තලයකට ගෙන ආ යුතුය.

ගොඩබිමේ සිට පිහිනන්නට කියා දුන්නද එය සාර්ථක නැත. එය ඉගෙන ගැනීමට වතුරට බැස යුතුමය. කුඹුරක් කෙටීම, අස්වනු නෙලීම පිළිබඳ කෙතරම් පොත් පිරවූවද එය අසාර්ථක වගාවකි. පරිසරය පිළිබඳ, ගහකොළ පිළිබඳ බිත්ති හතරක් තුළ කොටු වී ඉගෙනීම හාස්‍යයට කරුණකි.

13 වසරක පාසල් අධ්‍යාපනයෙහි ඉංග්‍රීසි භාෂාව ඉගැන්වෙන නමුත් පාසලෙන් එළියට එනවිට බොහෝ පිරිසකට ඉංග්‍රීසි භාෂාව හැසිරවීමට නොහැකිය. පාසලේ ඉංග්‍රීසි දෙවන භාෂාව ලෙස ඉගැන්වුවද, ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් ඉංග්‍රීසි සාක්ෂරතාවය ඇත්තේ 22% ක් පමණි. EF ඉංග්‍රීසි ප්‍රවීණතා දර්ශකයේ, ශ්‍රී ලංකාව රටවල් 80කින් 61 වන ස්ථානයේ පසුවන්නේ ලකුණු 47.84 ක් පමණි. ඉතින් වැරදුණේ කොතැනද? වහාම දැන්වත් මේ අධ්‍යාපන ක්‍රමය නිවැරදි කළ යුතුව ඇත.

දසුනි මන්දිරා
(නැගෙනහිර විශ්වවිද්‍යාලය ත්‍රිකුණාමල මණ්ඩපය)
සංස්කරණය – වසන්ත ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment