අධිකරණය මගින් යුක්තිය ඉටු කළ යුතු කුරුඳුමලේ පුද බිම

336

මුලතිව් තන්නිමුරුප්පු කුරුදුමලේ විහාරස්ථානය පිළිබඳව මේ දිනවල විශාල කතිකාවක් ඇති වී තිබේ.

 ඒ මුලතිව් අධිකරණය මගින් එම විහාරස්ථානයේ අලුතින් කළ ඉදිකිරීම් කීපයක් ඉවත් කර ගන්නා ලෙස කළ නියෝගයත් සමගය.

 නමුත් අධිකරණ නියෝගය පනවා ඇත්තේ කුරුදුමලේ බෞද්ධ විහාරස්ථානයට පමණක් නොව ඒ අසලම පිහිටි ආදී ශිව අයියනාර් කෝවිලේ මෑත කාලීන ඉදිකිරීම් ඉවත් කරන ලෙසට ද නියෝග පනවා තිබේ.

අධිකරණය මගින් යුක්තිය ඉටු කළ යුතු කුරුඳුමලේ පුද බිම



 මුලතිව් අධිකරණය එවැනි නියෝගයක් පනවන ලද්දේ මුල් වතාවට නොවේ. කුරුදුමලේ විහාරය හා ඊට ආසන්නයේ ඇති ආදී ශිව අයියනාර් කෝවිලට ද එරෙහිව මුලතිව් අධිකරණයේ පමණක් නඩු හයක් දමා තිබේ. වවුනියාව මහාධිකරණයේද නඩු තුනකි.

 මේ සියලුම නඩු වලින් ඉල්ලා ඇත්තේ අයිතිය ඉතා මැනවින් ප්‍රකාශයට පත් කරන ලෙසයි.

 කුරුදුමලේ බෞද්ධ විහාරය කුරුන්දාවශෝක විහාරය වශයෙන් ඉතා ප්‍රචලිත බවත් එහි සීහලට්ඨ කතා ලියැවුණු බවත් ඉතිහාසයේ සදහන් කාරණයකි.

 අට්ඨ කතාවල “කුරුන්දක“ නම් වූ ගම්මානයක් ගැන නිතර සඳහන් වෙයි.කුරුදුගමු රට යනුවෙන් කඩඉම් පොත්වල සඳහන් වන්නේ යම් ප්‍රදේශයක් පිළිබඳවය. පදී රට කුරුදු රටට ඉතා සමීපව පිහිටි ගම් ප්‍රදේශයක් බව පූජාවලියේ හා නිකාය සංග්‍රහයේ සදහන් වෙයි.මේ නිසා කුරුදුගමු රට කුරුදු රට හා කුරුන්දක යන නාමයන්ගෙන් හඳුන්වන්නේ එකම ප්‍රදේශයක් බව පැහැදිලිය.

 කි.ව.571 සහ 604 අතර කාලයේදී පළමුවැනි අග්බෝ රජු විසින් කුරුන්ද නම් විහාරයක් කළ බව ඉතිහාසයේ සදහන් වන අතර පළමුවැනි විජයබාහු රජු විසින් කි.ව. 1055 හා 1110 අතර කාලයේදී කුරුන්ද විහාරය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කොට තිබේ.

 මේ අතරවාරයේ ඛල්ලාටනාග රජු විසින් කි.ව. 100 -103 අතර කාලයේදී කුරුන්දවාශෝක විහාරය තනා ඇත.ඛල්ලාටනාග රජු විසින් කරවන ලද විහාරය කුරුන්දවාශෝක විහාරය වශයෙන් ද කුරුන්දපාසක විහාරය නමින් ද මහා වංශයේ සඳහන් වෙයි.

 වවුනියාව යාපනය මාර්ගය ඔස්සේ පුලියන්කුලම දක්වා ගමන් කොට එතැනින් මුලතිව් මාර්ගයේ නෙඩුන්කේණියට ගොස් තන්නිමුරිප්පුව හරහා මේ කුරුදුමලේ විහාරය වෙත ගමන් කළ හැකිය.එමෙන්ම මුලතිව් නගරයේ සිට බී-297 කෝකිලායි මාර්ගයේ අලම්පිල් දක්වා කිලෝ මීටර් 12 ක් ගමන් කොට

 ගමන්කොට එතැනින් කුමුලමුනේ දෙසට තවත් කිලෝ මීටර් 13 ක් ගමන් කරන විට මෙම කුරුදුමලේ විහාරයට ළඟා විය හැකි වේ.තවත් අතුරු මාර්ග ගණනාවක් ඇති නමුත් මේ මාර්ග දෙක ඉතා පහසුවෙන් එම ස්ථානයට යා හැකි මාර්ගයන්ය.

 මේ කාරණා දෙස බලන විට මේ ස්ථානය බෞද්ධ සිද්ධස්ථානයක් බවට පිළිගැනීමට අවශ්‍ය තරමට සාධක තිබේ.

 නමුත් මේ ස්ථානය යුද්ධයත් සමගම හුදෙකලාවීමත් සමගම හින්දු බැතිමතුන් එම ස්ථානයට පැමිණ කෝවිලක් තනා ගත්හ.ඔවුන් ඊට වසර කීපයක්ම වන්දනාමාන කොට පොංගල් උත්ස්වයන් ද පවත්වන ලදී.

 යුද්ධය හමාර වීමෙන් පසුව පුරාවිද්‍යා නිලධාරීන් හා වන සංරක්ෂණ නිලධාරීන් ගොස් පරීක්ෂණ අරඹා කෝවිල එම ස්ථානයෙන් ඉවත් කළ යුතු බවට නිර්දේශ ඉදිරිපත් කර ඇති අතර මීට එරෙහිව උතුරේ උද්ඝෝෂණ පැවැත්වීම පමණක් නොව මුලතිව් අධිකරණයට ගොස් නඩු පැවරීමට ද කටයුතු කළේය.

 එම නඩු විභාග කළ අවස්ථාවේදී එවකට මුලතිව් දිස්ත්‍රික් මහේස්ත්‍රාත්වරයා වශයෙන් කටයුතු කළ ලෙනින් කුමාර් විනිසුරුවරයා නිලධාරීන්ට කියා සිටියේ කුරුදුමලේ විහාරස්ථානය සම්බන්ධයෙන් අයිතිය තහවුරු කෙරෙන පුරාවිද්‍යා ආඥා පනත අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. එවකට සිටි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ද මුලතිව් අධිකරණයට පැමිණ සාක්ෂි ලබා දී පුරාවිද්‍යා ආඥා පනත අධිකරණයට ඉදිරිපත් කරන ලද නමුත් පැමිණිලි පාර්ශ්වයේ බලවත් ඉල්ලීම මත එහි දෙමළ භාෂා පිටපතක් ඉදිරිපත් කරන ලෙස නියෝගයක් ලැබිණි.

 අධිකරණයේ නියෝගයන් ක්‍රියාත්මක කිරීමට පෙර දකුණේ සිට මුලතිව් කුරුදුමලේ විහාරයට ගිය බොහෝ පිරිස් එහි නානාවිධ ඉදිකිරීම් සිදු කළහ. පුරාවිද්‍යා කාර්යාලයක් පිහිටුවීමට නිලධාරීන් එහි ගිය අවස්ථාවේදි භික්ෂූන් වහන්සේ පිරිසක් බුදු පිළිමයක් රිය පෙරහැරකින් වඩම්මවාගෙන ගොස් එහි තැන්පත් කිරීමට උත්සහ කළ අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයන් හා ප්‍රදේශවසීහු පැමිණ ඊට විරෝධය පළකොට සිටියහ. අවසානයේදී බුදු මැඳුරක තැන්පත් කිරීමට

 රැගෙන ගිය බුදු පිළිමය පොලිසියේ තැබීමට සිදුවිය.

 ඒ අතරවාරයේ අමාත්‍යවරු හා තවත් පිරිස් කොළඹ සිට කුරුදුමලේ විහාරයට ගොස් විවිධ දේ ඉදිකිරීමට පටන් ගැනීම නිසා යළිත් වරක් මුලතිව් ප්‍රදේශයේ දේශපාලනඥයන් හා ප්‍රදේශවාසීන් මුලතිව් අධිකරණයටත් වවුනියාව මහාධිකරණයටත් ගොස් නඩු පවරූහ.මේ නඩු විභාග කෙරෙන අතරවාරයේදී අධිකරණය මගින් අතුරු තහනම් නියෝග නිකුත් කරමින් සඳහන් කළේ කවර ආගමකට අයත් කවර පාර්ශ්වයක් විසින් හෝ නඩුවේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරන තුරු කිසිදු නව ඉදිකිරීමක් නොකරන ලෙසයි.

 මුලතිව් කුරුදුමලේ විහාරයේ අලුතින් ඉදිකරන ලද චෛත්‍යයේ සර්වඥ ධාතු තන්පත් කිරීමේ උත්සවයක් සංවිධානය වූයේ මේ මෑතකදීය. එනම් ජුනි මාසයේදීය. ඊට සම්බන්ධ වීමට ගිය පිරිස් යළිත් වරක් කබොක් ගලෙන් නෙළන ලද බුදු පිළිමයක් රැගෙන ගොස් එහි තැන්පත් කිරීමට ද උත්සහ කළහ.මේ අව්ස්ථාවේ කලබල වූ පිරිස එම ස්ථානයේ විරෝධතාවයක් සංවිධානය කොට ඉන් නොනැවතී මුලතිව් අධිකරණයේ අංක ඒ/ආර්/ 673/18 දරන නඩුව ගොනුකොට වහාම එම ක්‍රියාදාමයන් නවතන ලෙසට ඉල්ලා සිටියහ.

 මේ නඩුව විභාග වන විට මුලතිව් අධිකරණයේ සිටි පෙර විනිසුරුවරයා වෙනත් පළාතකට ස්ථාන මාරු වී ගොස් නව විනිසුරුවරයා වශයෙන් ආර්.ස්වර්ණරාජා මහතා කටයුතු කරමින් සිටියේය. කලින් අධිකරණ නියෝග වලට අනුව කවර හෝ පාර්ශ්වයක් අලුතින් ඉදිකිරීම් නොකරන ලෙසට ලබා දී තිබූ නියෝගය කඩකොට ඉදිකිරීම් රැසක් කොට අති නිසා ආගම් දෙකටම අයත් එම ඉදිකිරීම් වහාම ඉවත්කොට ඒ පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරයා මුලතිව් පොලිසියට නියෝග කළේය.

 අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට ලබා දී ඇති දිනය ජූලි මස 29 වෙනිදාය.නමුත් මේ දක්වා කිසිදු ඉදිකිරීමක් ඉවත් කිරීමට කවරකු හෝ පියවර ගෙන නොමැත. මුලතිව් අධිකරණ නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා පිරිසක් වවුනියාව මහාධිකරණයට ගොස් තිබේ. එහි ද මේ ස්ථානයන් පිළිබඳව තවත් නඩු කීපයක්ම විභාග වන නිසා බොහෝ විට මුලතිව් අධිකරණ නියෝගය බල රහිත විය හැකිය.

 කෙසේ වෙතත් ඉතිහාසයේ කුමක් සඳහන් වූවත් කුරුදුමලේ විහාරය හෙවත් කුරුන්දාවශෝක විහාරයේ අයිතිය සම්බන්ධයෙන් හා එහි නෛතිකභාවය සම්බන්ධයෙන් යම් තීන්දුවක් තීරණයක් ලබා ගත යුතු වන්නේ අධිකරණයකිනි.

 ඒ තත්ත්වයට මේ ප්‍රශ්නය දුර දිග යන තුරු බලා සිට ඇත්තේ නිලධාරීන්මය. නිලධාරීන් විසින් මේ ආගම් දෙකටම කුරුදුමලේ විහාරාසන්නයෙන් ඉඩම් ලබා දී තිබේ. සීමා මායිම් වෙනස් කොට තිබේ. දැන් කවරකු හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවරා පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික අයිතීන් හා උරුමයන් හුවා දක්වා මේ කුරුදුමලේ විහාරය ගැන තීරණයක් ගැනීම විනා කොළඹ සිට වැසියන් උසිගැන්වීම නොකළ යුතු දෙයකි.

 ● දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment