අධ්‍යාපනය අදට ගැලපෙන්නේද…?

820


ඕනෑම රටක සංවර්ධනයට අධ්‍යාපනය ඉමහත් බලපෑමක් කරන බව අද මනාව පසක් වී ඇති කරුණකි. එක් අතකට අධ්‍යාපනය යන්න ශිෂ්ට සම්පන්න සමාජයක් බිහි කිරීම උදෙසා තුඩු දෙන්නකි. අධ්‍යාපනය වෙනුවෙන් කෙරෙන මහා පරිමාණ ආයෝජනයේ අපේක්ෂාව වන්නේ ජාතික සංවර්ධනයයි. ඕනෑම ආර්ථිකයක, ජාතිකයක අනාගත යහපැවැත්ම අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ සිදුවන ගුණාත්මක වර්ධනය මත රඳා පවතී. උගතමනා ශිල්පයමයි මතු රැුකෙනා යන කියමන මගින් ද පසක් වන්නේ ඵලදායි අනාගතයක් සඳහා විසඳුම අධ්‍යාපනය යන්න බවය. එහෙත් අද වන විට අධ්‍යාපනය ලබන පිරිසේ ගුණාත්මක බවට වඩා සංඛ්‍යාත්මක අගය ඉහළ යෑම නිසා සමාජ ආර්ථික ප‍්‍රශ්න බොහොමයක් මතුව ඇත. මෙම අධ්‍යාපන ගැටලූ විසඳීම අද රජයකට මහත් අභියෝගයක් ව ඇත. එම නිසා අධ්‍යාපනය සංවර්ධනය කිරීමට කළමනාකරණය යන විෂය පථය බෙහෙවින්ම වැදගත්ය.

 කළමනාකරණය නමින් අප හඳුන්වන ක‍්‍රියාවලිය ආරම්භ වූයේ මානව ශිෂ්ටාචාරයේ සමාරම්භයත් සමග බව ඊජිප්තුවෙ පිරමිඩ, චීන ශිෂ්ටාචාරයන්හි මිනිසා විසින් කරනු ලැබූ මහා පරිමාණ නිර්මාණයන් දෙස බැලූ විට ගම්‍ය වේ. එහෙත් 18 වන සියවසේ බටහිර ලෝකයේ හටගත් කාර්මික විප්ලවයේ ප‍්‍රතිපලයක් ලෙස කළමනාකරණය තමන්ටම ආවේනික වූ විෂය ක්‍ෂේත‍්‍රයක් බවට පරිවර්තනය විය. වර්තමාන මිනිස් සමාජයේ සංවර්ධනයත් සමග කළමනාකරණයත් එහි අවශ්‍යතාවත්, එහි වැදගත්කමත් දිනෙන් දින වර්ධනය වී ඇත. සංවිධානයක අරමුණු හා පරමාර්ථ මුදුන් පමුණුවා ගැනීම සඳහා සංවිධානය සතු මානව හා භෞතික සම්පත් කාර්යක්ෂමව හා සඵලදායීව මෙහෙයවනු ලැබීම කළමනාකරණය යන්නෙහි අර්ථයයි. ඒ අනුව කිසියම් පැහැදිලි දැක්මක්, මෙහෙවරක් මත සංවිධානයක අරමුණු සාක්ෂාත් කර ගනු පිණිස සැලසුම් පිළියෙල කොට ඒවා ක‍්‍රියාත්මක කර ප‍්‍රතිඵල ඇගයීමට හසු කරමින් එහි ක‍්‍රියාකාරිත්වය මෙහෙයවීමේ සංකීර්ණ ක‍්‍රියාවලිය කළමනාකරණයට අයත් වේ.

 මෙහිදී අප වටහා ගත යුතු කරුණක් වන්නේ අවස්ථානුකූලව පරිසරය, තාක්ෂණය වෙනස් වන නිසා අධ්‍යාපනය ද 21 වන සියවසට අනුව යාවත්කාලීන විය යුතු බවය. සමහර අවස්ථාවන්වලදී පාසලක, විශ්වවිද්‍යාලයක උගන්වනු ලබන ආචාර්යවරුන් 20 වන සියවසේ අධ්‍යාපනය ලැබූ අයවළුන් වුවද ඵලදායි පුරවැසියන් දායාද කිරීමට නම් සියලූම අය යාවත්කාලීන විය යුතුව ඇත.

 පාසල සමාජ පද්ධතිය තුළ පවතින එක් උප පද්ධතියක් නිසා සමාජ පද්ධතියේ හටගන්නා වෙනස්කම්වලට සංවේදී වෙමින් පාසල් පද්ධතිය අනුවර්තනය විය යුතුව ඇත. මෙහි දී ගුරුවරුන් පුහුණු කිරීමට සැලසුම් සකස් කරන විට ලෝක දැක්ම දේශීයත්වය යන සාධක සැලකිල්ලට ගත යුතුව ඇත. නව ඉගැන්වීමේ ක‍්‍රම, සිසුන්ට ස්වයං අධ්‍යන ක‍්‍රියාකාරකම් ලබා දිය යුතු ආකාරය සම්බන්ධව දැනුවත් කිරීම් හා මග පෙන්වීම් ගුරු පුහුණුවකදී ලබාදීම අත්‍යවශ්‍ය වේ.

 කුමන රැකියාව කළත් එම රැකියාව හොඳින් අවංකව කිරීමෙන් පමණක් පිළිගැනීම ලැබෙන බව ශිෂ්‍යයාට තේරුම් කර දීම ගුරුවරයා සතු යුතුකමකි. අධ්‍යාපන තරගයට වඩා කුසලතා දියුණු කර ගැනීමට සිසුවා යොමු කර ගැනීම අගනේය. මෙහිදී සිසුන් ඒකාකාරී වීම (Stereotype) වළක්වා ගැනීමට විවිධ වූ පැවරුම් ලබා දීම ශිෂ්‍යයන්ගේ වටිනාකම ඉහළ යෑමට බලපානු ලැබේ. ජීවිතය සාර්ථක කර ගැනීමට ඇත්තේ එක මාවතක් නොවේ. නිදසුනක් ලෙස භෞතික විද්‍යාවෙන්, ජීව විද්‍යාවෙන් උගන්වනු ලබන දෙයකට වෙළෙඳපළ වටිනාකමක් ලබා ගත හැක්කේ කෙසේද යන්න ඒත්තු ගැන්වෙන පරිදි ඉගැන්විය යුතුව ඇත. එමෙන්ම ව්‍යාපාර සංවිධාන හා බැඳුණු සිද්ධි අධ්‍යානයන් (Case study) විශ්ලේෂණය කිරීමට අවශ්‍ය දැනුම ලබා දිය යුතුව ඇත. මෙවැනි ක‍්‍රියාකාරකම් තුළින් තමා පිවිසෙන රැුකියාව උසස් ලෙස කිරීමට අවශ්‍ය හසල දැනුම, කුසලතා, ආකල්ප සම්බන්ධව ශිෂ්‍යයන්ට සම්බන්ධව සනුබලයක් ලැබෙන අතරම වෙළෙඳපළට අනුව හැඩගැසුණු ශිෂ්‍යයන් බිහි වේ. දැනුම ලබා ගත හැකි ප‍්‍රධාන ආකාරයන් දෙකකි. ඉන් පළමුවැන්න නම් ප‍්‍රකාශ කිරීමට (Explicit Knowledge) පහසු දැනුමයි. එය අප සැමට පොතපතින් ලබා ගත හැකිය. එහෙත් මෙම දැනුම ඉදිරියට යෑමට ප‍්‍රමාණවත් නොවේ. දෙවැන්න නම් (Implicit knowledge) ව්‍යංග දැනුමයි. එහිදී පැහැදිලි දැනුම ලබාගෙන එය විශේෂිත අවස්ථාවකට යෙදීමෙන් එය ලබා ගනී. මෙය ප‍්‍රයෝගික ක‍්‍රියාකාරකම් තුළින් ලබා ගත හැකි වේ. ඉහත සඳහන් කළ අයුරින් සිසු දරුවන්ට ගෝලීය ප‍්‍රශ්න හඳුන්වා දී ඒ පිළිබඳව පිළිතුරු සෙවීමට සැලැස්වීම මගින් තම හැකියාවන් හැඳිනගැනීමටත් ඒවා ඔස්සේ තවදුරටත් ගමන් කිරීමටත් අවස්ථාව උදා වේ. කෘතී‍්‍රම බුද්ධිය (Artificial Intelligence), වස්තූන් පරිගණක මඟින් ජනනය කර සංජානන තොරතුරු මඟින් වැඩි දියුණු කිරීම (Augmented Reality), රොබෝ තාක්ෂණය වැනි විෂය ක්‍ෂේත‍්‍රයන් ඉදිරියේදී බහුල දක්නට ලැබීම බලාපොරොත්තු විය හැකි නිසා වර්තමානයේ සිටම දරුවන් නිර්මාණශීලි සිතීමේ කලාවකට නැඹුරු කිරීම අධ්‍යාපනය විසින් සිදු කළ යුත්තකි. ඇත්ත වශයෙන්ම පාසල්වල පවතින ලිවීම මත පදනම්ව ලබා දෙන අධ්‍යාපනයට පරිබාහිරව ගොස් ශ‍්‍රම බලකායට වැඩි වටිනාකමක් ලබා දිය හැකි දරුවන් අධ්‍යාපන ක‍්‍රමයෙන් දායාද කිරීම කාලෝචිතය. අධ්‍යාපන ක‍්‍රමයේ ප‍්‍රතිසංස්කරණ සිදු කරන විට මේවා සැලකිල්ලට ගෙන විෂය නිර්දේශ සැකසීම (Curriculum Updation) අධ්‍යාපනය ජාතික සංවර්ධනය සඳහා යන්න යථාර්ථයක් බවට පත් කිරීමට උපකාරී වේ.

 සම්පත්වල පවතින සීමිතකම අද ඕනෑම ආර්ථිකයකටම පවතින පොදු ගැටලූවකි. එවන් පසුබිමක් තුළ රජයකට සෑම උපාධිධාරියෙක් උදෙසාම රැුකියාවක් ලබාදීම අපහසු කාර්යයකි. නිදසුනක් ලෙස වසරකට විශ්වවිiාලයකින් උපාධිධාරින් පන්දහසක් පිට වුවොත් එයින් බහුතරයක්ම රැුකියාවක් බලාපොරොත්තු වේ. එම නිසා ශිෂ්‍යයෙකුට නව්‍යතාවයෙන් සිතීමට අදාළව කිසියම් ව්‍යාපෘතියක් ඉදිරිපත් කිරීමට අවස්ථාවන් ලබාදිය යුතුව ඇත. එවිට සිසු දරුවන් යම්කිසි දෙයක් ව්‍යාවසායක මනසකින් (ෑබඑරුචරුබැමරියසච ඵසබා) බැලීමට පෙළඹේ. අනික් අතට මෙවැනි දෑ පාසල් පද්ධතියකට ද හඳුන්වා දුනහොත් කුඩා කාලයේ පටන්ම දරුවන් අධ්‍යාපනයට සමගාමීව ප‍්‍රායෝගිකත්වය ද ලබා ගනී. තවද යැපුම් මානසිකත්වය ද දුරු වීමට එය බලපානු ලැබේ. ප‍්‍රායෝගික දැනුම අත්කර දීම කාලීන අවශ්‍යතාවක් වන්නේ අද වන විට ශ‍්‍රම වෙළෙඳපොළ පුහුණුව සඳහා රැුකියා ලබාදීමට වෙනුවට පුහුණු ශ‍්‍රමිකයන් අපේක්ෂා කරන බැවිනි.

 රැුකියා වෙළඳපොළ අරමුණු කරගෙන නිර්මාණය කරන පාඨමාලාවලදී ළමුන්ට අනවශ්‍ය ආකාරයේ බොහෝ පැවරුම් ලබාදීම නොකළ යුතුව ඇත. එවිට සිසු දරුවා අනවශ්‍ය පීඩනයකට හසු වේ. ජීවන කුසලතා පිබිදීමට නම් දරුවන් නිරෝගී විය යුතුව ඇත. මෙවැනි ආකාරයේ මානව සම්පත මගින් උපරිම ඵලදායීතාවය ලබා ගැනීමට වැඩ පිළිවෙළවල් තිබීම අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ කාර්යන්වලදී සැලකිල්ලට ගත යුතුව ඇත.

 2019, 2018 වැනි වර්ෂවල ශ‍්‍රී ලංකාවේ විදෙස් විනිමය උපයන ප‍්‍රධානතම මාර්ගය බවට පත්ව ඇත්තේ විදේශ රටවල සේවය කරන අපේ ශ‍්‍රමිකයන් මාර්ගයෙන් රටට ලැබෙන මුදල් ප‍්‍රමාණයයි. එයින් වැඩි වශයෙන් දායකත්වයක් ලබා දෙන්නේ මැද පෙරදිග සේවය කරන අයවළුන් නිසා ඔවුන්ගේ භාෂා කුසලතාවය වැඩි කිරීමට අධ්‍යාපනය කළමනාකරණය කිරීමේදී අවධානය යොමු කළ යුතුව ඇත. විවිධ වූ විදෙස් භාෂා සම්බන්ධව ඔවුන්ව දැනුමෙන් සන්නද්ධ කළහොත් නුපුහුණු ශ‍්‍රමිකයා පුහුණු ශ‍්‍රමිකයෙක් බවට පත් කළ හැකිය. එවිට මැද පෙරදිග රටවල්වලින් මෙන්ම අනිකුත් රටවල්වලින්ද ශ‍්‍රී ලාංකිකයන්ට වැඩි වශයෙන් ඉල්ලූමක් ලැබේ.

 පවතින ආර්ථික හමුවේ අපට කෘෂිකාර්මික රටක් ලෙස අභියෝග දින ගැනීමට පැතිකඩක් විවර වී ඇත. මෙහිදී සැලකිල්ලට ගත යුතු කරුණක් වන්නේ කෘෂිකර්මය සම්බන්ධව ප‍්‍රාමාණික දැනුමක් ඇති විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා භූමියේ වැඩ කරන ගොවියා, ධීවරයා එක් විය යුතු වැඩපිළිවෙළකි. අධ්‍යාපනය යන්න ආර්ථිකයට වටිනාකමක් එක් කරනු ලබන්නේ එවිටය. විශේෂයෙන්ම කාර්මික විප්ලවයේ හතරවන අදියරට පා තබා ඇති අවදියක නව තාක්ෂණය සම්බන්ධව ගොවියා මෙන්ම ධීවරයා ද දැනුවත් කළ යුතුව ඇත. මහ බැංකුව වාර්තා කර ඇති පරිදි 2014 වසරේ සිට 2019 වසර දක්වා ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබා දී ඇත්තේ ධීවර අංශයෙන්ය (රුපියල් මිලියන 169976- 2019 වසර). විශේෂයෙන්ම පාසල් හැර යන්නන් ධීවර කර්මාන්තයේ යෙදෙන අවකාශයක් තිබෙන නිසා ඔවුන්ට සුදුසු පරිදි අධ්‍යාපන දැනුමක් ලබාදීම කාලෝචිත වේ. එනම් ධීවර කර්මාන්තය ව්‍යාපාරයක් ලෙස වර්ධනය කර ගන්නා ආකාරය, මූල්‍ය සම්පත් කළමනාකරණය, ලාභය ගණනය කිරීම, විදෙස් මුහුදු සීමාවන්වලට අදාළ නීතිමය තත්ත්වය, නව ධීවර ආම්පන්න භාවිතා කරන ආකාරය වැනි දෑ සම්බන්ධව දැනුවත් කිරීම් සුදුසු වේ. මේ ආකාරයට වෘත්තිය අධ්‍යාපනය මනා ලෙස කළමනාකරණය කිරීම තුළින් දක්ෂතා නැත්තවුන් ”ඇත්තවුන්” බවට පත් වන අතර අත්දැකීම් බහුල ශ‍්‍රමිකයන් බිහි කිරීමට මග සලසයි. අවසානයේදී මේ සියලූ දෙනා ආර්ථිකයට වටිනාකම් ලබාදෙන මානව සම්පත ලෙස වර්ධනය වේ.

 ශ‍්‍රී ලංකාවේ පාසල් පද්ධතිය දෙස අවධානය යොමු කරන විට පෙනී යන කරුණක් නම් උපාධිධාරී ගුරුවරුන් බොහොමයක් පෙරට වඩා සිටින බවය. විශේෂයෙන්ම ප‍්‍රමුඛ පෙළේ පාසල් සම්බන්ධයෙන් මෙය වඩාත් සත්‍ය වේ. එහෙයින් සහභාග කළමනාකරණ ශිල්ප ක‍්‍රම භාවිතා කරමින් ගුරුවරුන් වැඩි වශයෙන් කළමනාකරණයට සම්බන්ධ කර ගැනීමෙන් ගුරුවරුන් අභිපේ‍්‍රරණය කළ හැකිය. එසේම අධ්‍යාපන ක‍්‍රමය තුළ ගුරුවරුන්ගේ නව අදහස් ලබා ගැනීම හා ඔවුන් ඒවායේ යෙදවීමට නම් රැුකියා සතුට වැදගත් වේ. අනිත් අතට ළමුන් හාරදහසක් පමණ අධ්‍යාපනය ලබන පාසල්වල සේවය කරන විදුහල්පතිවරුන් විශාල වගකීමක් රැුගෙන ක‍්‍රියා කරයි. ගුරුවරයා, විදුහල්පතිවරයා මුහුණ දෙන ආර්ථික ගැටලූ විවෘත මනසකින් බලා ඔවුන්ට ප‍්‍රමාණවත් වැටුපක් ගෙවීම රජය විසින් අවධානයට යොමු කළ යුතු කරුණකි. තවද ශිෂ්‍ය ප‍්‍රජාවගේ නිර්මාණාත්මක චින්තනය වර්ධනය කිරීමට ගුරුවරයා සතුටින් රාජකාරිවල යෙදවීම අවශ්‍යය.

 අධ්‍යාපනය තුළ පවතින විෂමතාවය අවම කිරීමට වැඩපිළිවෙළක් ද රජය විසින් ක‍්‍රියත්මක කළ යුතුව ඇත. එනම් මහජනතාවගේ පොදු මුදලින් පාසල් ගොඩ නැගුන ද සමානව භෞතික සම්පත් හා ගුරුවරුන් බෙදී යන්නේ නැත.

 කොවිඞ් වසංගතය හමුවේ අධ්‍යාපන අභියෝග ජය ගැනීම උදෙසා කෙසේ හෝ මාර්ගගත ක‍්‍රමවේදයන් ඔස්සේ අධ්‍යාපනය ලබාදීමට අවතීර්ණ වී ඇත. මෙහිදී අප සැලකිල්ලට ගත යුතු කරුණක් වන්නේ ශික්ෂණයයි. එනම් අධ්‍යාපන වගකීම ජනමාධ්‍ය මගින් සිදු කර ගෙන යෑමේදී බාල ගණයේ වැඩසටහන් තුළින් සිසු දරුවන්ගේ ප‍්‍රබුද්ධත්වය හීන වීමට එය බලපාන ලබනු නිසාය. වර්තමාන ශ‍්‍රී ලංකාවේ දල දේශීය නිෂ්පාදිතයෙන් අධ්‍යාපනය සඳහා වෙන් කරනු ලබන්නේ 2% ක් වැනි මුදල් ප‍්‍රමාණයකි. අකාර්යක්ෂම සම්පත් නඩත්තු කිරීම් නවතා, වියදම් කපා හැර අඩුම තරමේ අධ්‍යාපනයට වෙන් කරන මුදල 3% ක් දක්වාවත් ඉහළ නැංවීමට රජය පියවර ගත යුතුය.

කථිකාචාර්ය දසුන් රත්නායක
කළමනාකරණ අධ්‍යයන අංශය
ශ‍්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය
පල්ලෙකැලේ – මහනුවර.

advertistmentadvertistment
advertistmentadvertistment