අධිඋද්ධමනයේ අවදානම…

356

 ● බඩු මිල සහ උද්ධමනය

 උද්ධමනය යනු භාණ්ඩ හා සේවාවල මිල ගණන් අඛණ්ඩව ඉහළ යෑමයි. මෙය ගණනය කරනුයේ මිල දර්ශකවලිනි. අපේ රටේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ ජාතික පාරිභෝගික මිල දර්ශකය යන මිල දර්ශක දෙකෙන් ප්‍රධාන වශයෙන්ම මේ උද්ධමනය මනිනු ලබයි. කොළඹ පාරිභෝගික මිල දර්ශකය තවමත් ගණනය කළත් එය යල්පැනගිය එකකි. මේ වන විට උද්ධමනය මනින නිල මිල දර්ශකය ලෙස සැලකෙන්නේ ජාතික පාරිභෝගික මිල දර්ශකයයි. දිනෙන් දිනම මහජනයා පෙළෙන අංක එකේ මහජන සතුරා උද්ධමනයයි. භාණ්ඩ හා සේවා පරිභෝජනය නොකරන කිසිවෙක් ජනසමාජයේ නැත. එසේ නම් අප සියලු දෙනාටම මේ අංක එකේ මහජන සතුරාට හෙවත් උද්ධමනයට මුහුණ දීමට අනිවාර්යයෙන්ම සිදු වේ. යම් අයෙකුට එහි බලපෑමෙන් මිදීමට නම් ඔහුගේ වැටුප හෝ ආදායම් මට්ටම ඊට වඩා වැඩි මට්ටමකින් වැඩි විය යුතුය. එනම් ඔහුට කලින් මිලදී ගත් භාණ්ඩ හා සේවා ප්‍රමාණයම වැඩිවෙන උද්ධමනය හමුවේ ද මිලදී ගත හැකි විය යුතුය. එහෙත් ජනසමාජයේ බොහෝ දෙනකුගේ ආදායම් මට්ටම් එලෙස වැඩි නොවේ. මේ නිසා ඔවුන්ට සිදුවනුයේ තම වියදම් සහ පරිභෝජන රටාවන් සීමා කර ගැනීමට ය.

අධිඋද්ධමනයේ අවදානම...



 ● උද්ධමනය පාලනය කිරීම

 මේ අප කතා කළේ සාමාන්‍ය උද්ධමන තත්ත්වයක් ගැනයි. එහෙත් දැන් අප රටේ තියෙන්නේ සාමාන්‍ය උද්ධමන තත්ත්වයක් නොවේ. ඉතා වේගයෙන් ඉහළ යන උද්ධමන තත්ත්වයකි. පසුගිය කාලයේ දී උද්ධමනය වේගයෙන් ඉහළ ගොස් මේ වන විට උද්ධමනය සියයට 60 කට ආසන්න මට්ටමක් දක්වා ඉහළ ගොස් ඇත. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගිය මහ බැංකු මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේ ඉදිරි මාස කිහිපයේ දී උද්ධමනය දැනට පවතින සියයට 50 මට්ටමේ සිට සියයට 70 ක් පමණ දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බවයි. මේ උද්ධමනය මාසයෙන් මාසයට ගණනය කරයි. ඒ අනුව සියයට 70 ක උද්ධමනයක් පවතින විට ඔබ මේ මාසයේ රු.100 කට මිල දී ගත් භාණ්ඩයක් මිල දී ගැනීමට ලබන මාසයේ දී රු.170 ක් අවශ්‍ය වේ. මේ නිසා සිදු වනුයේ අපගේ මුදලේ අගය වේගයෙන් පිරිහී යම්කිසි මුදල් ප්‍රමාණයකින් ලබාගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය විශාල ලෙස අඩු වීමයි. කොටින්ම ජනයාගේ ජීවන වියදම වේගයෙන් වැඩි වීමයි. අධිඋද්ධමනයක දී නම් ජනයාට ජීවත් වීමට බැරි තත්ත්වයක් උදා වීමයි. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියන්නේ ද අධිඋද්ධමනයක් ඇති වුවහොත් ජනයාට ජීවත් වීමට සහ ව්‍යාපාර කිරීමට නොහැකි තත්ත්වයක් ඇති වන බවයි. මේ නිසා අධිඋද්ධමන තත්ත්වයකට නොයා මේ උද්ධමනය වැඩි වීමේ තත්ත්වය පාලනය කර ගැනීමට මහ බැංකුව ක්‍රියාමාර්ග ගනිමින් සිටී. මහ බැංකුව පසුගිය කාලයේ සිය ප්‍රතිපත්ති පොලී අනුපාත සැලකිය යුතු ලෙස වැඩි කළේ ද මේ සඳහාය. ඉදිරි උද්ධමන අපේක්ෂා ගැන මහ බැංකුව ඉකුත් ජුලි මස මුදල් ප්‍රතිපත්ති විවරණයෙන් මෙසේ කියයි.

අධිඋද්ධමනයේ අවදානම...

 ‘ගෝලීය බලශක්ති හා ආහාර මිල ගණන් ඉහළ යෑම සහ ඒ හේතුවෙන් දේශීය මිල ගණන් ඉහළ යෑම, දේශීය සැපයුම් අංශයේ අවහිරතා මෙන්ම රුපියල අවප්‍රමාණය වීමේ බලපෑම, බදු ඉහළ දැමීම් සහ මුදල් ලිහිල්කරණයේ පසුකාලීන බලපෑම ප්‍රධාන වශයෙන් හේතුවෙමින් මතුපිට උද්ධමනය පෙර නොවූ විරූ ආකාරයේ ඉහළ මට්ටමක් දක්වා ඉහළ ගියේය. මේ සාධක සහ එහි වක්‍ර බලපෑම හේතුවෙන් මතුපිට උද්ධමනය නුදුරු කාලයේ දී තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. අඛණ්ඩ සහ සුදුසු නිවැරදි කිරීමේ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මෙන්ම මැදිකාලීනව සැපයුම් තත්ත්වය සාමාන්‍යකරණය වීමත් සමග ගෝලීය වෙළෙඳ භාණ්ඩ මිල ගණන්වල අපේක්ෂිත අඩුවීමත් සමග මතුපිට උද්ධමනය පහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර මැදිකාලීනව අපේක්ෂිත පරාසයේ පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇත.’

 මේ නිසා මහ බැංකුව අපේක්ෂා කරන්නේ උද්ධමනය තවදුරටත් වැඩි වීමෙන් පසු ලබන වසරේ (2023) සිට අඩු වීමට පටන් ගනු ඇති බවයි. එහෙත් සාමාන්‍ය මහජනයාට මේ සම්බන්ධයෙන් කිව යුත්තේ උද්ධමනය අඩු වීම යනු බඩු මිල අඩුවීම නොව බඩු මිල ඉහළ යන වේගය අඩු වීම පමණක් බවයි. ඒ නිසා බඩු මිලේ අඩු වීමක් අපේක්ෂා කළ නොහැකි අතර මහ බැංකුවේ අපේක්ෂා එලෙසම ඉටු වන්නේ නම් සිදුවනු ඇත්තේ වේගයෙන් බඩු මිල වැඩිවෙන තත්ත්වය පාලනය වීමයි.

 ● අධිඋද්ධමනය

 අධිඋද්ධමනයක් පවතින විට එම කාලය තුළ භාණ්ඩ හා සේවාවල මිල ගණන් පාලනයකින් තොරව ඉහළ යන තත්ත්වයක් ඇති වේ. සාමාන්‍යයෙන් උද්ධමන අනුපාතය මසකට සියයට 50 ට වඩා වැඩි වන විට අධිඋද්ධමනයක් පවතින බව පැවසේ. එහෙත් සාමාන්‍යයෙන් පැවසෙන්නේ උද්ධමනය සහ අධිඋද්ධමනය අතර සීමාවක් දැක්වීම දුෂ්කර බවයි.

 අධිඋද්ධමනය එක් අර්ථ දැක්වීමකින් මසකට සියයට 50ක මිල ඉහළ යෑමේ අනුපාතිකයකින් සහ තවත් අර්ථ දැක්වීමකින් වසරකට සියයට 1000 මිල ඉහළ යෑමේ අනුපාතිකයකින් ද අර්ථ දක්වා ඇත. (hyperinflation is defined by a threshold in the rate of increase in prices of 50% per month by one definition, 1000% per year by another. – (handbook of monetary economics) අපගේ මාසික උද්ධමනය මේ වන විට ඉකුත් ජුනි මාසයේ සියයට 50 පසුකර සියයට 60 කට ආසන්න අගයක් දක්වා වැඩිවී ඇත. ඉදිරි මාසවලදී සියයට 70 දක්වා ද ඉහළ යනු ඇත. එහෙත් මේ වසරේ (2022) මෙම උද්ධමන අගය ගණනය කර ඇත්තේ ගිය වසරේ (2021) අදාළ මාසයට සාපේක්ෂව ය. තවමත් පසුගිය මාසයට සාපේක්ෂව ඊළඟ මාසයේ උද්ධමන තත්ත්වය සියයට 50 ක් දක්වා වැඩි වී නැත. මේ නිසා වේගයෙන් අපේ උද්ධමන අගය වැඩි වෙමින් තිබුණත් තවමත් අප රට අධිඋද්ධමන තත්ත්වයකට පත්ව නැත. එහෙත් අධික උද්ධමනයකට අප මුහුණ දී සිටින අතර මෙය භාණ්ඩ හා සේවා මිල දී ගැනීමේ දී මහජනයා දිනපතාම අත්විඳිමින් ද සිටී. එනම් මේ දිනවල භාණ්ඩවල මිල ගණන් සඳහන් කිරීමේ දී ‘අද ගත්ත ගාණ නෙවෙයි හෙට’ යනුවෙන් බොහෝ දෙනා කියන්නේ භාණ්ඩ මිල ගණන් වේගයෙන් ඉහළ යමින් තිබෙන බවයි. වෙළෙඳ මාෆියාව විසින් ද හිතුමතේ භාණ්ඩ මිල ගණන් වැඩිකර අලෙවි කරන තත්ත්වයක් ද තිබේ. ඒ සඳහා ද රජයේ කිසිදු පාලනයක් ඇති බවක් පෙනෙන්නට ද නැත. මේ නිසා අප සිතන්නේ නිල උද්ධමන අනුපාතයට වඩා බොහෝ වැඩි උද්ධමනයකට ජනයා මුහුණ දෙමින් සිටින නිසයි. මේ වන විට වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2022 ජුනි මාසයේ දී සියයට 58.9ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ නිසා අප දැන් මුහුණ දෙමින් සිටින්නේ සාපේක්ෂව ඉතා ඉහළ උද්ධමන තත්ත්වයකට ය.

 ● අධි උද්ධමනයේ බලපෑම්

 ආර්ථික විද්‍යාවේදී, අධිඋද්ධමනය ඉතා ඉහළ සහ වේගයෙන් ඉහළ යන උද්ධමනයකි. එහිදී සියලුම භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉතා වේගයෙන් වැඩි වන නිසා එය දේශීය මුදලේ සැබෑ වටිනාකම (මුර්ත අගය) ඉක්මනින් විශාල ලෙස අඩු කරයි. වේගයෙන් මුදලේ අගය අඩු වී මහජනයාට ජීවත් වීමට බැරි තත්ත්වයක් උදා වෙයි. එසේම ව්‍යාපාර කටයුතු කිරීමට ද අපහසු වී ව්‍යාපාර ආයතන බිඳ වැටෙන තත්ත්වයක් ද නිර්මාණය වේ. අධිඋද්ධමනය සාමාන්‍යයෙන් සිදුවන්නේ ආර්ථික වර්ධනයට සාපේක්ෂව මුදල් සැපයුමේ සැලකිය යුතු ඉහළ යෑමක් ඇති වූ විටය. මෙසේ මුදල් සැපයුම වැඩි වීමට බොහෝ විට හේතු වන්නේ රජය විසින් මුද්‍රණය කර වැඩි මුදලක් දේශීය ආර්ථිකයට එක් කිරීම හෝ අයවැය හිඟය පියවා ගැනීමට යොදා ගැනීම නිසාය. රජයේ බදු ආදායම් අඩු වීම නිසා රජයේ අවශ්‍යතා සඳහා පසුගිය කාලයේ මහ බැංකුව විසින් දිගටම මුදල් අච්චු ගැසීම ද මෙසේ උද්ධමනය වැඩි වීමට හේතු ඇත.

 2019 අග සිදු කළ බදු කප්පාදුව නිසා රජයේ බදු ආදායම් හොඳටම අඩු වී ඇත. ආණ්ඩුව මේ නිසා කළේ තමන්ගේ වියදම් කපාහැරීම වෙනුවට බැංකු ක්‍රමය මගින් මහා පරිමාණයෙන් මුදල් ණයට ගැනීමය. සාමාන්‍ය මහජනයා සිතන්නේ මුදල් මුද්‍රණය කිරීම යනු මහ බැංකුව විසින් කාසි හා නෝට්ටු මුද්‍රණය කිරීම යැයි කියාය. එහෙත් එය එසේම නොවේ. එනම් මුදල් මුද්‍රණය යනු රටේ මුළු මුදල් තොගයේ වැඩිවීමයි. මේ මුළු මුදල් තොගය 2019 අග සිට මේ දක්වා සැලකිය යුතු ලෙස වැඩි වී තිබේ. මෙලෙස රටක මුදල් තොගය මේ ආකාරයට වැඩි වූ විට ඉල්ලුම වැඩි වී උද්ධමනය අනිවාර්යයෙන්ම ඉහළ යයි. මේ නිසා රජය තම බදු ආදායම් වැඩිකර ගනිමින් බැංකු ක්‍රමයෙන් මුදල් ණයට ගැනීම සීමාකරගත යුතු වේ. මේ ඉහළ උද්ධමනය කියා සිටින්නේ බැංකු ක්‍රමයෙන් මුදල් ණයට ගැනීමෙන් ආණ්ඩුවට මේ ගමන යෑමට නොහැකි බවය. ඒ නිසා රජය සිය වියදම් පිළිබඳව අනිවාර්යයෙන්ම නැවත වරක් තක්සේරු කළ යුතුය. අනවශ්‍ය හා ප්‍රයෝජනවත් නොවන වියදම් තවදුරටත් කපා හැර රාජ්‍ය ආදායම අත්‍යවශ්‍යම වියදම්වලට පමණක් සීමා කළ යුතුය. ලබන මස ගෙන එන අතුරු අයවැයෙන් මේ සඳහා පියවර ගනු ඇතැයි සිතිය හැකිය. මහ බැංකුවේ වගකීම වන්නේ ද දේශීය මුදලේ වටිනාකම රැකගැනීමය.

 ● ලෝක ආර්ථිකය

 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් පෙරේදා (26) දිනයේදී එළිදැක් වූ 2022 ජුලි මාසය සඳහා වන World Economic Outlook Update  නම් වාර්තාවේ තේමාව “Gloomy and More Uncertain˜  හෙවත් “අඳුරු සහ වඩාත් අවිනිශ්චිත” ලෙස දක්වා ඇත. පසුගිය අප්‍රේල් පුරෝකථනයට සාපේක්ෂව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ආර්ථික වර්ධන පුරෝකථන පහත හෙළා ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් සිදු කරන නවතම යාවත්කාලීන පුරෝකථනයට අනුව 2022 වසර සඳහා වන ගෝලීය ආර්ථික වර්ධනයේ පෙරදැක්ම සියයට  3.2 ක් ලෙස සහ 2023 වසරේදී සියයට  2.9 ක් ලෙස පහත හෙළන බව නිවේදනය කර ඇත. මූලික වශයෙන් පසුගිය වසරේ (2021) ආර්ථික වර්ධනය සියයට 6.1 සිට 2022 දී සියයට 3.2 දක්වා මන්දගාමී වනු ඇති බවයි. පසුගිය අප්‍රේල් මස මුල්‍ය අරමුදලේ පුරෝකථනයට අනුව ලෝක ආර්ථික වර්ධන සියයට 3.6 ක් විය. ඒ අනුව 2022 ආර්ථික වර්ධනය අප්‍රේල් මස ප්‍රකාශයට පත් කළ ලෝක ආර්ථික ඉදිරි දැක්මට වඩා සියයට 0.4 කින් අඩු වේ. මේ නව පුරෝකථනයට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙසේ කියයි.

 “2021 වසරේදී පෙන්නුම් කළ තාවකාලික යථාවත්වීම 2022 වසරේදී ගොඩනැගුණු අඳුරු තත්ත්වයත් සමගින් වඩාත් අවදානම් තත්ත්වයක් ඇති කර තිබෙනවා. එහිදී චීනය සහ රුසියාවේ ඇති වූ ආර්ථික පසුගාමීත්වයත් එක්සත් ජනපදයේ පාරිභෝගිකයන්ගේ වියදම් කිරීම් බලාපොරොත්තු වූ ප්‍රමාණයට වඩා පහළ වැටීමත් සමගින්ම මේ වසරේ දෙවැනි කාර්තුවේදී ගෝලීය නිෂ්පාදනය හැකිලීමක් සිදු වුණා.”

 ඒ අනුව වසංගතය නිසා දුර්වල තත්ත්වයට පත්ව තිබූ ලෝක ආර්ථිකය තවත් කම්පන රැසකටම ලක් වූ බවත්, විශේෂයෙන්ම එක්සත් ජනපදය සහ ප්‍රධාන යුරෝපියානු ආර්ථිකයන් ඇතුළුව ලොව පුරා බලාපොරොත්තු වූ මට්ටමට වඩා ඉහළින් ඇති වූ උද්ධමනය, ඒ හරහා ඇති වූ මූල්‍යමය තත්ත්වයන්හි දැඩි වීම්, කොවිඩ් -19 ව්‍යාප්තිය සහ ලොක්ඩවුන් සීමා නිසා චීනය තුළ ඇති වූ බලාපොරොත්තු නොවූ දරුණු මට්ටමේ පසුබැසීම් මෙන්ම යුක්රේනය තුළ පවතින යුද්ධය නිසා ඇති වූ තවත් ඍණාත්මක කාරණා ද මේ සඳහා හේතුවක් වී ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. මේ සමග ලෝක සහ වෙනත් කලාපීය ආර්ථික වර්ධන නව පුරෝකථන වෙනම වගුවක දැක්වේ.

 ● ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment