අධිකරණය හරින් – මනුෂ ගෙදර යවයි

136

සමගි ජනබලවේගය පක්‍ෂය විසින් සිය පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ගත් තීරණය නීති විරෝධී තීරණයක් බවට නිගමනය කර එම තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා අමාත්‍ය හරින් ප්‍රනාන්දු හා අමාත්‍ය මනුෂ නානායක්කාර යන මහත්වරුන් ගොනුකර තිබූ පෙත්සම් දෙක ශ්‍රේෂ්ඨාධිකරණය විසින් (09දා) ප්‍රතික්‍ෂේප කරන ලදී.

සමගි ජනබලවේගය පක්‍ෂ පෙත්සම්කරුවන්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කර ඇත්තේ එම පක්‍ෂයේ ව්‍යවස්ථාවට අනුව බැවින් එම පක්‍ෂ අභ්‍යන්තර තීරණයට මැදිහත්වීමේ අවශ්‍යතාවයක් නොමැති බව තම අධිකරණයට පෙනී යන්නේ යැයි පෙන්වා දුන් විජිත් කේ. මලල්ගොඩ, අචල වෙන්ගප්පුලි හා අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල එකී තීන්දුව නිකුත් කළේය.

මනුෂ නානායක්කාර මහතා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කයෙන් සමගි ජනබලවේගය පක්‍ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වූ අතර හරින් ප්‍රනාන්දු මහතා එම පක්‍ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබිණි. ඔවුන් දෙදෙනා 2022 වසරේදී පක්‍ෂයේ තීරණයට පටහැනිව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිහිටවූ රජයට සහය දැක්වීම නිසා නිදහසට කරුණු විමසා විනය පරීක්‍ෂණයක් පැවැත්වීමට සමගි ජනබලවේගය පක්‍ෂයේ විධායක කමිටුව තීරණය කර ඒ පිළිබඳ පෙත්සම්කරුවන්ට දැනුම් දී තිබූ නමුත් ඔවුන් විනය පරීක්‍ෂණය සඳහා ඉදිරිපත් නොවීම නිසා පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කළ බවට සමගි ජනබලවේගය පක්‍ෂය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට සිය මූලික විරෝධතා මගින් පෙන්වා දී තිබිණි. ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (09දා) ලබාදුන් එම තීන්දුව අනුව පෙත්සම්කාර අමාත්‍යවරුන් දෙදෙනාගේ මන්ත්‍රී ධුර අහෝසි වනු ඇත.

පක්‍ෂයේ තීරණයට පටහැනිව රජයට සහය දැක්වීම නිසා පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කිරීම අභියෝගයට ලක්කරමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් මන්ත්‍රී හිටපු නියෝජ්‍ය අමාත්‍ය නසීර් අහමඩ් මහතා ගොනුකර තිබූ පෙත්සමක් ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මින් පෙර ප්‍රතික්‍ෂේප කිරීම අනුව ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වී තිබිණි.

නීතිඥ කීර්ති තිලකරත්න, චන්දිමාල් මෙන්ඩිස් මෙහෙරාන් කමීර්, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා හා ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙත්සම්කාර පාර්ශ්වය නියෝජනය කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment