අධික ජල ගැලීම් නිසා කැලණිවැලි දුම්රිය ධාවනය කොටුව – වග අතර පමණයි

37

දුම්රිය නි. සාමාන්‍යාධිකාරි

පවතින අධික වැසි තත්ත්වය හමුවේ කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොස්ගම සහ වග අතර දුම්රිය මාර්ගයේ ඊයේ (02දා) ඇති වූ අධික ජල ගැලීමෙන් පාලමක් කැඩීයෑමෙන් දුම්රිය මාර්ගයට දැඩි හානි සිදුවී තිබේ. මේ හේතුවෙන් දින කීපයක් දුම්රිය ගමනාගමනය කොළඹ කොටුව සහ වග අතර පමණක් සිදුකෙරෙනු ඇතැයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ගමනාගමන) එන්.ජේ. ඉඳිපොලගේ මහතා ‘දිවයින’ට පැවැසීය.

දුම්රිය මාර්ගයේ පාලම සහිත කොටසක, ජලය ගලායෑම නිසා කැඩී යෑම හා පීලි ගැලවී යෑම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇතැයි හෙතෙම කීය.

අධික වැසි සහ ගංවතුර නිසා දුම්රිය මාර්ගය සකස් කිරීමට නොහැකි වී ඇති බවද ඒ මහතා කියා සිටියේය.

කෙසේවෙතත් දුම්රිය මාර්ගය කඩිනමින් සකස්කර දුම්රිය ධාවනය කිරීමට පියවර ගන්නා බවද ඒ මහතා කීය.

එසේම අධික වැසි හා සුළං හේතුවෙන් ඊයේ පස්වරුවේ පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ ඇති ගසක් දුම්රිය මාර්ගයට කඩාවැටී දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇතැයි ද හෙතෙම කීය.

වැසි තත්ත්වය නොතකා එම ගස කපා ඉවත් කිරීමේ කටයුතු සිදුකෙරෙමින් පවතින බවත් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු කඩිනමින් ආරම්භ කරන බවත් පැවසූ දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා මෙම තත්ත්වය තුළ මුහුදුබඩ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවනු ඇතැයි ද පැවසීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment